“වසර දහස් ගණනක් පැරණි මූතූර්, සුඩෙයිකුඩා දැගැබ ඩෝසර් කරළා – ඒ අසළ කෝවිලක් හදලා”

පුරාණ රජ සමයේ ඉදිකරවූ දාගැබ් , වෙහෙර විහාර ශ්‍රී ලංකාව පුරාම විසිරී පවති, නටඹුන් තත්වයේ හෝ තිබෙන මෙම දාගැබ් වෙහෙර විහාර පුරාවිද්‍යාත්මක වස්තූන් ය. ඒ පුරාවිද්‍යාත්මක වස්තූන් කුමන ප්‍රදේශයක පිහිටා තිබුනද කිසිම හේතුවක් මත විනාශ කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නොමැත,

පුරාවිද්‍යාත්මක වටිනාකම මෙන්ම මෙම පෞරාණික සිද්ධස්ථාන වලට ආගමික හා සංස්කෘතික වටිනාකමක්ද තිබේ. බෞද්ධයන් දාගැබක් වන්දනා කරන්නේ ජීවමාන බුදුන් වන්දනා කරනු ලෙසය. එබැවින්ම දාගැබක් විනාශ වීම ඔවුන්ට දරාගැනීමට අපහසු ව්‍යසනයකි. එවන් තිරශ්චීන ව්‍යසනයක කතාවක් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ ත්‍රිකුණාමලයේ මුත්තූර් ප්‍රදේශයෙනි.

දශක තුනක් රට වෙලා ගත් අදුරු යුද්ධය අවසන් වූ පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නැඟෙනහිර පළාතේ සැඟවී තිබූ පැරැණි ස්ථාන සොයා පුරාවිද්‍යා ගවේෂණයක් කර තිබේ. එම ගවේෂණයෙන් සොයා ගත් වටිනා පුරාවිද්‍යා ස්ථාන අතර මූතූර් , සුඩෙයිකුඩා ප්‍රදේශයේ පුරාණ දාගැබක් විය.

පුරාවිද්‍යා ගවේෂණ වලින් අනාවරනය වූ ලෙසට මේ දාගැබ් වහන්සේ අනුරාධපුර මුල් යුගයට අයත්ය. ඒ පුරාවත සනාථ කරන විද්‍යාත්මක සාධක ගණනාවක් අවට විසිරී තිබුණු අයුරු ගවේෂණ නිලධාරීහු වාර්තා කර තිබේ. දාගැබ අවට විසිරී තිබූ පුරාණ ගොඩනැඟිල්ලකට අයත් කණු පාදම් ගල් ඒ පෞඩ අතීතයට සාධක සැපයීය.

පුරාවිද්‍යා ගවේෂකයන්ට අනුව මෙම දාගැබ් වහන්සේගේ ඓතිහාසික පිහිටීමද අතිශය වැදගත්ය. පුරාණ ලෝකයේ ප්‍රධානම වෙළෙඳ වරායක් වන්නේ ගෝකණ්ණ වරායයි. පුරාණ වරාය අසල උස් භූමියක අෑත දියඹට පෙනෙන සේ දාගැබක් ඉදිරිකිරීම පුරාණ සිංහලයේ එක් ලක්ෂණයක් විය. ඉන් වරාය පිහිටි දිශාව හඳුනා ගැනීම දිවයින පිළිබඳ යම් සංස්කෘතික ප්‍රකාශනයක්ද කියැවුණේය. එමෙන්ම වරාය ඇසුරෙහි වෙළෙදාමේ යෙදුණු වෙළෙන්දෝ ස්වකීය වන්දනාව සඳහා දැගබ් ඉදිකිරීම දක්නට ලැබිණි. ලංකාවේ සෑම පුරාණ වරායක් ආශ්‍රිතව දාගැබක් හෝ දාගැබ් කීපයක් පිහිටා තිබුණේය. මෙම පුරාණ විහාරය තිබුණේ එම වරායේ පැරැණි ප්‍රවිශ්ටයක් වන ෆවුල් තුඩුව වෙරළාසන්නයේය. දාගැබ කැණීම් කර තහවුරු කිරීම සඳහා සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් මේ පුරාණ දාගැබට සිදුවිය නොවිය යුත්තක් සිදුව තිබේ. නැඟෙනහිර ඓතිහාසික බෞද්ධ උරුමය පිළිබඳ කියැවෙන මේ ඓතිහාසික දාගැබ් වහන්සේ ඩෝසර් කර දමා තිබෙන බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ. වට අඩි 15ක විශ්කම්බයකින් යුත් මේ දාගැබ අවට නටබුන් විශාල ප්‍රමාණයක් විසිරී තිබි ඇත එම පුරාණ නටබුන් අතර, දාගැබ ආසන්නයේ මීට වසර කිහිපයකට පෙර ඉදිකරන ලද හින්දු කෝවිලක් ද තිබී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානයේ ඉපැරැණි දාගැබක ලකුණු සොයාගත් බව මේ කෝවිල සම්බන්ධ පිරිස් දැනගන්නේ සති දෙකකට පෙරය. එය නිශ්චිතව දැනගත් දාට පසුදාම ඔවුන් දාගැබ් ගොඩැල්ල මුළුමනින්ම ඩෝසර් කර දමා තිබිණි. යුද්ධය පැවැති වකවානුවේ පුරා එකළොස් වසරක් මේ ප්‍රදේශයේ තිබුණේ එල්.ටී.ටී.ඊ. පාලනයකි. ඒ වකවානුවේදී පවා මේ පුරාවස්තු විනාශ වී තිබුණේ නැත.

