පුංචි කරුණක් නිසා ඇති කර ගත් වෛරයේ විපාකය

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ හිස් පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ට වචනය වරදින්න බෑ. වෛර බැඳගන්නවා. ඊට පස්සේ ඔවුන්ගේ ඉලක්කය පළිගැනීම මයි. කිසිදා නොසංසිඳෙන පිපාසයක් වගේ කොච්චර පළිගත්තත් ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ. එබඳු පව්කාරයකුගේ ජීවිතයක විස්තරයක් තමයි දැන් අපි දැන ගන්නේ.

දවසක් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ලක්ඛණ මහ රහතන් වහන්සේ සමග ගිජ්ඣකූට පර්වතයෙන් පහළට වඩිමින් සිටියා. එතකොට මුගලන් මහ රහතන් වහන්සේ යොදුන් විසි පහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා. උගේ හිසේ ගිනිදැල් මතුවෙනවා. වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා.ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා. හිස දක්වා ඇවිලීගෙන යනවා. ආයෙමත් හිස මුදුනෙනුත් වලිගය කෙළවරෙනුත් දෙපැත්තෙන්ම ඇවිලීගෙන එනවා. එතකොට මේ පිඹුරු පෙරේතයා මහත් වේදනාවකින් ඇඹරෙමින් බැගෑ හඬ නගනවා. මෙය දෙස මුගලන් මහ රහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් බලා සිටියා. මද සිනහවක් පහළ වුනා.නමුත් ලක්ඛණ මහ රහතන් වහන්සේ එය දැක්කේ නෑ.

“පින්වත් මොග්ගල්ලානයන් වහන්ස, ඔබවහන්සේ අර පැත්ත දිහා බලාගෙනම ඉඳලා සිනහ වුණේ ඇයි?”

“ආයුෂ්මත් ලක්ඛණ, ඒක දැන්ම කියන්න බැහැ.අපි යමු වේළුවනයට.භාග්‍යවතුන් වහන්සේ බැහැදැක වන්දනා කරමු.එතකොට අහන්න මගෙන්…”

ඉතින් උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටියා. ලක්ඛණ තෙරුන් මේ ප්‍රශ්නය ඉස්මතු කළා. මුගලන් මහ රහතන් වහන්සේ ඒ පිඹුරු පෙරේතයාගේ විස්තරය පැවසුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, දිවැස් ඇති ශ්‍රාවකයින්ට ඇතැම් විට ඕවා දකින්ට ලැබෙනවා. මටත් ඔය ප්‍රේතයා මුණ ගැහුණා. ඒ මං නේරංජරා නදිය අසබඩ බෝ මැඩ සිටිද්දී. හැබැයි මං කාටවත් කිව්වෙ නෑ. දැන් මොග්ගල්ලානයන් දිවැසින් දුටු නිසා සාක්ෂියක් තියෙනවා නෙව. එනිසයි මං ඔය කතාව දැන් කියන්නේ. තමන්ම කරගත්තු දෙයක් තමයි ඔය විඳවන්නේ….

ඔය පෙරේතයා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලෙ මනුස්සයෙක්. ඒ කාලෙ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා. ඔහු රන් ගඩොල් බිම අතුරා ධනය විසුරුවලා මහා විහාරයක් කෙරෙව්වා. ඒ සුමංගල සිටුතුමා දිනපතා බුද්ධෝපස්ථානයට යනවා. එහෙම යද්දී නුවර දොරටුවේ එක් ශාලාවක එක සොරෙක් නිදාගෙන හිටියා. කකුල්වල මඩ තැවරිලා තිබුණා. ඔළුවෙ පටන් පොරවාගෙන නිදාගෙන හිටියා.සිටුතුමා මොහු දෙස බලා කිව්වා ‘මෙයා නම් රෑ තිස්සෙ ඇවිදලා දවල්ට නිදියන කෙනෙක් වගෙයි’ කියලා.

