සිරිපාල ගමේ යන විට මේවා ගෙන ගොස් මඟ තොටේදී මුදල් කළේය

එක්තරා පිටිසර ගමක තරුණ පුද්ගලයෙක් ‘‘උපන්නාට මේ ලොව වැනෙනවා විනා’’ කියන්නා සේ ඉපදුනා වෙනුවට ජීවත් වුණේය. ඔහු සිරිපාල නමින් හඳුන්වමු.

සිරිපාලගේ දෙමව්පියෝ කුඩා කුඹුරක් ගොවිතැන් බත් කරගෙන දුක් මහන්සියෙක් තවත් යමක් හරි හම්බ කර ගෙන සාමකාමීව විසුවෝය. සිරිපාල රැකියාවක් කිරීමට ආශාවක් නැති ආගමක් දහමක් කෙරෙහි හැඟීමක් නැති කෙනෙකි. ඒ නිසාම මොහු දෙමව්පියන් දෙන දේ පමණක් කකා කාලය කා දැමු නිකමෙක් විය.

සිරිපාලගේ අතේ මිටේ මුදල් නොමැති වීට පියාට කරදර කළේය. පියා නොමැති අවස්ථාවල ගෙදර කුඩා වත්තේ පොල් ගසකට නැග ගෙඩියක් දෙකක් කඩා මුදල් කර රස්තියාදුවේ ගියේය.

ගමේ හෝ කිට්ටු ගමක පිංකමක් දානයක් හෝ දන්සැලක් තිබුණොත් සිරිපාල එතනය. ඒ පිං කර ගැනීමට හෝ එ් කටයුතු වලට උදව් කිරීමට නොවේ. ගෙදර කම්මැලිකමට නිකරුණේ සිටීමට නොහැකිව රස්තියාදු වීමට කැමැත්තෙනි.

එක්තරා දිනක ගමේ නිවසක දානමය පිංකමක් තිබී මොහු එහි ගොස් සිටියේය. දානයට ස්වාමීන් වහන්සේලා වැඩම වූහ. මේ තරුණයාද අනෙක් අය සේම පසෙකට වී බලා සිටියේය. සංඝගත දක්ෂිණාවෙන් පසු ස්වාමීන් වහන්​ෙස්​ලා ඒ ඒ විහාරස්ථාන කරා වැඩම කිරීමට සූදානම් වූහ.

එක් විහාරස්ථායක ස්වාමීන් වහන්සේ නමක් සිරිපාල දැක නැවතී අනෙක් තරුණයින්ගෙන් තොරතුරු අසා දැන තමන් වහන්සේගේ පංසලේ උදව්වට ගෝලයෙකු නොමැති හෙයින් මොහු හා කතා කොට එහි යාමට කැමැත්තේ දැයි විමසු සේක. සිරිපාල එම අදහසට එකහෙළාම එකඟ විය. මොහුගේ දෙමව්පියන් කැඳවා ඇසු විට පැවසුවේ පංසලේදිවත් යමත් ඉගෙන ගනීවි යැයි යනුවෙන් පුතාට නොඇසෙන පරිද්දෙනි. ස්වාමීන් වහන්සේ සතුටට පත් වී මොහු සමග පංසලට වැඩියහ.

ස්වාමීන් වහන්සේ පංසලේ වැඩ කටයුතු පැහැදිලිව කියා දුන් සේක. පංසල හා අවට පිරිසිදුව තබා ගැනීම, බෝ මළුව අතුපතු ගෑම, දායක පිරිස ගෙනඑන දානමානාදිය දාන ශාලාවේ අසුරා තැන්පත් කිරීමට සහාය වීම යන කරුණු කියා දුන් උන්වහන්සේ දාන ශෘලාවට යාවූ කාමරයක් ද සිරිපාලට ලබා දුන්හ. කෑමට ආශාවක් කවදත් දැක් වු මොහු ස්වාමීන් වහන්සේට හොරෙන් දාන ශාලාව තුළ අසුරා තිබු කැවිලි පෙවිලි හා පලතුරු ආදිය නිතර අනුභව කළේය.

