මහා කුණාටුවකට හසුව නූලෙන් දිවි රැකගත් මිරිස්සෙන් මුහුදු ගිහින් ඉරානයෙන් මතුවූ ධීවරයන්ගේ කතාව

‘බෝට්ටුව පෙරළෙනකොට තුවාල වුණා කෙනා වතුරේ නොපෙනී ගියා“
‘‘මුහුද හිතා ගන්නත් බැරි තරම් කැළඹුණා..“
‘‘පැය ගාණක් ජීවිතයත් මරණයත් එක්ක පොර බැදුවා“

‘‘බෝට්ටුව පෙරළෙනකොට තුවාල ලබා හිටිය කෙනා වතුරෙ ගිලිලා නොපෙනී ගියා. අපි පස් දෙනෙක් අමාරුවෙන් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පැය ගාණක් ජීවිතයත් මරණයත් අතර පොර බැදුවා“ යැයි මාලදිවයින් මුහුදු කලාපයේදී මුහුදු බත්වූ ‘‘ටංගා“ ධිවර යාත්‍රා වේ ගමන් ගත් ධීවර කාර්මිකයෙකු වූ කේ.එච් සුගත් දිනපතා පුවත්පතකට පවසා තිබෙනවා.

ඔක්තෝබර් 10 වැනිදා මිරිස්සෙන් මුහුදු ගිය මේ ධීවර පිරිස නැවත ශ්‍රි ලංකාවට පැමිණෙමින් සිටියදී පසුගිය 29 වැනිදා හමා ගිය සුළි කුණාටුවත් සමග බෝට්ටුව පෙරලී යාමෙන් අනතුර සිදුව තිබුණා.

ඒ වන විට බෝට්ටුවේ හය දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉන් එක් අයෙකු මුහුදු රළ අතරේ අතුරුදන් වුණා.

අනතුරට පත් ධීවර පිරිස පැය දෙකහමාරක් පමණ අසීරු මෙහෙයුමකින් පසුව ඉරාන නෞකාවක වැසියන් පිරිසක් විසින් බේරා ගෙන තිබෙනවා.

මුහුදු රළ අතරේ ජීවිතයත් මරණයත් අතර සටන් කළ ධීවර කාර්මිකයෙකු සිද්ධිය විස්තර කර තිබුනේ මෙලෙසින්.

‘‘ බෝට්ටුව පෙරළෙනකොට තුවාල ලබලා හිටපු කෙනා වතුරේ ගිලිලා නොපෙනී ගියා. අපි පස් දෙනෙක් අමාරුවෙන් බෝට්ටුවේ එල්ලිලා හිටියෙ. පැය ගාණක් ජීවිතයත් මරණයත් එක්ක පොර බැදුවා. ඒ වෙනකොට පාන්දර 1.30 ට විතර ඇති. ටික ටික රළු වෙමින් තිබුණු මුහුද හිතා ගන්නත් බැරි තරම් කැළඹුණා. අපි බෝට්ටුව නවත්තලා ඇන්කර් එක දැම්මා.

ඒත් එකපාරම ආපු දැවැන්ත රළ පහරකට බෝට්ටුව පෙරළිලා ගියා. අපි පැය දෙකක් බෝට්ටුවේ හිටියා. එක්කෙනක් අපේ බෝට්ටුවට වෙන බෝට්ටුවකින් ගෙනත් දාපු කෙනෙක්. එයා හිටියෙ තුවාල වෙලා.

උදේ 7.30 ට විතර ආපු නැවක් දැකලා අපි ඇඳන් හිටපු ටී ෂර්ට් ගලවලා වනන්න ගත්තා. ඊට පස්සෙ ඔවුන් ඇවිත් පැය ගාණක් උත්සාහ කරලායි අපේ ජීවිත බේර ගත්තේ.“

මේ පිළිබඳව තානාපති කාර්ය මණ්ඩල ප්‍රධානි වයි.කේ.ඒ. රෝහනජිත් මහතා පවසා ඇත්තේ බේරාගත් ධිවරයන් පස් දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව හා ඔවුන් සඳහා ගුවන් ටිකට්පත් ලබා ගැනීමට විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගත් විගස ඔවුන්ව මෙරටට එවීමට හැකිවන බවයි.

ටිකට් සඳහා අවසර ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි මේ වන විටත් මෙරට විදේශ අමාත්‍යාංශයට ෆැක්ස් කර තිබෙන බවද ඒ සඳහා අමාත්‍යාංශයේ අවසරය අද (8) ලබා ගැනීමට බොහෝ දුරට හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.