රෝද තුනේ සමාජයට අකුරැස්සේ චමින්දගෙන් අපූරු පාඩමක්

නැති බැරිකමේ දුක දන්නේ නැති බැරිකම් දන්නා කෙනාය. රුපියල් සතවල බර පසෙක දමා නැතිබැරිකමේ දුක බෙදා ගෙන සිනාසෙන්නට පුළුවන් වන්නෙත් ඒ මනුස්සකම පිරුණු හිතකටම පමණි.

අකුරුස්සේ ඉලුප්පැල්‍ලේ චමින්ද සිසිර කුමාර හේවගේ ද පුංචි කාලයේ පටන් ගෙන නැති බැරි කමේ උඩුහුළඟට හසුවූ අයෙකි. මල් ශාලවක වැඩ කළ පියාට ලැබූණ සුළු වැටුපෙන් දූදරුවන් සිව් දෙනකු පාසල් යවා නඩත්තු කරමින් පවුල රකින්නට බැරි බව සාමාන්‍ය පෙළ පන්තියේදී චමින්දගේ පපුවට දැනුණේ බරටමය. ඒ නිසා සාමාන්‍ය පෙළින් ඔහු පාසල් ජීවිතයට ආයුබෝවන් කීවේය.

ඊට පස්සෙ මම සල්ලි හම්බ කරන්න එක එක රස්සා කළා. අපේ තාත්තා දවසකට රුපියල් 175ක පඩියකට වැඩ කළේ. ඒ මුදල ලැබුණෙත් වැඩක් ආවොත් විතරයි. තාත්තා අරක්කු සිගරැට් බිව්වෙ නෑ කවදාවත්. ඒ මුදලින් අපිවයි ජීවත් කෙරෙව්වේ.

මම 97 අවුරුද්දේ විතර මේසන් වැඩට අත්උදව් දෙන්න කොළඹ ගියා. දවසකට රුපියල් 400ක් වගේ වැටුපකට අවුරුදු කීපයක් එහෙම ඉඳලා අකුරැස්සෙ කඩයක බිම ඒජන්සියක වැඩ කළා. එතකොට නම් මල්ලිත් හමුදාවට ගිහින් හිටියෙ. මම බැන්දෙ 2004දී. නෙළුවෙ ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලා. එයාලත් දුප්පත් අපිට වගේම ‍පොල්අතු වහපු මැටි ගෙයක් තිබ්බෙ. අපේ තාත්තාගෙ නෑදෑයො මං මේ ළමය බැන්දා කියලා හරියට විරුද්ධ වුණා. ඒත් මං එයාලගෙ ගමෙන් ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් ‍පොඩියට හදලා ඉඩමේ තේ වවාගෙන කාලයක් හිටියා. එහෙ හිටපු අපේ නෑදෑයෝ එක්ක ඉන්න බැරිම තැන මං ඒවා විකුණලා දාලා ආයෙ අපේ ගමට ආවා.

ජීවිතය ජයගන්නට හැදුවත් අලුතෙන් පටන් ගත් තැන සිටම චමින්දට ආවේ බාධාවන්ය. ඒත් ඔහු නොසැලුණේය. ඔහුට ශක්තියක් වෙමින් චමින්දගේ සහකාරිය නිලන්ති වික්‍රමසිංහ ද සෙවණැල්ල සේ ළඟින් උන්නාය. ඒ වන විට ඔවුන්ට පුතුන් දෙදෙනෙක් ද වූහ. ඒ සිතුම් නිම්සර සහ තිනෙත් නෙත්සරය.

නෙළුවේ ඉඩම විකුණලා ගත්ත සල්ලිවලින් අපේ අම්මලා ඉන්න ගේ ළඟම ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හැදුවා. ගේ වැඩ ඉවර නෑ තාමත්. ඒත් අපි පදිංචි වුණා. ඊට පස්සෙ ෆිනෑන්ස් කරලා ත්‍රීවීල් එකක් ගත්තා. ත්‍රීවීල් එක අරන් ගිහින් මාළු බිස්නස් කළා අකුරැස්ස ටවුමේ.  මාළු ත්‍රීවීල් එක ඇතුළෙ තියාගෙන තමයි විකුණන්නෙ.