මෙම ඓතිහාසික දාගැබ විනාශ කර දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා පොලිසිය මෙන්ම සාම්පූර් පොලිසියද දැන් විමර්ශන ආරම්භ කර තිබෙන බව සදහන්. මේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව සංවේගයෙන් යුතුව අදහස් දැක්වූ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන් මාධ්‍යයට පවසා තිබුනේ මෙලෙසය ,

“මෙම චෛත්‍ය ෆවුල්තුඩුව ආසන්නයේ පිහිටා තිබුණේ. ඒ නිසා මෙහි විශේෂ වැදගත්කමක් තියෙනවා. ඉතිහාසයේ වැදගත් තැන් කිහිපයකම සාක්ෂි මේ පුරාවිද්‍යා භූමිය තුළ තිබූ බව අපට අනුමාන කළ හැකියි. අපි අදහස් කරලා තිබුණේ මේ පෞරාණික උරුමය අප මැදිහත් වෙලා සංරක්ෂණය කරලා ජාතියට පූජා කරන්න. ඒත් දැන් සියල්ල අවසන්.”

සිදුව තිබෙන හානිය පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ. සුමනදාස මාධ්‍යයට කීවේ මෙලෙසය ,

“මේ දිනවල පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් තුනක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ගවේෂණයක යෙදෙනවා. එක් කණ්ඩායමක් පදවි ශ්‍රී පුර. අනෙක් කණ්ඩායම ගෝමරන්කඩවල ආශි්‍රතව. තුන්වැනි කණ්ඩායම තමයි සාම්පූර්වල ගවේෂණය කළේ. සාම්පූර්වලදී පුරාණ දාගැබ් තුනක නටබුන් හමුවුණා. මේ දාගැබ් අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් බව සිතිය හැකි ඓතිහාසික සාධක අප හඳුනා ගත්තා. එය මීට කලින් අප නොදන්නා අෑතකදී නිධන් හොරුන් විසින් විනාශ කර තිබුණු බව දුටුවා.

කෙසේ වුවත් නටබුන් දාගැබ පිහිටා තිබුණේ කඳු ගැටයක් මත. අපි කළේ මේ ස්ථානය හඳුනාගෙන විද්‍යානුකූලව වාර්තා කිරීම. එහෙම වාර්තා කරලා සති දෙකක් ගියෙ නෑ.

මේ කඳුගැටය සමතලා වන ආකාරයට දාගැබ මුළුමනින්ම ඩෝසර් කරලා තිබුණා. අපරාධය සිදුකර ඇත්තේ පසුගිය ඉරිදා. අපට සිද්ධිය සඳුදා උදේ වාර්තා වුණා.

මේ ප්‍රදේශයෙ ඉන්නෙ ඉතාම නූගත් පිරිසක්. විනාශය පිළිබඳ තොරතුරු දැන් ගලා එමින් තිබෙනවා. මේ ප්‍රදේශයේ උදවිය දැනුවත්ව මේ ව්‍යසනය කළ බව හිතාගන්න පුළුවන්. එය විනාශ කළ වූවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් කළ යුතු කොටස කරමින් ඉන්නවා. මේ ඩෝසර් කරලා තිබෙන විදියට පෞරාණික බව සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඔවුන් ඉතිරි කරලා නැහැ. මේ විනාශය ගැන සොයා බලන්නට ගිය වෙලාවේ විශාල ජනතා විරෝධයක් පැමිණියා. අපි මේ සම්බන්ධයෙන් මේ වන විට මුතූර් පොලිසිය හරහා අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.”