එතකොට හොරා ඔළුව උස්සලා බැලුවා කවුද එහෙම කිව්වෙ කියලා. සිටුතුමාව දැක්කා.ඒ කියමනට වෛර බැඳ ගත්තා. කුරුමානම් අල්ල අල්ලා පළිගත්තා. හත් වතාවක්ම සිටුතුමාගේ හොඳට පැසුණු කුඹුරු යාය ගිනිතිබ්බා. ඒත් සෑහීමට පත්වුණේ නෑ. සිටුතුමාට රිද්දන්න එක එක දේවල් කරනවා.සත් වතාවක් තියුණු ආයුධයක් ගෙන සිටුතුමාගේ ගවගාලට හැන්නා. අහිංසක ගවයන්ගේ කකුල් කපලා හැංගුණා. හත් වතාවක් සිටුතුමාගේ ගෙවල් ගිනිතිබ්බා. එහෙත් සිටුතුමාට රිදුණු බවක් පේන්න නෑ.දවසක් සිටුතුමාගේ සේවකයකුගෙන් මොහු මෙහෙම ඇහුවා.

“නුඹලාගේ සිටුතුමා හරි පුදුම කෙනෙක් නෙව. අපිට ආරංචියි හරියට කරදර වුණා කියලා. කුඹුරු ගිනිගත්තලු. හරක් කැපුවලු. සිටුතුමාට ගාණක් නෑ නේද? සිටුතුමාට ඒවා ප්‍රිය නැද්ද?”

“යහළුව, අපගේ සිටුතුමා බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තයි.භාග්‍යවතුන් වහන්සේට හැදූ ගන්ධකුටිය තරම් වෙන ප්‍රිය මනාප දෙයක් එතුමාට නැහැ.” එතකොට හොරා කල්පනාවට වැටුණා.

“හ්ම්….එහෙමද? එතකොට මූට රිද්දන්න බැරි ඒ නිසයි.ඈ….! හරි…එහෙනම් ගන්ධකුටියට කරන දේ බලා ගනින්…”

හොරා දවසක් කවුරුත් නැති වේලෙහි ගන්ධකුටියට ගිනිතිබ්බා. සිටුතුමාට ආරංචි වුණා.දුවගෙන ආවා. ගිනිගන්නා ගන්ධකුටිය බලා ප්‍රීතියෙන් අත්පොළොසන් දෙන්න පටන් ගත්තා. මෙය දුටු මිනිසුන් පුදුමයට පත්වුණා.

“ඇයි සිටුතුමනි….? මෙච්චර දෙයක් වෙලත් සතුටු වෙන්නේ…?”

“දරුවෙනි, මං ධනය තැන්පත් කළේ බුදු සසුනෙහි මිසක් මහ පොළොවෙහි නොවෙයි. මට මීටත් වඩා ලස්සනට ගන්ධකුටියක් හදන්නට අවස්ථාවක් ලැබීම ගැනයි මං මේ අත්පොළොසන් දෙන්නේ….”

සිටුතුමා ඉතාම ලස්සන අලංකාර ගන්ධකුටියක් හැදුවා. හොරාට තවත් කේන්තියි.’මේකාව මරණවා මිසක් මට වෙන විසඳුමක් නෑ’ කියලා තීරණය කළා. ඉණේ පිහියක් බැඳගෙන දවස් හතක් මාන බැලුවා. සිටුවරයා ගන්ධකුටිය බුදුරජාණන් වහන්සේට පූජ කොට හත් දවසක් මහා දන් දුන්නා. හත්වෙනි දවසේ සෙනඟ මැද්දේ වන්දනා කොට මෙහෙම කිව්වා.