අවුරුද්දකට දෙකකට කලින් දවසක් අකුරැස්සෙ ප්‍රාදේශීය සභාවේ මහත්තයෙක් මගෙ ත්‍රීවීල් එකේ ඇතුළෙ තිබ්බ මාළු පෙට්ටියට ලාම්පුතෙල් ගැහුවා. එතකොට රුපියල් 6400ක මාළු පෙට්ටියෙ තිබුණා. අනවසර වෙළඳාමක් කියලා මට කිව්වා. ඒ විදිහට මාළු විකුණන්න එපා කියලා. ඒක මං විතරක් නොවේ අපේ තවත් අය කරනවා. එයාලා එපා කිව්වට ජීවත් වෙන්න විදිහක් නැති නිසයි ඒ විදිහට මාළු විකුන්නේ.

චමින්ද එවරද අතතැබූවේ ජීවත් වන්නට උපයන ආදායම් මාර්ගයට සෙනසුරු දශාව ලැබුවේ එලෙසිනි. නගරයේ මාළු කඩ තිබෙන නිසා ත්‍රිරෝද රථවල මාළු තබාගෙන විකිණීම අනවසර වෙළඳාමක් ලෙස ප්‍රාදේශීය සභාව නම් කළත් චමින්ද ඇතුළු ඒ අයුරින් මාළු විකුණනූ අය කඩ බදුද ගෙවූ බව කියයි.

මම කඩයක වෙළෙඳාම් නොකළත් කඩ බදුත් ගෙව්වා. එහෙමත් කරලයි ඊට පස්සෙ මට මාතර අධිකරණයේ ඔය සිද්ධියට ප්‍රාදේශීය සභාවෙන් නඩුවක් දැම්මේ. අනවසර වෙළඳාම් කළා කියලා මට රුපියල් 750ක දඩයක් ගැහුවා. මම පෙරකදෝරු ගාස්තුත් රුපියල් 1000ක් ගෙව්වා. ‍පොඩි මිනිහට තමයි හැම කරදරයක්ම. මගේ නෝනා කිව්වා ඔය වැඩ මොකුත් ඕන නෑ. කුලී වැඩක් කරන්න කියලා. ඊට පස්සෙ ගමේ යාළුවෙක් එක්ක තේ ඉඩම්වල නෙළන්න ගියා. දවසකට රුපියල් 1000ක් ලැබුණා. මාසයකට දවස් 10ක් 12ක් වැඩ. අනිත් දවස් ටික ගමේ ත්‍රීවීල් එක දිව්වා. එතකොට මං අකුරැස්සෙ ‘නිල්වලා’ ත්‍රිරෝද රථ සංගමයෙ ලියාපදිංචි වෙලා හිටියෙ නෑ. මීට මාස 8කට 9කට කලින් මම ඒ ත්‍රිරෝද සංගමයේ ලියාපදිංචි වුණා. ඊට පස්සෙ සභාපතිතුමා මට ටවුන් එකේම වෙනම පාක් එකක් දුන්නා.
හොඳ දෙයක් කරන්නට හැදුවොත් සමහරුන්ට බාධාය. චමින්දට ද එසේය. ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ඔහුට කුලී ගමන් ලබා ගන්නට ත්‍රිරෝද රථ ගාලක් ලබා දුන්නද එයින් ඔහුගේ ආර්ථිකයට යහපතක් වූයේ නැත.

