රුපියලක්‌ ඉතුරු ඉල්ලු අම්මාට හතලිස්‌ පන්දාහක්‌ ගෙඩියට දන්දුන් සෙබලෙක්‌

“අනේ පුතේ… මට රුපියල් 30 ක්‌ දියන්. උඹට බුදු බව අත්වෙයි…”

“පිස්‌සුද ආච්චියේ… ඔයාට මොකටද සල්ලි… අපේ අම්මා ඔයාට කන්න බොන්න දෙනවනේ…”

“ඒක ඇත්ත මයෙ පුතේ… ඒ වුණාට බොලාගෙ සීයව බලලා එන්න ඕනෑ. දවස්‌ ගාණකින් ගියේ නැහැ. කෑවද බීවද දන්නෙ නැහැ. පහුගිය දවස්‌වල හොඳටම ලෙඩ වෙලා හිටියනේ….”

“අපෝ සීයව නම් මතක්‌ කරන්න එපා. එයා ළඟ මහ අමුතු ගඳක්‌ ගහන්නේ. අම්මා කැමැති නැත්තෙත් ඒකයි සීයව ගෙදරට ගෙන්න ගන්න…”

“එහෙම කියන්න එපා. ඒ උඹලගෙ අම්මගෙ තාත්තා. ඒකිට දැන් මුල මතක නැහැ. ඒ රත්තරන් මනුස්‌සයා කොච්චර දුක්‌ වින්ඳද බොලාගේ අම්මව උස්‌ මහත් කරවන්න. කෙළෙහි ගුණ දන්නැති ගෑනි. ඒකිව මගේ බඩෙන් වැදුවා කියලා කියන්නත් ලැඡ්ජයි මට. අනේ පුතේ… මට රුපියල් 30 ක්‌ දියන්”.

“අයියෝ ආච්චිගෙන් මාර කරදරයක්‌ තමයි තියෙන්නෙ… මම හම්බ කරනවද ඔයාට සල්ලි දෙන්න…”

“එහෙම කියන්න එපා. ඔය සීයා උඹවත් පොඩි කාලේ බලා ගත්තා. මගේ අතේ තියෙනව නම් ඉල්ලන්නේ නැහැ පුතේ. ලොකු ගාණක්‌ ඉල්ලන්නෙත් නැහැනේ. රුපියල් 30 ක්‌ දියන්. මගේ මිනිහව බලලා එන්න.”

ඉල්ලපු රුපියල් 30 දහසකුත් නෝක්‌කාඩු කියා එම මුණුබුරා තම මිත්තණියට දුන්නේය. මහලු මවට එම මුදලත් ඉතා අගනේය. සති ගණනකින් ඇයට තම ස්‌වාමිපුරුෂයා බැලීමට නොහැකි විය. එයට ප්‍රධානතම හේතුව වූයේ ඇය අතේ බස්‌ ගාස්‌තුව වත් නොමැති වීමයි.

ඇයගේ දියණිය එදින උදෑසනම නිවසින් පිටවී ගොස්‌ය. ඒ පෞද්ගලික කටයුත්තක්‌ සඳහා ය. එම මාර දියණිය සිටියා නම් කිසිම හේතුවක්‌ මතවත් ඇයට නිවසින් පිටවීමට නොහැකිය. තම මවට ඇය නීති පනවා ඇත්තේ එලෙසින්ය.

ඇලිස්‌ නෝනා බාරොන් සමඟ විවාහ වන්නේ දැනට දශක හතරකට පමණ ඉහතදීය. එම විවාහයෙන් ඔවුනට දියණියක්‌ ලැබුණහ. නමින් ඇය නිර්මලාය. නම නිර්මලා වුවත් කුඩාකල සිට ඇයගේ සිතුවිලි නම් නිර්මල නොවුණාය.

දහසකුත් ප්‍රශ්න හමුවේ එම යුවළ තම දියණිය ඇස්‌ දෙක මෙන් රැක බලා ගත්හ. බාරොන් කිසි දිනක තම දියණියට අතුල් පහරක්‌වත් ගසා නොමැත. ඔහුත් තම එකම දියණියව රැක බලා ගත්තේ එලෙසින්ය. නිසි වයස පැමිණීමත් සමඟ තම දියණියව කසාද බන්දවා දීමටද ඔවුහු කටයුතු කළහ.

විවාහයෙන් පසුව නිර්මලා ස්‌වාමිපුරුෂයා සමඟ ජීවත් වූයේ තමාගේ නිවසේමය. ඉන්පසු ඔවුහු දරු සුරතල්ද බැලූහ. ඒ සමඟම බාරොන් සහ ඇලිස්‌නෝනා ද හැකි අයුරින් ඔවුනට උදව් පදව් කරමින් එම නිවසේම ජීවත් වූහ.