කාලය මෙසේ ගෙවී යද්දී පංසලට හුරු වු සිරිපාල මෙහි ක්‍රියා පිළිවෙළ දැන එහි තිබෙන දේවල් හා ලැබෙන දේවල් දැක මහත් තණ්හාවක් ඇති විය. එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා සබන් වර්ග දත් බෙහෙත් වර්ග විස්කෝතු හා පලතුරු වැනි දේ මෙන්ම ඇඳ ඇතිරිලි තුවා වැනි දේ දැක තණ්හාව ඉහවහා ගියේය. මේවා සිරිපාල ගමේ යන විට ගෙන ගොස් මඟ තොටේදී මුදල් කළේය.
මීට වඩා වාසි දායක යමක් පංසලේ තිබේ දැයි රාත්‍රීයේ නින්දට ගොස් සිතීය. එවිට පංසලේ සිවුරු මතක් වී මහත් සතුටක් ඇති විය. පසුදා සිටම සිවුරු එක දෙක කාමරයට ගෙනත් සැඟවීය.

වීදාගම මෛත්‍රී හිමි වදාළ,

පර සන්තක දෙය ගත සොර සිතකින්
නිරයෙන් නිරයට පැමිණෙයි එසැනින්

යන කවෙහි සඳහන් නිරය මේ ජීවිතයේදීම සිරිපාලට පහළ වීමට වැඩි කල් ගත නොවීය. වෙහෙර විහාරස්ථාන බෝධීන් වහන්සේලා පිළිම වහන්සේලා හා ධාතූන් වහන්සේලා ආරක්ෂා කර වන්දනාමාන කරන සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලා මොහු වැනි පාපතරයින්ට පූජා භූමි තුළ රැඳී සිටිමට ඉඩ නොදෙන හෙයින් වත් දෝ සිරිපාලට පංසලේ ගත කර ගත හැකි වුයේ දින අතලොස්සකි. රාත්‍රිය වු පසු සිරිපාලට නින්දක් නොවීය. බියකරු සිහින පෙනි පෙනී කෑ ගැසීය. යක්ෂ ප්‍රේත භූත වැනි අමනුෂ්‍ය රූ සිහින විය. පංසලේ රැඳී සිටින්නටම බැරි එක් රාත්‍රියක පැඳුරටත් නොකියා මහ මඟට බැස්සේ කල්පනාව හීන වු පිස්සෙක් සේය. ශරීරය පුරා මහා දැවිල්ලක් ද දිය බුබුළු ද දමා ඇඳුම් පැළඳ සිටිය නොහී නිර්වස්ත්‍රව රෝගීව සිටි මොහු දකින්නට නොවු හෙයින් මොලොව හැර ගිය බව අසල් වැසි ගැමියෝ කීහ.

මතුගම වැලිමානාන ඩී.එම්.සී. ජයලත් මහතා   ලියා එවු කතාවකි.   

 

​ෙපාල් ගෙඩියට හිස දන්දුන් පොලී මුදලාලි   

එක්තරා නගරාසන්න ගම්මානයකි. එබැවින් උගත් නූගත් දුප්පත් ​පොහොසත් භේදයකින් තොරව දුගී පැල් පතේ සිට මහා මන්දිරය දක්වා ගොඩ නැගුණු මහල් පවා දක්නට වීම සුලබ දසුනකි. මේ අතර නො​ෙයක් දුක් ගැහැට මැද දිවිගෙවන මිනිසුන් ද නැත්නේ නොවේ. ඔවුන්ගේ අඟහිඟ කම් මකා ගැනීමට මුදල් හදල් ඕනෑ විට ඔප්පු තිරප්පු තබා හෝ පොලියට ගැනීම මෙහි වෙසෙන ජනයා පුරුදුව සිටිති.