එතැන මිනිස්සු ගැවසෙන්නෙ නෑ. ඒ නිසා එතැනින් ආදායමක් ලැබෙන්නෙ නෑ. දවසටම රුපියල් දෙසීයක් වගේ ලැබුණේ. සමහරදාට ඒකත් නෑ. ඔය විත්තිය අපේ ගමේ අජිත් අයියා දැනගෙන එයා දුවන පාක් එකට මගේ ත්‍රීවීල් එක දාගෙන දුවන්න කිව්වා. ඒ අකුරැස්සෙ සතොස ළඟ.

එතැනින් හැමදාම නොවුණත් තරමක හොඳ ආදායමක් දවසකට ලැබෙනවා. පස්සෙ මම සභාපතිතුමාගෙන් නැවත ඉල්ලුවා මටත් ආදායමක් තියෙන තැනක් හදලා දෙන්න කියලා. ඒක තවම ලැබුණේ නෑ.

එවන් හැලහැප්පිලි මැද්දේ අගහිඟකම් මැද්දෙ ජීවත් වුණත් චමින්දට තිබුණේ උණුවෙන හදවතකි. ඒ නිසාම ඇතැම් ත්‍රිරෝද ගමන්වලදී ඔහුට මුදල් ගන්නට සිතුණේ නැත.

දැනට අවුරුද්දකට කලින් එක දවසක් මම දෙදියවල ප්‍රදේශයට හයර් එකක් ගියා. ආපහු එනකොට වයසක ආච්චි කෙනෙක් ‍පොඩි බබෙක් තියාගෙන පාරේ ඉඳලා මාව නැවත්තුවා. ආච්චි හිටියේ එයාගේ මුනුපුරෙක් එක්ක. අම්මා දාල ගිහින්. තාත්තා කොළඹලු. ආච්චි තමයි හදා ගන්නේ. ළමයට කලින් දවසෙ රෑ ඉඳලා හතියලු. ආච්චි අතේ සල්ලි නැතිලු. අකුරැස්ස ඉස්පිරිතාලෙට යන්න. ත්‍රීවීල් නවත්තලා ඔය කථාව කිව්වට කවුරුත් එක්ක ඇවිත් නෑ. මට ආච්චිගෙ කතාවට හරියට දුක හිතුණා.

මං ඒ දෙන්නව සල්ලි නැතුවට කමක් නෑ කියලා අකුරැස්සෙන් ඉස්පිරිතාලෙට එක්ක ආවා. මට එදා හිතුණා අතේ සල්ලි නැත්නම් ලෙඩක් දුකක් හැදුනම මොන තරම් මිනිස්සු අසරණ වෙනවද කියලා. ඒ නිසා එදා මං හිතුවා මෙහෙම අයට උදව් කළොත් හොඳයි කියලා.

කෙනෙකුගෙ දුකක් හැහෙන්නට නම් කෙනෙකුට දුකක් දැනෙන හදවතක් තිබිය යුතුයි. එමෙන්ම ඒ හදවතේ දයා කරුණා ගුණය ද අඩු නොවිය යුතුය. මහ ලොකු විභාගයක් පාස් කර ලොකු රස්සාවක් නොකළ චමින්දගේ හදවතේ ඒ ගුණාංග නොඅඩුව තිබුණේය. මුදලක් නොගෙනම අකුරැස්සේරෝහලට යන රෝගීන් ගෙන යන්නට ඔහු සිතා ගත්තේ ඒ නිසාය.