කල්යත්ම බාරොන් අසනීප වී ඉතා දුර්වල විය. තමන්ගේ වැඩ කටයුතුවත් කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්විය. එලෙස රෝගාතුර වූ තම පියා දෙස නිර්මලා ඇසක්‌ ඇර බැලුවේ නැත. අසරණ ඇලිස්‌ නෝනා ඇයට හැකි උපරිම අයුරින් තම ස්‌වාමි පුරුෂයාට සාත්තු සප්පායම් කළාය.

එන්න එන්නම බාරොන් දුර්වල විය. ඔහුට හරි හැටි සාත්තු සප්පායම් නොකිරීම නිසා ශරීරයෙන් අමුතු දුර්ගන්ධයක්‌ ද පිටවිය. ඒ වන විට නිර්මලා නමැති මාර දියණියට තම පියාව විශාල කරදරයක්‌ වී තිබුණි. කුහක හදවතක්‌ තිබුණ ඇය සිත් පිත් නොමැති තිරිසන් සතෙකු සේ හැසිරෙමින් තම පියාව නිවසින් එළවා දැමුවාය. ඇලිස්‌ නෝනා එයට දැඩි ලෙස විරෝධය පළකළත් කිසිදු පලක්‌ වූයේ නැත.

වයෝවෘද්ධ එම අසරණ පියා තම දුවගේ නිවසට කිලෝමීටරයක්‌ පමණ දුරින් පිහිටි අතහැර දමා තිබී ඉතා අබලන් වූ කුඩා නිවසක්‌ වෙත ගියේය. එතැන් සිට රෝගාතුර වූ එම මහල්ලාගේ නවාතැන්පළ වූයේ එයයි. ගතින් දුර්වලව රෝගී වුවත් ඔහුගේ සිත දුර්වල වී නොතිබුණි. එකල තම දුව ව ආදරයෙන් රැකබලා ගත් අයුරු නිතරම පාහේ ඔහුට සිහි වන්නේය. එවිට ඔහුගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙන්නේ කුඩා දිය පහරක්‌ ගලා බසින්නාක්‌ මෙන්ය.

ඉඳහිට හෝ ඔහුගේ දුක සැප බැලීමට පැමිණෙන්නේ තම ආදරණීය බිරිඳ පමණි. ඇයත් දැන් පසුවන්නේ ඉතාම මහලු වියේය. ඇයටද කළ හැකි දෙයක්‌ නොමැත.

තම මුණුබුරාගෙන් රුපියල් 30 ක්‌ ඇලිස්‌ නෝනා ඉල්ලා සිටියේ තම ආදරණීය ස්‌වාමිපුරුෂයාව බැලීම සඳහා යැමටය. එදින දියණිය නිවසේ නොසිටි නිසා බත් පාර්සලයක්‌ද ඔතා ගත්තාය. එලෙස ඔතාගත් බත් පාර්සලයද රැගෙන ඇය ප්‍රධාන මාර්ගයට පැමිණියේ බස්‌ රථයක්‌ ලබාගැනීම සඳහා ය.

බස්‌ රථයට ඇය දුර තියාම අත දිගු කළාය. අධික වේගයෙන් පැමිණි එම බස්‌රථය ඉද්ද ගැසුවාක්‌ මෙන් ඇය ළඟ නතර කළාය. කොණ්‌ඩය අමුතුම ආකාරයට කැපූ තරුණ හාදයෙක්‌ ඉදිරි දොරටුවෙන් ඔළුව එළියට දමා “වාත වෙන් නැතිව ඉක්‌මනට නඟින්න” කියා බෙරිහන් දුන්නේය. ඔහු එම බස්‌රථයේ කොන්දොස්‌තර වරයාය.

“පොඩ්ඩක්‌ ඉන්න පුතේ…” කියමින් අසරණ ඇලිස්‌ නෝනා බස්‌රථයට ගොඩ වූවාය. ඒ සමඟම එම බස්‌රථයේ සිටි තරුණයකු ඇයට සිය අසුන පරිත්‍යාග කළේය.

කොන්දොස්‌තර ඇය ළඟට පැමිණ “ටිකට්‌ ගන්න, ටිකට්‌ ගන්න” කියා උස්‌ හඬින් පැවසුවේය. ඇය යම්කිසි මුදලක්‌ එම තරුණයාට දී බහින ස්‌ථානය පැවසුවාය. එහෙත් කොන්දොස්‌තර ඇයට දුන්නේ රුපියලක්‌ අඩුවෙනි. ඉතිරි මුදලට රුපියලක්‌ අඩු නිසා ඇය කොන්දොස්‌තරගෙන් එම මුදල ඉල්ලුවාය.

