කොලේක ලියැවුණු නැතිවුණු රුපියල් 50 දෙන්න ගිහින් ගෙදරකදි හමුවුණු ඇස් නොපෙනෙන අම්මාගේ කඳුළු කතාව (VIDEO)

ජීවිතේ අමාරුම හරියෙදි අසරණ වෙලා ඉන්න අය ගැන අපි ඕනිතරම් දැකලා තියෙනවා. ඔවුන්ට එදිනෙදා ජීවත් වෙන්න හරිහමන් මුදලක් නැති නිසාම ඒ කන්නේ බොන්නේ වුණත් හරිම අමාරුවෙන්. ඒ වගේ මිනිස්සු දැක්කම අහක බලන් යන ගොඩ දෙනෙක් අතරේ තමන්ගේ මුදලින්ම අසරණ මිනිස්සුන්ට උදව් කරන තරුණයෙක් ෆේස්බුක් එකෙන් අපිට හම්බවුණා. ඔහු නමින් ශෂික හෙශාන්.

ඔහුගේ ෆේස්බුක් ගිණුමට ගියොත් ඔබට දැකගන්න පුලුවන් අසරණ වුණු මිනිස්සු සෑහෙන ප්‍රමාණයකට ඔහු උදව් උපකාර කරලා තියෙනවා. අන්න ඒ විදියට මේ ළඟදි දවසකත් ඔහු අසරණ පවුලකට උදව් කරන්න ගියා. ඒ කොලේක ලියලා තිබුණු පුංචි වචන ටිකක් දැකලා.

මේ ගැන ඔහු ෆේස්බුක් ගිණුමට විස්තර එකතු කරලා තිබුණේ මෙන්න මේ විදියට……….

පාරෙ යනකොට දැක්කා කව්රුහරි ලයිට් කණුවේ එල්ලපු පොඩි කඩදාසි කෑල්ලක්. ඒ කඩදාසි කෑල්ල හුලඟට ඒ මේ අතට වැනි වැනී තිබුණා. මොනවද මේකෙ ලියලා තියෙන්නෙ ? මම ඒ දෙසට පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා.

” මගෙ රු 50 /= ක් නැති වුණා.කාගෙ හරි අතට අහුවුණොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න.මට හරියට ඇස් පේන්නෑ.”

මොනවද කරන්නෙ දැන්?
මේක එයාගෙ ඇඩ්රස් එකත් තියෙනවා. හ්ම්! අර ඉන්නෙ…
අංකල්! මේ ලිපිනය කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියනවද?
ආා… මේ ආච්චි අම්මද? පොඩ්ඩක් ඉස්සරහට ගියපුහාම පරණ ගෙයක් තියෙනවා . මේ ආච්චි අම්මා ඒ ගෙදර තමා ඉන්නෙ .හැබැයි එයාට ඇස් පේන්නෑ.
මොකද්ද කාරණේ?
නෑ මේ නිකං එයාව හම්බෙන්න කියලා .
හ්ම්…
තෑන්ක්‍ යූ අංකල්!
හ්ම්… මේක වෙන්න ඇති තැන.ගරා වැටිච්ච පරණ ගෙයක් නෙ. වැස්සකට වත් ඔරොත්තුදෙන එකක් නෑ.

බව්..! බව්.. ! බව්..!

කව්ද ඔය ? එන්න ඇතුලට. බය වෙන්නෙපා ඌව බැඳලා තියෙන්නෙ. ටොමියො කට වහපං . ගෙදරට එන අය ව බය කරන් නැතිව .
(හීන් කට හඬක් ! යාන්තමට වගේ මට ඇහුණා.)
ඇති යාන්තම් බේරුණා ටොමියගෙන් . යමු ඇතුලට…

ඇස් ඇතුලට එබිච්ච , දිරාපත් වූ මළ කඳකට වැරහැල්ලක් අන්දවා පරණ ඇඳක් උඩ වාඩි කෙරෙව්වා සේ දෑස් නොපෙනෙන ඒ ආච්චි අම්මා කාඩ්බෝඩ් කෑල්ලකින් හුළං ගහගෙන හිටියා .

ආච්චි අම්මෙ ! කව්ද පුතා ඔයා? නෑ ආච්චි මම මේ පැත්තෙ ඇවිදන් යන කොට රු 50/= ක් බිම තිබිලා ඇහිඳ ගත්තා . ඒක ඔයාට දීල යන්න කියලයි ආවේ.
(මගේ කතාව අහපු ආච්චි අම්මා අඬන්න පටන් ගත්තා.)
පුතේ ! දවස් දෙකක් තිස්සෙ දහ පහළොස් දෙනෙක් විතර ඇවිත් මගේ රුපියල් 50 බිම වැටිල තිබිලා ඇහිඳ ගත්තා කියලා දීල යනවා. ඒ ලියුම මම ලිව්වෙ නෑ පුතේ .මම ලියන්න කියවන්න දන්නෑ පුතේ. (කියා ඇය නැවතත් කඳුළු සැලුවාය)
කමක් නෑ ආච්චි මේක ඔයා තියාගන්න .එහෙම කියලා මම නැවත හැරිලා ආපහු මගෙ ගමන යන්න සූදානම් වන කොට …
පුතේ ! ඔයා යන කොට අර ලයිට් කණුවෙ එල්ලල තියන කඩදාසි කෑල්ල ඉරල යන්න පුතේ අමතක නොකර හොඳේ .

හ්ම්!.. හොඳයි ආච්චි කියා මම එතැනින් සමු ගත්තා.

මගේ හිතේ දහසකුත් දේ මැවෙන්න පටන් ගත්තා…
කව්ද ඒ ලියුම ලියන්න ඇත්තෙ? ඒ ලියුම ඉරල දමන්න කියලා ඇය ව බලන්න එන හැමෝටම කියනවා ඇති. නමුත් කවුරුත් ඒක ඉරා දමලා නෑ. කාත් කවුරුත් නැතිව අනාථ වෙලා ඉන්න මේ ආච්චිට කඩදාසි කෑල්ලකින් උපකාර කළ පුද්ගලයාට සිතින් ස්තුති වන්ත වෙමින් උදව් කිරීමට සිතක් තිබේ නම් එය ඉටුකිරීමට දහසකුත් මග තිබෙනවා නොවේද යන්නෙන් කල්පනාවෙන් ඉදිරියට ඇදුනෙමි…
” අය්යෙ මේ ඇඩ්රස් එක කොහෙද තියෙන්නෙ ? ”

යන හඬින් මගේ සිතේ පෑයූ සියලු සිතුවිල්ලක් ම සුන් වී ගියේය .

නෑ මේ බිම වැටිල තිබිල රුපියල් 50 ක් ඇහින්දා. මේක ඒ අම්මට දෙන්න ඕනෙ . මට පොඩ්ඩක් පාර කියනවද එහෙට යන්න ?

මනුස්සකම තවමත් ජීවමානයි!! මේ ඇස් නොපෙනෙන ආච්චි අම්මයි වයෝවෘද්ධ කන් නොඇසෙන සීයයි ඉන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිල්ඔබ කියන ගමේ

එම වීඩියෝව පහත වෙයි