මල් ශාලාවක් දාගෙන මිනී එම්බාම් කරන ලංකාවේ එකම කෙල්ල රුවන්වැල්ලේ කුමාරි කියන කතාව මෙන්න – ඡායාරූප

‘‘කොයිතරම් ධනවතෙක් වුණත් අවසානයට රැගෙන යන්නේ සම්පූර්ණ නැති ඇඳුමකුයි, බෙලෙක් තහඩු කීපයකුයි, සිල්ක් රෙදි කෑලි, ඉටිරෙදි, මේස්, පරවුණු මල් සහ පාට කරන ලද ලී කැබලි ගොඩකුයි විතරයි. මේ රස්සාව කරන නිසා මම ඒක හොඳටම තේරුම් අරගෙන ඉන්නේ. ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් තිබුණම ඇති.‘‘

ඉංජිනේරු සිහිනය

ලොකු වුණාම ඉංජිනේරුවරියක වීමේ හීනයක් දිනූෂා සතුව තිබිණි. ඒ නිසාම ඈ පාසල් යන වයසේදීම තාත්තාගේ ගරාජයේම තාත්තාට උදව් කරමින් මැකෑනික් වැඩ ඉගෙන ගත්තාය. ඒ අතරම රියැදුරු පුහුණුව ද ලැබුවාය. පාසලේ 11 වන වසරට යද්දී සැහැල්ලු වාහන මෙන්ම බර වාහන, බැකෝ යන්ත්‍ර ඇතුළු ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර හසුරවන ආකාරයත් නඩත්තු කරන ආකාරයත් ඉගෙන ගත්තාය. ගරාජයට අමතරව දිනූෂාගේ පියා රුවන්වැල්ල සමුපකාර මල්ශාලාවේ ද සේවය කළේය. එහි දී සිය පියා මිනී එම්බාම් කරන ආකාරයත් ඒවා සකස් කරන ආකාරයත් දිනූෂා දැකගත්තාය. එම කටයුතුවලට ඇය ද උදව් කළාය. ඉංජිනේරුවරියක වීමේ සිහිනය දිනූෂාට මඟහැරුණි. එනමුදු ඉංජිනේරුවරයකු ලබන වැටුපටත් වඩා ඉහළ ආදායමක් දිනූෂා මාසිකව උපයන්නීය. ඇය සපයන සේවය ද ඉංජිනේරුවකුගෙන් ලැබෙන සේවාවට නොදෙවෙනිය. සත්‍යය වශයෙන්ම ඇය මෙරට සිටින ළාබාලතම අවමංගල අධ්‍යක්ෂවරියයි.

රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩාංගණය අසල කුඩා නිවසේ පදිංචි මංජුල ජයශාන්තගේත් විනීතා සිල්වාගේත් එකම දියණිය එන්.ඒ.කේ. දිනූෂා කුමාරිය. ඇයට සහෝදරයන් හෝ සහෝදරියන් නැත. මේ පුංචි පවුලේ දියණියගේ භූමිකාවත් පුතුගේ භූමිකාවත් යන දෙකම දිනූෂා කුමාරි සතු විය. දැන් ඇගේ වයස අවුරුදු විසිදෙකකි.

මල් සමඟ ජීවිතය

රුවන්වැල්ල මහා විද්‍යාලයේ අ.පො.ස. සා.පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ කුමාරි 2009 වසරේ දී පාසල් දිවියට සමුදුන්නාය. එතැන් සිට ඇය තෝරා ගත්තේ මෙරට කාන්තාවන් තෝරා ගැනීමට අකැමැතිම රැකියාවකි. ශල්‍යකර්ම සිදු කළත් වෛද්‍යවරියක නොවන රූපලාවණ්‍ය කටයුතු කළත් රූපලාවණ්‍ය ශිල්පිනියක නොවන ඇය රුවන්වැල්ල කුමාරි මල් ශාලාවේ හිමිකාරිය වන්නීය. මිනී එම්බාම් කිරීමට අමතරව අවමංගල රථයේ රියැදුරුවරිය ලෙස කටයුතු කරන්නේ ද ඇයයි. ඕනෑම වාහනයක කාර්මික දෝෂයක් සැණෙකින් හොයා ඊට ප්‍රතිකර්ම යෙදීමට ඇය දක්වන සමත්කම නිසා ගම්මු කියන්නේ ඇය වාහනයක් වුණත් එම්බාම් කරන්න හපනියක කියාය.