​ෙම් මිනිසුන් අතර පුහුමානයකින් හෙබි විශාල අඟ පසඟක් දිගු කේෂ කලාපයත් දිගු රැවුලත් අඳුරු මුහුණත් දඩබ්බර කමත් දැකීමෙන් ඕනැම පුද්ගලයෙකු මොහුට මෙල්ල වෙනවා නිසැකය. ඔහු නමින් ගජන් යැයි කියමු. දැවැන්ත පවුල් පෙළැන්තියකින් පැවතෙන මොහුගේ පවුලේ පිරිමි අට දෙනෙක් ද ගැහැනු දෙදෙනෙක් ද වෙති. ගජන් හැර අන් සියලු දෙනා හොඳින් ඉගෙන ගෙන විශාල ව්‍යාපාරිකයන් වෛද්‍යවරු ඉංජිනේරුවන් වුයේ මල් පිපෙන්නාක් මෙනි.

නමුත් ගජන්ට මෙසේ අධ්‍යාපනය හැදෑරීමට හැකියාවක් ලැබුණේ නැත. අට ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලැබු ඔහු මුදල් පසු පස හඹා යන්නට විය. තම උගත් සහෝදර සහෝදරියන් සමග එක නිවසක වාසය කිරීමට අකමැති වු ගජන් ඔහු හා සම වයස් සීමාවන් වල දඩබ්බර යහළුවන්ගේ නිවෙස් වල කාබී එහිම වාසය කිරීමට පුරුදු විය. මේ අතර ඔහුට අහම්බෙන් මුණ ගැසුණු කාන්තාවක් සමග ප්‍රේමයෙන් වෙලී විවාහයක් දක්වා කෙළවර වන්නට ගත්තේ ඉතා කෙටි කාලයකි.

කුලියට නිවෙසක් ගෙන ජීවත් වන මේ දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙක් ද ලැබුණු පසු ජීවනෝපාය උදෙසා තෝරා ගනු ලැබුවේ මුදල් පොලියට දීමත් වෙළඳාමත්ය. මේ නිසා ඔහු මුදල් හදල් අතින් දියුණුවට පත් වුයේ නොසිතු වේගයෙනි. කල් යත්ම කුලියට ගත් නිවසද මුදල් දී තමාට පවරා ගන්නට විය. වෙළෙඳාම් කිරීමට කුඩා ලොරියක් ද ගත් ඔහු දැන් ගජන් මුදලාලි නමින් හඳුන් වන්නට විය. තම පොලිය ගෙවා ගැනිමට නොහැකි මිනිසුන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන් එළියට ඇද දමා ඔවුන්ගේ රන් ආභරණ අල්මාරි කැබිනට් ටීවී ආදී ගෙදර ඇති වටිනා භාණ්ඩ තම භාරයට ගෙන ඔවුහු කෑ කෝ ගසන විටදීම බලහත්කාරයෙන් රැගෙන එති.

සමහර විට ඔවුන්ගේ ඉඩකඩම් ද ලියා ගනියි. ඔහුට එරෙහිව එන්නන් හට තමාගේ යහළු චණ්ඩින් යොදවා පහර දී ඔහු යටතට ගැනීම මොහු​ෙග් සාමාන්‍ය සිරිතකි. එහෙයින් පොලිසියකටවත් නොයාමට ඔවුහු වග බලා ගනිති. දවසේ වැඩ අවසන් වී රාත්‍රීයට යහළුවන් සමග පාළු මංඩිවල රා අරක්කු බී කෙළිලොල් දිවියක් ගෙවන මොහු රාත්‍රියේ නි​ෙව​ස් බලා යන නාබර ගෑනු ළමිස්සියන් පවා දූෂණයට ලක්කරන අතර ඒබව දෙමාපියන්ට වත් නොකියා තම දුක දරා ගෙන දිවිගෙවන බො​ෙහා් ගෑනු දරුවන් වෙති. එසේ ඔවුන් සිටිනුයේ මොහුට ඇති බිය නිසාය.