“ස්වාමීනි. භාග්‍යවතුන් වහන්ස, කවුදෝ පුද්ගලයෙක් මගේ කුඹුරු යාය හත් වතාවක් ගිනිතිබ්බා. මාගේ ගේ හත්වතාවක් ගිනිතිබ්බා. ගව පට්ටියට රිංගලා අහිංසක ගවයින්ගේ කකුල් හත් වතාවක් කැපුවා. මා හිතන්නේ ඔහුමයි ගන්ධකුටිය ගිනිතිබ්බෙත්. මේ පුද්ගලයා ගැන මට මහා අනුකම්පාවක් ඇතිවුණා. ස්වාමීනි, මා මේ ගන්ධකුටිය පූජා කිරීමෙන්, සත් දිනක් මහා සංඝයාට දන් දීමෙන් රැස් කළ පුණ්‍ය කර්මය පළමු කොට ඒ පුද්ගලයාට අයිති වේවා! සැපවත් වේවා!” කියලා පින් දුන්නා.

ඉණේ පිහියක් සඟවාගෙන සිටි සොරාගේ වෛරය ඒ මොහොතේ සංසිඳුණා.

“හප්පේ! මෙබඳු කෙනෙකුටද මං මේ වෛර බැන්ඳේ…? මං සමාව නොගත්තොත් සත්තකින්ම දෙයියෝ මට අච්චු කරාවි” කියලා පිරිස මැද්දෙන් මතුවෙලා ඇවිත් සිටුතුමාගේ පාමුල වැඳ වැටුණා.සියලු විස්තර කියා හිටියා.

“එතකොට ඇයි ඔය තරම් වෛර බැඳගන්න මං කළ වැරැද්ද?”

“මං දවසක් දොරටුව ළඟ ශාලාවේ නිදාගෙන හිටියා.ඔබතුමා යනගමන් මං දිහා බලලා කිව්වා, ‘මෙයා නම් රෑට ඇවිදින දවල් නිදන කෙනෙක් වගේ’ කියලා.ඉතින් මට කේන්ති ගියා. ඒකට පළිගන්නයි මං මේ හැමදෙයක්ම කළේ.”

“පින්වත් දරුව, ඔව්! මට අදාළ නැති දෙයක් මං කියලා..ඒක මගෙන් වෙච්ච වරදක්…ඒකට මට සමාවෙන්න….හොඳයි.දැන් ඒ සියලු වරදට මං ඔබට සමාව දෙනවා.”

ඉතින් ඒ හොරා තමන්ගේ අඹුදරුවන් සමග සිටුතුමාගේ නිවසේ දාසයෝ වෙන්න කැමති වුණා. සිටුතුමා එයට සතුටු වුණේ නෑ. සමාව දීලා පිටත් කළා. ඒ සොරා මිය ගිහින් උපන්නේ අවීචි මහ නරකයේ. අනන්ත අප්‍රමාණ දුක් වින්ඳා. දැන් ඒ පාපයේ ඉතුරු විපාක තමයි ඔය විඳින්නේ. නුවණ මද තැනැත්තා පවේ භයානකකම ගැන කල්පනා කරන්නේ නෑ. නොසංසිඳෙන ආශාවකින් පළිගැනීම දිගටම කරගෙන යනවා. අන්තිමට ලැව් ගින්නක් වගේ තමාව දවනෙත් එයමයි.

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා. 136.8.

අථ පාපානි කම්මානි – කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ – අග්ගිදඩ්ඨෝ’ව තප්පති

අනුවණයා කරමින් සිටියත් පව් – නැහැ කිසිදා වරදක් බව දන්නේ
අනුවණයා පව් වලින් හැදෙන්නේ – ලැව් ගින්නක් සේ ඔහුව දවන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න පව්කාරකමේ මහත. අර පුංචි වචනය අත්හැරගන්න බැරිව ගියානේ. ඒකම හිත හිත දිගින් දිගටම පළිගත්තානේ. මොනතරම් අයහපතක් වුණාද? තව කොච්චර කල් විඳීවිද කවුද දන්නේ? එනිසා අපි අනුන්ගේ නින්දා බස් ඉවසන්න පුරුදු වෙමු.එතකොට එතනින්ම ප්‍රශ්නය ඉවර වෙනවා.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 10 ( දණ්ඩ වර්ගය )
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