අපේ රටේ සාමාන්‍ය කාන්තාවන් ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, රූපලාවණ්‍ය කටයුතු මංගල කේක් නිර්මාණ යනාදී කටයුතුවල නියැළුණත් ‘පිරිමි කරන රැකියා’ ලෙස වර්ග කර ඇති රැකියාවල නිරත වීමේ අභියෝග භාරගන්නේ අල්ප වශයෙනි. ඒ අතරිනුත් මිනී එම්බාම් කිරීමේ කටයුත්ත නම් සමාජ පිළිගැනීම් අනුව අතිශය අභියෝගාත්මක එකකි. නමුදු මේ විසි දෙහැවිරිදි කෙල්ල එකී අභියෝගයෙන්ම ජීවිතය හැඩගස්වාගෙන ඇත.

කුමාරි කොහොමද මේ රැකියාව තෝරා ගත්තේ? මම ඇයගෙන් ඇසීමි.

එම්බාම් අභියෝගය

“මම උපදිනකොටත් අපේ තාත්තා වැඩ කළේ රුවන්වැල්ල සමුපකාර මල්ශාලාවේ. මම පුංචි කාලේම තාත්තාගේ වැඩවලට උදව් කළා. මිනී එම්බාම් කරන හැටි මම ඒ දවස්වලම දැක්කා. අම්මයි තාත්තයි මමයි ඒ කටයුතුවලට හවුල් වුණා. ඒ නිසා මේ රැකියාව

තෝරගන්න මට චකිතයක්, බයක්, සැකයක් ඇති වුණේ නෑ. කුඩා කාලේ ඉඳලම මිනී පෙට්ටි එක්ක ගැවසුණ තාත්තා එක්ක වැඩ කළා. ඉස්කෝලේ යන කාලේම මම මිනී එම්බාම් කරන්න තාත්තා එක්ක පුරුදු වුණා. ඉස්කෝලෙන් අවුට් වෙද්දි මට මේ රැකියාව කරන්න හොඳ පුහුණුවක් තිබුණා. මගේ වයස අවුරුදු විසිදෙකට මම මිනී හැටපහක් විතර එම්බාම් කරලා තියෙනවා. හැමෝම කැමැතියි තමන්ගේ මිය ගිය ඥාතියාගේ අවසන් කටයුතු ලස්සනට කරන්න. මෘත ශරීරය වුණත් ජීවත් වෙලා හිටි කාලේ තිබුණු රූප සොබාවෙන්ම පෙට්ටියේ තියෙනවා දකින්නත් කැමැතියි. ඉතින් මං ඒ කටයුත්ත දක්ෂ ලෙස ඉටු කරන නිසා හැමෝම මට කැමැතියි. මළ ගෙයක් වෙච්ච ගමන් ඒ අය මාව හොයාගෙන ගෙදරට එනවා.”

සිය පියා සමඟ දිනූෂා කුමාරි අවමංගල්‍ය සේවාව පවත්වාගෙන ගියේ රුවන්වැල්ල නගරයේ සමුපකාර මල්ශාලාවේ වුණත් අධික බදු කුලී ගෙවීමට සිදු වීම නිසා එහි තිබූ ආම්පන්න සියල්ලම දැන් තිබෙන්නේ දිනූෂා කුමාරිගේ නිවසේය.

මිදුලේ මල් ශාලාව

අවමංගල සේවා සැපයීම සඳහා ස්ථානයක් රුවන්වැල්ල නගරයෙන් මිලදී ගන්නා තුරු දැනට එම කටයුතු සියල්ලම සිදු කෙරෙන්නේ දිනූෂා කුමාරිගේ නිවසේ වීම විශේෂත්වයකි. ගරාජය ඇත්තේ ද එහිය.

“මීට අවුරුදු කිහිපයකට කලින් තාත්තාගේ වැඩවලට මම උදව් කළා. අද මගේ වැඩවලට තාත්තා උදව් කරනවා. අම්මත් උදව් කරනවා. මල්ශාලාවක තියෙන්න ඕන බඩු ගෙදර තියෙනවා දැක්කම සමහරු බය වෙනවා. වාහනයක් හදාගන්න ආවත් ගෙදරට ටිකක් දුරින් ඉඳලා තමයි කතා කරන්නේ. සමහරු ඒ තරමට මිනී පෙට්ටියටත් බයයි.” දිනූෂා කීවාය.