දිනෙක ඉඩම් ඔප්පු උගසට තබා ලබා ගත් මුදල දී ඔප්පුව බේරා ගැනීමට පැමිණි දුප්පත් ගැමියෙකුට පහර දී මුදලුත් ගෙන ඔප්පුව බලහත්කාරෙන් ලියා ගත් ගජන් පසු දින ගැමියාගේ බිරිඳ හා දරුවන් පාරට ඇද දමා තමා සතු කර ගත්තේ ඔවුන් නොසිතූ ආකාරයෙනි. මේ නිසා ගම්මුන්ට ද මොහු හෙණ වැදියන් කියා දේවාලයක් දේවාලයක් ගානේ කන්නලව් කරන්නේ තම දුක වෙන කෙනෙකුට කියා ගන්නට බැරි නිසා ​ෙවනි.

කිසිම ආගමක් දහමක් ගණන් නොගන්නා ගජන් හට ලෝකයා පෙනුණේ කෙළිලොල් භාණ්ඩයක් මෙනි. දින සති මෙසේ ගෙවී යද්දී තමා පසු පස කර්මයද ලුහු බඳින බව ඔහු කිසිදිනෙක නොසිතන්නට ඇත. දිනෙක මොහුගේ ක්‍රියා කලාපය කන වැකුණු බිරිඳ බොහෝ සේ දෝෂාරෝපණය කරන්නට විය. එය ඉවසා ගත නොහැකිව බිරිඳව අල්ලා ගසක බැඳ ගිනිපෙනෙල්ලකින් පුච්චා දැමුවේ ගවයන් හංවඩු ගසන්නාක් මෙනි. මේවා ඉවසා දරා ගත නොහැකිව ඇය ගෙල වැළලා ගෙන මිය යාමට තීරණය කළ ද තම දරුවන් අනාථ වන බැවින් ඇය එසේ නොකළා විය හැකිය.

සමහර දින වල ගජන් තම නිවස ඉදිරියේ තිබෙන ගස් යට ගංජා සුරුට්ටුව උරමින් කල්පනා බරිතව සිටීම පුරුද්දක් කොට තිබුණි. ​ෙමසේ ඔහු කරනුයේ තම විනෝදය පතාය. සුපුරුදු පරිදි දිනක් ගංජා සුරුට්ටුව උරමින් නිවස ඉදිරියේ ඇති පොල් ගසක් මුල වාඩි වී කල්පනා බරිත විය. ගසේ ද බොහෝ පොල් ඵල ගෙන තිබුණි.

කෙසේ වෙතත් ​මොහු ගස මුල වාඩි වුයේ වේළුණු පොල් එහි නොතිබු නිසා විය හැකිය. ගත වුයේ නිමේෂයකි. තැරියෙන් ගැලවුණු කළටි පොල් ගෙඩියක් වේගයෙන් විත් මොහුගේ හිස මත පතිත වුයේ නොසිතූ ආකාරයටය. වහා බිරිඳ ටැක්සියක් ගෙන්වා රෝහල් ගත කළ ද ඉන් හරි හැටි සුවයක් නොලැබුණි. ඔහුගේ හිසට තදින් වැදුණු නිසා මොළයේ ස්නායු වලට දැඩි ලෙස හානි සිදුව ඇති බව වෛද්‍යවරු නිගමනය කළහ.

දැන් ඔහුගේ ශරීරයම අප්‍රාණිකය. මළ කඳක් දැමුවාක් මෙන් නිසොල්මන්ය. දින සති මාස අවුරුදු ගණන් ගත වී ගියද ඉන් කිසිදු සුවයක් නොලද ඔහු පරඬැලක් මෙන් කෙසඟ වුයේ බිරිඳගේ මුවට කඳුළක් එක් කරමිනි. ස්වාමියා ඇයට කෙසේ සැලකුවද ඇය කිස දිනෙක ඔහු අමතක නොකළාය.

එන්න එන්නම දුර්වල අතට හැරිණි. අවශ්‍ය මුදල් උපයා ගැනීමට බිරිඳට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. කිසිම දෙයක් කර කියා ගැනීමට නොහැකි වු විට තම ස්වාමියා අධාර්මිකව උපයා ගත් දේපළ පවා විකුණා එයින් ලැබෙන මුදල බෙහෙත් හේත් වලට යට කරන බිරිඳට තිබුණටත් වැඩිය දුක් කරදර එන්න එන්නම වැඩි විය.

