” ඔක්කොම මැරෙන්න ඇති , මම විතරයි ඉතුරු , වතුර බැහැලා ගියාම මම තනියම ජීවත් වෙනවා “

සෑම වසරකම දෙසැම්බර් මාසය එලබෙන විට වසර ගණනකට පෙර සිදුවූ ආවාසනාවන්ත සිදුවීමක අදුරු මතක ශ්‍රී ලාංකිකයන්ට සිහිවන්නේ නිතැතිනි. හරියටම මීට වසර 13කට පෙර 2004 වසරේ දෙසැම්බර් මස 26 වෙනිදා ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි උවදුර මිනිස් ජීවිත දහස් ගණනින් බිලි ගෙන අප රටට මහත් හානියක් සිදු කළහ. මේ අතර සුනාමි රළට හසුව අයාසයෙන් දිවි ගලවා ගෙන ජිවීතය ජය ගැනීමට එයම සවියක් කරගත් තරුණයෙකුගේ අපූරු කතා පුවතක් අපට හමුවුණා. ඔහු කොළඹ ආනන්ද විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දරන තිනෙත් පබසර ජයසූරියයි. ජීවිත තක්සලාවේ බොහෝ ජයග්‍රහණ අත්කරගෙන සිටින තිනෙත් ජයසූරිය දැයට ආඩම්බරයක් වූ කීර්තිමත් ශිෂ්‍යයෙකි. සුනාමිය සමග බැදුනු ඔහුගේ ජිවීත කතාව ඔහු මුද්‍රිත මාධ්‍යයට හෙළිකර තිබුනේ මෙලෙසින් ,

මේ සිදුවීම වෙද්දී මට වයස අවුරුදු 6 1/2ක් විතර ඇති. මම කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගන්නවා. අපිට අවුරුද්දෙ අවසන් නිවාඩුව ලැබිල තිබුණෙ. මගෙ අක්ක ඉගෙන ගත්තෙ මියුසියස් විද්‍යාලෙ. එයා හිටියෙ පහ වසර පන්තියෙ. අපේ පවුලෙ අම්මයි තාත්තයි අපි ඔක්කොම හතර දෙනයි. අපි පදිංචි නුගේගොඩ හැම අවුරුද්දකම අපේ පවුල්වල නෑදෑයෝ එකතු වෙලා ට්‍රිප් එකක් යන සිරිතක් තිබ්බා. අපි පොඩි අය ඔක්කොම ආසාවෙන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ නැන්දල මාමල කවුරුත් එක්ක ට්‍රිප් එක යන්න.

එදා 2004 අවුරුද්දෙ අපේ සංචාරය යොදාගෙන තියෙන්නෙ දකුණු පළාතට. හම්බන්තොට බුන්දල වනෝද්‍යානයට ගිහින් පසුවදා කතරගමත් ගිහින් එන්න. අපේ නවාතැන්පොළ හම්බන්තොට ‘පීකොක් බීච්’ හෝටලය. නෑදෑයො ඔක්කොමල එකතු වුණාම අපේ කණ්ඩායම 25ක් විතර වෙනවා. 2004 දෙසැම්බර් 25 උදේ තමයි තාත්තලා කොළඹින් පිටත්වෙලා තියෙන්නෙ. මම ගොඩක් පුංචිනෙ. ඒ වුණත් මට මතකයි. අපි සින්දු කිය කියා ආසාවෙන් මුහුද බල බලා ගිය හැටි. මම ජනවාරි ඉස්කෝලෙ පටන් ගත්තම දෙක වසරට යන්නයි හිටියෙ. අපේ පන්ති භාර ගුරුතුමිය මට කියල තිබුණෙ ඉස්කොලෙ පටන් ගන්න පළමු දවසෙ අලුත් පන්තියෙ අලුත් යාළුවො ඔක්කොම පිළිගන්න කතාවක් පවත්වන්න. ඉතින් මම යද්දි හැම වෙලාවෙම හිත හිතා හිටියෙ නව වසරට එන ආනන්දීයයන් පිළිගන්න කතාව ගැන. කොටින්ම මම හිතෙන් කතාව පවත්වමින් තමා හිටියෙ.