සිය දියණිය මේ රැකියාවට යොමු වීම පිළිබඳව ඇගේ මව වන විනීතා සිල්වා මහත්මියගේ අදහස කුමක්දැයි මම විමසා සිටියෙමි

“නැහැ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපිට පුතෙක් හිටියා නම් මේක කරන්නේ එයා. ඒත් අපිට දුවෙක් ඉන්නවා. ඉතින් ඒක එයා තෝර ගත්තා. තාත්තාගේ අත්දැකීම් එක්ක එයාට ලොකු හයියක් තිබුණා. දැන් තාත්තා ගැරේජ් වැඩ කරනවා, දුව මල්ශාලාව පවත්වාගෙන යනවා. දුවට ගැරේජ් වැඩ පුළුවන් නිසා අවමංගල කටයුතු නැති දවස්වලට වාහනවල වැඩ තියෙනවා. අපි කාටවත් ණය නැහැ. අපිට ජීවත් වෙන්න පුළුවන් ආදායමක් කොහොමටත් ලැබෙනවා. ඇත්තෙන්ම මේක රැකියාවකට වැඩිය සේවාවක්. ඒකට හොඳ කැපවීමක් අවශ්‍යයි. දුවට ඒ සියල්ලම තියෙනවා”

බය නැත්නම් බලන්න

දිනූෂා කුමාරිගේ පියා මංජුල ජයශාන්ත සිය දියණියගේ හපන්කම් ගැන කීවේ මෙවැන්නකි. “ඉස්කෝලේ දෙක තුන පන්තියේ ඉන්දැද්දී මම මිනී එම්බාම් කරනවා එයා දැක්කා. බය නැත්නම් බලාගන්න කියලත් මම කියලා තියෙනවා. එයා ඔක්කොම තේරුම් ගත්තා. හොල්මන්, අවතාර, සද්ද බද්ද ගැනත් මැරුණු මිනිස්සු ගැන තියෙන මිථ්‍යා මතත් බොරු කියලා එයා තේරුම් ගත්තා. අපි හැමෝම මැරෙන බව දන්නවා නම් අපි මොකටද බය වෙන්න ඕන? දැන් මේ දුව මිනිය එම්බාම් කරලා ඒක සරසලා හර්ස් එකෙන් මහ රෑ ඒක ඥාතීන්ට භාරදෙන්නත් තනියම යනවා. ගෙවල්වල මිනිස්සු පුදුම වෙනවා. අඬ අඬ ඉන්න අය මෙයා දැක්කම ඇඬීමත් නතර වෙනවා! මේ තරම් ළාබාල කෙල්ලෙක් කොහොමද මෙහෙම වැඩ කරන්නේ කියලා සමහරු පුදුම වෙනවා. ඉතින් මට ආඩම්බරයි මෙයා මේක රස්සාව කරගත්තට.

මිනී පෙට්ටි ඇද්දල

රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩාංගණය අසල කුඩා නිවසේ සාලයේ ඉඳගැනීම සඳහා පුටු කිහිපයක් හැරුණු කොට එහි ගබඩා කර ඇත්තේ මල්ශාලාවක ඇති උපකරණය. නිවසේ ඉදිරිපිට ආලින්දයේ මිනී පෙට්ටි සූදානම් කිරීම කරයි. මේ සියල්ල අතරේ අසුන්ගෙන රූපවාහිනී නැරඹීමත් ආහාර ගැනීමටත් දිනූෂාට ඇගේ මවට හෝ පියාට අරුමයක් නොවේ. එම්බාම් කිරීමේ කටයුත්ත පිළිබඳව මම දිනූෂා කුමාරිගෙන් විමසුවෙමි. “හදිසි මරණයක් නම් ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් තියෙනවා. සාමාන්‍ය මරණයක් නම් සැකයක් නැත්නම් ඒ කටයුත්ත සඳහා වෙනම ක්‍රමවේදයක් තියෙනවා. මම කොහොමටවත් කුඩා දරුවන් එම්බාම් කරන්නේ නැහැ. ඒක හරි සංවේදියි. අවුරුදු 15ක දැරියක් මගේ යාළුවෙක් කියපු නිසා කරලා දුන්නා. ඒත් එදයින් පස්සේ කුඩා දරුවන් හෝ ළමයි එම්බාම් කරන්නේ නෑ කියලා මම හිතා ගත්තා. ඒක මගේ තීරණයක්. ඒ හැඟීම මට විස්තර කරන්න තේරෙන්නේ නෑ.”

ඔබට අමතක නොවන සිදුවීම් නැද්ද? මම ඇගෙන් පෙරළා ප්‍රශ්න කළෙමි.

“හැම එකක්ම අමතක කරන්න බැහැ. නමුත් ජීවත් වෙලා ඉඳිද්දී වස්තරයක්වත් නොදීපු අය ඒ මනුස්සයා මැරුණට පස්සේ ලස්සනට සරසන්න ඕන කියලා කිව්වම ඒක විහිළුවක්. මළමිනී එක්ක හැප්පුණාම බය නැද්ද කියලා මගේ යාළුවෝ මගෙන් නිතරම වගේ අහලා තියෙනවා. ඒත් මම එම්බාම් කරපු එක මනුස්සයෙක්වත් මට හීනෙන්වත් පෙනිලා නෑ. මැරුණු මිනිස්සුන්ගෙන් කරදර සිදු වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න අයට විතරයි. මිය ගිය සෑම මිනිහෙකුටම ගෞරවයක් තියෙන්න ඕනෑ. මම වැඩ කරන්නේ ඒක සිහියේ තියාගෙන.”