මොහුගේ පණ නළ රැක ගැනීමට වෙහෙසෙන බිරිඳට අන්තිමට තම කනකර ආභරණ ද නිවසද උගසට තබා මොහු වෙනුවෙන් වියදම් කරන්නට විය. කෙසේ වෙතත් ඇඳ මතම එක ඉරියව්වේ සිටීම නිසා කොඳු ඇට පේළියේ ගැඹුරු තුවාල හට ගෙන වණයක් බවට පත් වී තිබුණි. දැඩි සේ ඔත්පල වී මරණය දැක දැක සිටින ගජන් ආහාරයක් වත් ගත නොහැකිව අැට රූකඩයක් බවට පත් වීය. දරුවන්ම හා බිරියට ඉන්න හිටින්නවත් තැනක් නැති කර දමා මිය පර​ෙලාව යන්නට වුයේ ගම්මුන්ට සදා නිදහස ලබා දෙමිනි.

උඩවෙල ඕපනායක  

එච්.ඒ. ජයසේන මහතා ලියා එවු කතාවකි.  


ඌරන් මැරූ පියදාසට අත්වූ ඉරණම 

කඳුරට එක්තරා ගමක විසු ඔහු අපි පියදාස නමින් හඳුන්වමු. ඔහුගේ ජීවන වෘත්තිය වුයේ එළවළු වගාවය. පියදාස ජීවත් වු ඉඩම් මායිම්ව පිහිටියේ රජයේ වන වගාවකි. මෙම වන වගාව ඌරන්ගේ රාජධානියකි. පියදාස එළවළු වගාවට අමතරව මසකට වරක් පමණ විදුලි රැහැන් යොදා ඌරන් මැරීම කර ගෙන ගියේය. වන වගාව තුළ ඌරන්ට විදුලි රැහැන් ඇඳීම පිළිබඳව ඔහුට තිබුණේ මනා හැකියාවකි. වන වගාව තුළ කිසිවෙකු ගැවසෙන්නේ නැති නිසා සවස අදින විදුලි රැහැන් උදෑසනම ඉවත් කරන ඔහුගේ විදුලි රැහැනට ඌරෙකු හසුවනතුරු දිනපතා ඔහු විදුලි රැහැන් ඇඳීම කරගෙන යයි.

එක්තරා වැසි සහිත දිනක පියදාස නිවසට සම්බන්ධ කර තිබු විදුලි රැහැනක් රැගෙන වන වගාව තුළට වැදුණ අතර ක්‍රමවත්ව විදුලි රැහැන සකස් කළේය. කටයුත්ත අවසාන වී ආපසු හැරුන ඔහුගේ පය ලිස්සා ගියේය. කරුමයක මහත පය ලිස්සා ගිය පියදාස ඇද වැටුණේ ඔහු සකස් කළ විදුලි රැහැන් මතටය.

වෙනදා පියදාස නිවසට පැමිණෙන වේලාවට ඔහු නොපැමිණි නිසා ඔහුගේ පියා විදුලි පන්දමද රැගෙන වන වගාව තුළට පිවිසුණේ දැඩි අඳුර මධ්‍යයේය. පියදාස විදුලි රැහැන් අදින ඉසව්ව පියා දැන සිටි නිසා එදෙසට විදුලි පන්දම දල්වා බැලු පියා දුටුවේ ඌරෙකු පරිදිම විදුලි රැහැන් වල පැටලී මරු මුවට පත්ව ඇති පියදාසගේ සිරුරය. බුද්ධ ධර්මය අනුව කරන අකුසල් වලින් කොටසක් මෙලොව දීම පළදෙන බැව් පසක් කරනා එක්තරා අවස්ථාවක් ලෙස මෙය ගම්වාසින්ගේ කතා බහට ලක්විය.

සකස් කළේ-
ප්‍රසන්න සංජීව තෙන්නකෝන් /ඉරිදා ලංකාදීප