අපි ‘පීකොක් බීච්’ එකේ රෑ නිදියල උදේ වෙරළෙ ඇවිදින්නත් ගියා. ඊට පස්සෙ කවුරුත් උදේ කෑම ගත්ත. අපිට පිටත් වෙන්නයි තිබුණෙ. 26 වැනිද උදේ 8.30ට විතර ඇති. අම්මලා කිව්වෙ මුලින්ම අපිව ලුණු ලේවාය බලන්න එක්කන් යනව කියලා. අපි පොඩි කට්ටිය හොටෙල් එකේ මිදුලෙ හිටිය. අම්මලා රූම්ස්වලට ගියා අපේ තොප්පි එහෙම ගමනට ඕනෙ දේවල් ගන්න. මොකද බඩු ගෙනියන්නෙ නෑ. එදා රෑත් අපි නවතින්නෙ හෝටලේ නිසා. අපි මිදුලෙ ඉද්දි එක පාරටම එතන තිබුණ කුඩා සාප්පු අතරින් වතුර ආවා. කට්ටිය හිතල තියෙන්නේ හෝටලේ වොටර් ලීක් එකක් කියල. මොකද හෝටලේ අප හිටිය පැත්තට මුහුද පේන්නෙ නැහැ. ටික වේලාවක් යද්දි හෙලිකොප්ටර් එකක් පහතින් යනව වාගේ ගොර ගොර සද්දයක් ආවා. අපි බයවෙලා ඒ මොකක්ද කියල වටපිට බලද්දි මහා ජලකඳක් හෝටලයේ පහත මාලය බිඳගෙන එළියට ආවා. මාව මාළුවෙක් වාගේ ඒ ජල කඳේ ඉහළට එසවෙලා පාවෙලා ගියා.

මම පුංචිම දවස්වල ඉඳලා  ඇඩ්වෙන්චර් අත්දැකීම් ගන්න හරි කැමැතියි. අනික අම්ම ඒ දවස්වල අක්කිටත් මටත් රොබින්සන් කෘෘසෝ කතාව ටිකෙන් ටික කියා දෙමින් හිටියෙ. මහා ජල කඳත් සමඟ රොල් වෙලා යද්දි මට ලොකු බයක් දැනුණෙ නැහැ. මට හිතුණෙ මාව දැන් කෘෘසෝ වාගේ මුහුදෙ පාවෙනවා. මට ඕනෙ වුණේ ජිවිතය බේරගෙන මේ අත්දැකීමෙ ෆීලින් එක ගන්න. මහ ගොඩක් සුන්බුන් තව මිනිස්සුන්ගෙ මළ කඳන් එක්ක මාව අෑතින් අෑතට පාවුණා. දැන් හිතෙන විදියට අපි හිටිය හෝටලේ ඉඳල ලුණු ලේවාය හරහා කළපුව මැදටයි මාව ගහගෙන ගියේ. අන්තිමට මාව නතර වුණේ පඳුරු තැනින් තැන තියෙන මහා සාගරයක. පුංචි කණුවක් බදාගෙන මම වතුරේ ගිලෙන්නෙ නැතිව එල්ලිලා හිටියා.

මට හිතුනා අම්ම තාත්තා ඔක්කොම නැතිවෙලා ඇති කියල. මම කෑ ගැහුවත් මගේ කට හඬ ඇහෙන්න කිසිවෙක් පෙනෙන මානෙක නැහැ. ජල කඳයි අහසයි විතරයි. අෑත තැනින් තැන වතුරෙ පාවෙලා ආපු මළ කඳන් තිබුණා. මම බදාගෙන ඉන්න කොටේ අත හැරියේ නැහැ. එතන මගේ උසට වඩා ගැඹුරුයි. බඩගින්න දැනුණා, සීතල දැනුණා. වතුර තිබහයි. ඒත් කොළ පාට ජරා වතුරෙ මම ගිලිල ඉන්නෙ. ඒ වතුර තද ලුණු රසයි. ඉර බැස ගියා. අහසෙ ආලෝකය ටිකෙන් ටික අඩු වුණා. කළුවර අෑතින් ගලා ඇවිදින් මාව වටකර ගත්තා. මොනවත්ම පේන්නේ නැහැ. හවස් කාලයේ හැමූ සීත සුළඟත් අඩු වුණා. මහා ජල තලය මට මහා කාන්තාරයක් වාගේ පෙනුණේ.