මේක මගේ රැකියාව ඒක මට ආඩම්බරයක්

දිනූෂා මේ රැකියාව තෘප්තිමත් කියලා හිතනවද?

“ඔව්. මේක හැමෝටම කරන්න පුළුවන් සේවයක් නෙවෙයි. මම සපයන සේවයට මම සාධාරණ ගාස්තුවක් අය කරනවා. ඒ මේක මගේ රස්සාව නිසා. සමහර මාසවලට 10 – 15 විතර එම්බාම් කරන්න වෙනවා. සමහර මාසවලට නැහැ. නමුත් රස්සාව කරන්නේ නැති මාසවලත් ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් අපි ඉතුරු කරනවා.

දිනූෂාගේ මාසික ආදායම කීයක් විතරද?

මම ලක්ෂ දෙකහමාරකට වැඩිය හොයනවා. මමයි, අම්මයි, තාත්තයි විනෝද ගමන් යනවා, වන්දනා ගමන් යනවා. මම සමාජ සේවා කටයුතුවලටත් උදව් කරනවා. අවමංගල කටයුතු කරගන්න තරම් වත්කමක් නැති අයට මම උදව් කරලා තියෙනවා. වාහනයක් ගන්න අදහසක් තියෙනවා. ඒ වගේම මල්ශාලාවක් අලුතින් ඉදිකරන්න ඉඩමක් මිලදී ගන්නත් හිතාගෙන ඉන්නවා. මම තේරුම් ගත් කෙනෙක් එක්ක විවාහ ජීවිතයක් ගත කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අම්මටයි, තාත්තටයි ඉන්න එකම පුතාත් දුවත් මම. ඒ දෙන්නා රැක බලා ගැනීමේ වගකීමක් මට තියෙනවා.”

ගාස්තු නියම කිරීම

දිනූෂාගේ අවමංගල සේවා සපයද්දී ගාස්තු අය කරන්නේ කොහොමද?

“ඒක තීරණය කරන්නේ මම නෙවෙයි මා ළඟට එන අයයි. ගනුදෙනුව තීරණය කරන ප්‍රධාන මෙවලම තමයි පෙට්ටිය. පෙට්ටි වර්ග කීපයක් තියෙනවා. මූඩිය, කට්ටපෙට්ටිය, වෙල්වට් පෙට්ටිය, මල් කැටයම්, ස්ප්‍රේ, හිරිමල් කැටයම්, බෝල පෙට්ටිය, වට්ටක්කා පෙට්ටිය, කණු පෙට්ටිය. මේවායේ මිල ගණන් වෙනස්. තරාතිරම වැදගත්කම පෙන්නන්න කැමැති අය ඉහළ මිල ගණන්වල ඒවා ඕඩර් කරනවා. ඉල්ලුමට සැපයුම නැත්නම් මේ රස්සාව කරන්න බැහැ. ඒක සාමාන්‍යයි.”

දිනූෂා සිනාසෙමින් කීවාය.

ප්‍රාර්ථනාව

“මොන පෙට්ටියක දැම්මත් අවසානේ පස්වලට යට වෙනවනේ” මම දිනූෂාට කීවෙමි. “ඔව් මේක සේවාවක් වගේම මගේ රැකියාව. කොයිතරම් ධනවතෙක් වුණත් අවසානයට රැගෙන යන්නේ සම්පූර්ණ නැති ඇඳුමකුයි, බෙලෙක් තහඩු කීපයකුයි, සිල්ක් රෙදි කෑලි, ඉටිරෙදි, මේස්, පරවුණු මල් සහ පාට කරන ලද ලී කැබලි ගොඩකුයි විතරයි. මේ රස්සාව කරන නිසා මම ඒක හොඳටම තේරුම් අරගෙන ඉන්නේ. ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් තිබුණම ඇති. ජීවත් වෙලා ඉඳිද්දි මිනිස්සු මොනතරම් දේවල්වලට වලි කනවද? ඒ ඔක්කොම ඉතිරි කරලා හිස් අතින් යන්න වෙනවා! නමුත් හැමෝම ජීවිතේ තමන්ට ලැබෙන අන්තිම තත්පරය දක්වාම ජීවත් විය යුතුයි! සතුටින් සිටිය යුතුයි. මම මේ රස්සාව කළාට මිනිස්සු මැරෙන්න කියලා උදේට පහන තියන කෙනෙක් නෙවෙයි.”

– දයා නෙත්තසිංහ