“රුපියලක්‌ දෙන්න මගේ ළඟ නැහැ. තියෙනවනම් නොදී ඉන්නවද” ඉතා උස්‌ හඬින් කොන්දොස්‌තර එලෙස පැවසුවේය.

“අනේ පුතේ මට ඒ රුපියල ඕනා…” නැවතත් ඇය ඉතා බැගෑපත් ලෙස පැවසුවාය.

“මම සැරයක්‌ කිව්වනේ… දෙන්න රුපියලක්‌ නැහැ කියලා. එහෙනම් ටිකට්‌ එකේ ගාණ හරියට දෙන්න. මෙතන රුපියලට කෑගහනවා. පුදුම තණ්‌හාවක්‌නෙ තියෙන්නේ. යනකොට අරගෙන යන්නද මන්දා” ඒ කොන්දොස්‌තරගේ ප්‍රති උත්තරයයි. (මෙරට බොහෝ කොන්දොස්‌තරවරුන්ගේ හැටි එලෙසය. මගියෙකුට කතා කිරීමට ඔවුන් නොදනී.)

කොන්දොස්‌තර තැන කොතරම් කෑගැසුවත් එම මහළු කාන්තාව ඉතුරු රුපියලම ඉල්ලයි. එමනිසා සමහරෙක්‌ ඇය පිස්‌සියක යෑයි සිතා සිනාසුණහ. තවත් සමහරු ඇය අධික තණ්‌හාවෙන් යුතු කාන්තාවක්‌ යෑයි සිතූහ. එහෙත් සත්‍යය දන්නේ ඇය පමණි. ඉතුරු රුපියල නොමැති වුවහොත් ආපසු යැමට ඇයට රුපියලක්‌ මදිවේ. ඇය පුන පුනා රුපියල ඉල්ලන්නේ එම නිසාය.

අසල සිටි තරුණයෙක්‌ මුල සිටම සිද්ධිය දෙස ඇස ගසාගෙන සිටියේය. ඔහු හමුදා සෙබළෙකි. ඔහු සිටියේ නිවාඩු ලබා තම නිවස බලා යන ගමන්ය. රුපියල ඉල්ලන මහලු කාන්තාවගෙන් ඇය මෙච්චර කෑගසා එලෙස රුපියලක්‌ ඉල්ලන්නේ ඇයි දැයි කියා විමසුවේය. එවිට ඇය මුළු කතාවේ සම්පූර්ණ විස්‌තරය එම තරුණයාට පැවසුවාය. එම විස්‌තරය ඇසූ තරුණයාගේ සිත වාවාගත නොහැකි ලෙස උණුවිය. දෙනෙතට කඳුළැලි පවා නැඟුණේ නිරායාසයෙනි.

“අනේ අම්මේ… අද වාගේ සමාජයකට ඔයා උතුම් ආදර්ශයක්‌. ඔය පිනම ඇති අම්මාව නිවන් දකින්න. මගේ ළඟ තියෙන්නෙ මෙච්චරයි. අම්මා මේ සල්ලි අරගෙන ස්‌වාමිපුරුෂයාව දොස්‌තර කෙනකුට පෙන්නලා බෙහෙත් ටිකක්‌ අරන් දෙන්න. ඉතිරි සල්ලිවලින් කෑම බීම ඇඳුම් පැළඳුම් ටිකක්‌ අරන් දෙන්න….”

පසුම්බියේ තිබූ රුපියල් 45000 ක මුදලක්‌ කිසිදු ලෝභ කමක්‌ නොමැතිව එම හමුදා සෙබළා ඇලිස්‌නෝනාට ලබා දුන්නේය. සමහර විට එම මුදල ඔහුගේ පවුලේ වියදමට තිබුණ මුදල් වන්නට පුළුවන.

“අනේ පුතේ උඹ බුදු වෙන්න ඕනා” ඇය පැවසුවේ එපමණකි.

වර්තමානය වන විට ඇත්තේ තාත්තලාව බලු කූඩුවේ දමන දූවරු සිටින සමාජයකි. ඒ තරමටම සමාජය පිරිහී ඇත. එලෙස යෑයි කියා දිගින් දිගටම මෙවැනි ඉතාම පහත් ගණයේ ක්‍රියා සිදු වීමට ඉඩ නොදිය යුතුය. දෙමාපියන්ට නොසලකන මෙවැනි ගණයේ අයට මේ ආත්මයේදීම එහි පල විපාක විඳීමට සිදුවේ. එය ලෝක ස්‌වභාවයයි.

ගයාන් සමරසිංහ