මට රොබින්සන් කෘෘසෝ මතක් වුණා. මුහුද ගොඩ ගලල අම්මා, තාත්තා, අක්ක, සරත් මාම, හෂාන් අයිය, පල්ලෙහා ගෙදර ඔක්කොමල නැති වෙන්න ඇති. වෙන මිනිස්සු නෑ මම විතරයි ඉන්නෙ. මම කෘෘසෝ වාගේ වතුර අඩු වුණාම බැහැල ගිහින් අෑත පෙනෙන දූපතක ජීවත් වෙනවා. තනිවම ජීවත් වෙන හැටි, ඔරුවක් හදාගන්න හැටි, මගෙ තනියට බලුපැටියෙක්වත් හිටියොත් කොච්චර හොඳද. ඔය වාගෙ නොයෙක් දේ මට අතොරක් නැතිව කල්පනා වෙන්න ගත්තා. ටිකෙන් ටික රෑ මැදියමට ළං වෙද්දි අඳුර තුනී වුණා. මුළු ලෝකෙම රිදී පාට වුණා. අහසෙ හඳ පායලා. ජල තලය රන් පාටින් දිලුණා. ලොකු පියාපත් තියෙන කුරුල්ලො බස බස ගාලා පියාඹන අතරෙ මා අල්ලන් ඉන්න කොටේ අසලටම පාත් වුණා. ඒ මා වවුල්ලු බව මම දැන් දන්නවා. එදා දැනගෙන හිටියෙ නෑ. අෑතින් නොයෙක් සද්ද ඇහෙන්න ගත්තා. ඒත් අහස ලස්සනයි. හඳ පළුව මගේ ඔළුවට උඩින් ලයිට් එකක් දමලා වාගෙ.

මම නොයෙක් දේවල් කල්පනා කළා. දෙක වසරට අලුතෙන් එන ළමයින්ට මම කතාවක් පවත්වන්න ඕන නේද කියල මතක් වුණා. මොනව වුණත් මම ඉස්කොලෙ ගිහින් රන්ජනී නාරංගොඩ ටීච කියල දුන්න විදියට කතාව පවත්වනව කියල මම ඒ කතාව හිතෙන් පැවැත්තුවා. ආනන්දෙ මගෙ පාසලේ සුදුම සුදු පාට බිත්ති රෑ හඳපාන වැටිල ලස්සනට දිලිසෙන හැටි මට මැවිල පෙනුණා. කතාව පටන් ගන්න විදිය. අවසන් කරන විදිය, අතර මැද ඇතුළත් කරන කරුණු, ඒව මම නැවත නැවත වෙනස් කරමින් හිතේ කෙටුම්පත් කරගත්තා. දිවා කාලෙ වගේ නෙවි රෑ කාලෙ ගොඩක් අෑත නොයෙක් සද්ද ඇහුණා. කව්දෝ හඬා වැටෙනවා වාගේ සද්දයක් අෑතින් දෝංකාර දෙමින් ඇසී නෑසී ගියා. සඳ පායා සඳ බැස ගියා. මම එහිම රැඳී සිටියා. වතුරේ පාවී එන පුංචි සතුන් මගේ ඇඟේ එල්ලී නතර වුණා. මුලින් බය නිසා අෑතට ඔවුන්ව විසි කළත් පස්සෙ මට තනි නිසා උනුත් හිටියාවෙ කියලා ඉන්න ඉඩ හැරියා. හඳ බැස ගියාම ආයෙත් කළුවර වුණා. ඉන් පස්සෙ ලස්සන චිත්‍රයක් අහසේ අඳිමින් ටිකෙන් ටික එළිය මතු වෙද්දි මුළු අහසම දම් පාටට හැරුණා. කුරුල්ලො රංචු රංචු කොහේදෝ පියාඹා ගියා. වී අකුරෙ හැඩේට කොක්කු රෑන් සිය ගණන් මගේ හිසට උඩින් පියාඹා ගියා. මම කුරුලු රෑන් ගණින්න පටන් ගත්තත් වරින් වර මගේ ගණන් ගැනීම බිඳ වැටුණා.

දවල් වෙද්දි හොඳින් ඉර පායලා මාව පිච්චෙන්න ගත්තා. පිට දැවිල්ල ගනිද්දි මම වතුරෙ ගිලිල මුළු ඇඟම තෙමා ගත්තා. වතුර ගොඩක් අඩුවෙලා අෑත පාරවල් මතුවෙලා ලුණු ලේවායේ දිග නියරවල් අෑත පීත්ත පටි වගේ මතුවී පෙණුනා. මුලින් ගිනිකූරු වාගේ පෙනුණත් අෑත ඇවිදින්නේ මිනිස්සු කියල මම තේරුම් ගත්තා. මට තරමක් අෑතින් තිබුණු මළ කඳන්වලට වහපු කාක්කො ඒවට කොටන්න පටන් ගත්තා. ඔවුන් පොරකකා මස් වැදලි ඇදගෙන කන හැටි දැක්කම මාවත් කන්න එයිද දන්නෑ කියල හිතුණා. මද්දහන වෙද්දි ඉර ගිනි කබලක් වාගේ සැර වුණා. අර අෑත පෙනුණු මිනිස්සු දෙතුන් දෙනා මැරුණු අය හොය හොයා යන අය බව පෙනුණා. මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.

“මාමේ මාව බේරගන්නකෝ….” කියල ඒත් ඒ අයට ඇහුණෙ නෑ. තමන්ගෙ ඥාතීන් සොය සොයා යන අයත් ඒ අතරෙ ඉන්න ඇති. අෑත පාරක සිල්වර් පාට ජීප් එකක් ගියා. ඒක අපේ මාමගේ ජීප් එක වාගේ නිසා මට ලොකු සතුටක් ආවා. මම වතුරෙ ජබුන් ගසමින් හයියෙන් කෑ ගැහුවා. ඒ ගොල්ලන් ජීප් එක නවත්ත නවත්ත බැහැ බැහැ පස්සෙ ටිකෙන් ටික නොපෙනී ගියා. ඇත්තට මම පස්සෙ දැන ගත්ත ඒ අපේ මාමල තමයි. එයාල මාව හොයල තියෙන්නෙ.
සුනාමියට පහුවදා 27 වැනිදා හවස දෙකට විතර මට එහා පෙනුණු මිනී ළඟට මිනිස්සු දෙන්නෙක් ආව. ඒ වෙද්දි කෑගහල මම හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. ඒත් මම ආයෙ කෑ ගැහුවා.

‘මාමෙ මාවත් බේරගන්නකෝ’ කියලා.
‘අන්න එකෙක් පණ පිටින් ඉන්නවා’ කියල ඒ දෙන්න වතුරෙ බැහැල මා ගාවට ආවා. ඊට පස්සෙ, මේකව ගිහින් දීල අපි ආපහු එමු කියලා කතාවෙවී ඒ අය මාව වඩාගෙන ලුණු ලේවායේ නියර දිගේ ආවා.

මේ කොල්ලා ලුණු කළපුවෙ පණ පිටින් හිටියා කියලා ඒ මාමල මාව ගුවන් හමුදාවට භාර දුන්නා. ඒ මාමලා මාව ඉක්මනින්ම හම්බන්තොට ඉස්පිරිතාලෙට ගෙනාවා. එතකොට මාව සුදුම සුදුයි දවස් දෙකක්ම වතුරෙ ඉඳල. මගේ ඇඟට පණත් නෑ. ඩොක්ටර් අන්කල්ලා මට සේලයින් දුන්නා. ඉස්පිරිතාලේ ලෙඩ්ඩු පිරිල හිටිය. මහ කළපුව මැද්දෙ දවස් දෙකක් ඉඳල පණ බේරගත්තු කාත් කවුරුත් නැති පොඩි එකෙක් ඉන්නව කියල නොයෙක් නන්නාඳුනන ඇන්ටිලා අන්කල්ලා මාව බලන්න ආවා. මම ටිකක් විතර අවුට් ගිහිල්ලා හිටියේ. සේලයින් බට ගලවල දැම්මා. ඇඬුව මට මතකයි. මාව බලන්න ආපු අංකල් කෙනෙක් මට රුපියල් 50කුත් දුන්නා. මොනව හරි ගෙනාවොත් කන්න කියාලා. එතකොට එහෙ කාටවත් කන්න බොන්න නෑ. ආධාර ඇවිල්ල නෑ.
අර කොටේ බදා ඉඳිද්දි වරින් වර වදින රැල්ලට කොටේ පපුව වැදිල පපුවෙ තැල්ම වාගේ තුවාල වෙලා තිබුණා. මම ඩොක්ටර් අංකල්ට කීවා මම ආනන්ද ප්‍රයිමරියෙ ළමයෙක් කියල විස්තර. එයා තීරණය කරල තිබුණ මෙයාගෙ පවුලෙ අය මැරෙන්න ඇති එහෙම නම් මෙයාව අරන් හදාගන්නව කියලා.

අපේ අම්මටයි තාත්තටයි මොනවත් වෙලා නැහැ. අපි ට්‍රිප් එක ආව පස් දෙනෙක් නැති වුණා. අම්මයි තාත්තයි අඬ අඬා අපිව හොයන්න හැම තැනම ඇවිදලා එයාලට ලුණුගම්වෙහෙර රෝහලේදී තමයි අක්කව හමුවෙලා තියෙන්නෙ. කළපුවෙ ඉඳල එකතු කරල එහාට ගෙනියපු මළ සිරුරු අතරෙ තිබිල. ඒත් මම දැනන් හිටියේ නැහැ මගෙ අක්ක නැති වුණා කියල. ගොඩක් කල් යනකන් මට අම්මල කිව්වෙ අක්ක ICU දාල ඉන්නෙ. පස්සෙ එක්කන් එනව කියල. අක්කගෙ අවසන් කටයුතු ලුණුගම්වෙහෙර පන්සලේ හාමුදුරුවොත් මැදිහත් කරගෙන එහේදිම සිදු කළ බව මම පස්සෙ කාලෙක දැන ගත්ත. අම්මල අදත් කිසිම කැමැත්තක් නෑ ඒ ගැන කතා කරන්න. අපි හැමෝම මේ විපත ඇතුළතින් දරාගෙන ඉන්නෙ. අංකල් අක්ක ගැන මොනවත් ලියන්න එපා. පින්තූර දාන්නත් එපා.

අම්මල මාව හොයාගෙන හැම තැනම මළ කඳන් ගොඩ ගහපුව බල බල යද්දි කවුදෝ කියල තියෙනව හම්බන්තොට හොස්පිටල් එකේ වාට්ටුවක එයාල කියන වයසෙ තරම් අතරමං වෙච්ච පොඩි ළමයෙක් ඉන්නව කියල. ඒ ගමන් දෙන්නම දුවල ආවම තමා මාව දැකල මහා හයියෙන් අඬන්න ගත්තෙ. ඊට පස්සෙ මාව වීරවිල එයාර් ෆෝස් කෑම්ප් එකට ගෙනත් තවත් ලෙඩුන් එක්ක කොළඹ ගෙනාව ප්ලේන් එකක. ඇඟට විසබීජ ඇතුළු වෙලා ඇති කියල මාව නවලෝක හොස්පිටල් එකේ තියල පස්සෙ ගෙදර ආව.

අපි ගොඩක් ලොකු ප්‍රශ්නෙකට මුහුණ දුන්නෙ. මේ සිදුවීම නැවත නැවත ආවර්ජනය කරන්න අපි කැමැති වුණේ නැහැ. මම ඒ කාලෙ වැඩිය කතා බහ කරන ළමයෙකුත් නෙවි. අපේ හිත් පෑරේවි කියල කවුරුත් මගෙන් මේ ගැන ඇහුවෙත් නැහැ. අපේ පවුලෙ කවුරුවත් නැවත ඒ ස්ථානවලට ගියෙත් නැහැ. අද වුණත් කතරගම යද්දි අපේ පවුල්වල අය හම්බන්තොට හරහා යන්නෙ නැහැ. ඉහළ පන්තිවලට යද්දි මට මම මුහුණ දුන්නු අත්දැකීම වෙනත් ආකාරයකට දැනෙන්න ගත්තා. මම උදම් රළට අහුවෙලා පාවෙලා යද්දි එක් අවස්ථාවක මාව ඇඹරිලා ජල කඳ පතුලට ඇදී ගියා. ලුණු වතුරට ඇස් නොපෙනී ගියා. ඔළුව හිරවුණා. සාමාන්‍යයෙන් ‘ඕඹ්ඒඛ්ම් ර්ණීඋඊ’ කියන තත්ත්වයට මම මුහුණ දුන්නා. මම අවුරුදු 6ක ළමයෙක්. ඒ මොහොතෙ තීරණය කළා ජීවිතේ බේරගෙන නැඟිටිනව කියලා. ඒ අත්දැකීම මම ජවයක් කරගෙන ජිවිතය සකස් කර ගත්තා. මම හිතනව අපේ පාසලේ මල්ලිලාට හොඳම ආදර්ශය මම. මගෙ හිත හැම වෙලාවෙම මට කියන්නෙ,

‘ඔයාට ඕනෙම දෙයක් පුළුවන්. ඔයාට බැරි දෙයක් නෑ’ කියල. මම මේ සිදුවීම  ජීවිත අත්දැකීමක් කරගත්තා. ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය විධායක වෙන්න මට පුළුවන් වුණේ ඒ නිසයි.


සංවාදය : උදේනි සමන් කුමාර , මවුබිම