මුල් දවස්වල කවුරුහරි ඉස්පිරිතාලෙ යන්න ආවොත් එක්ක ගිහින් මං පහළ ගේට්ටුව ළඟින් දාලා සල්ලි නොගෙන ආවා. ඒ උඩ පාක් එකේ අයගෙන් ප්‍රශ්නයක් වෙයි කියලා. ඊට පස්සේ මං මුළු අකුරැස්ස ‍පොලිස් බල ප්‍රදේශයටම මගේ සේවාව ලබා දෙන්න තීරණය කළා. ඒ දවසේ ඕන වෙලාවක. හරියට කිව්වොත් පැය 24ම. මාව හොයාගෙන එන අයට මම ඒ උදව්ව කළාට හුඟක් දෙනා ඒක දන්නේ නෑනේ. ඒ නිසා මීට මාස දෙක තුනකට කලින් මං ත්‍රීවීල් එකේ පිටිපස්සේ ස්ටිකර් එකක් ගැහුවා. අකුරැස්ස රෝහලට පැය 24ම රෝගීන් ප්‍රවාහනය නොමි‍ලේ කියලා.  මගේ 0771260599 ටෙලිෆෝන් අංකෙත් දැම්මා. සමහරු කතා කරලත් එනවා. ඊට පස්සෙ මොන වෙලාවෙ කෝල් එකක් ආවත් මම ගන්නවා. මාව රවට්ටලත් දවසක් කෝල් එකක් ආවා. රෑ 9.30ට  විතර කිරිමැටිදෙණිය පැක්ට්‍රිය ගාවට එන්න කිව්වා ගහකින් වැටිලා කකුල කැඩුණ ලෙඩෙක් ඉන්නවා කියලා. අපේ ගෙදර ඉඳලා එතනට කිලෝ මීටර් 7ක විතර දුරක් තියෙනවා. මම ටවුමට ගිහින් රුපියල් 200ක තෙලුත් ගහගෙන ආයෙ ඒ නොම්මරේට කෝල් එකක් අරන් කිව්වා මං තෙල් ගහගෙන එන ගමන් විනාඩි 10න් එන්නම් කියලා. එතකොට ඒ පැත්තෙන් කිව්වා, තෙල් ගහ ගත්නා නම් උඹ ගෙදර පලයන් කියලා. ඊට පස්සෙ ඒ නොම්මරේ වැඩ කළේ නෑ. මම ‍පොලිසියට කියලා පැමිණිල්ලකුත් දැම්මා.

චමින්ද මේ සේවය ලබා දෙන්නේ මුදලක් ලාබයක් ලබා ගෙන නොවේ. ඔහුගේ කාලය මෙන්ම ඔහුගේම මුදල් වියදම් කරගෙනය. එහෙව් සාධාරණ වැඩක් කරන මිනිහෙකුට මෙවන් හතුරුකම් කිරීම නොහොබිනා වැඩකි.

අපේ ගෙදර ඉඳලා ටවුමට එන්නත් කිලෝ මීටර් තුනහමාරක් හතරක් තියෙනවා. අපේම කට්ටිය අහනවා කරන්න පුළුවන්ද ඔහොම කවුද තෙල් දෙන්නේ කියලා. කරන්න බෑ තමයි. මට කවුරුත් තෙල්වලට සල්ලි දෙන්නෙ නෑ. මට ලැබෙන දෙයින් මං කරන්නේ මටත් වඩා අසරණ නැති බැරි කෙනෙකුටනෙ මං උදව් කරන්නේ. මටත් ප්‍රශ්න නැතුව නොවේ. මගේ ළමයින් ඉස්කෝලෙ යනවා. ගෙදරත් තවම බාගෙට හදාගෙන ඉන්නේ. මගේ බිරිඳ ගාමන්ට් එකකට යන්නෙත් මට උදව්වට. ඒත් අපි ඉන්න ටිකේ හොඳ දෙයක් කරන්න ඕන. අපි මොනවා හම්බ කළත් මැරුණම අරන් යන දෙයක් නෑනේ. දුකේදී තව කෙනෙක්ට පිහිට වුණොත් ඒ හොඳ හරි තියෙනවා.මම මෙහෙම දෙයක් කරනවා කියලා දැනගත්ත ගොඩක් දෙනෙක් සතුටෙන් කතා කළා. සභාපති රත්නායක අයියාගෙනුත් මට හොඳ සහයෝගයක් තියනවා.

ඉස්කෝලෙ ගිහින් නෑ, පාරේ යන්න දන්නෙ නෑ, රස්තියාදු කාරයෝ කියලා ත්‍රීවීල් එළවන අයට සමාජය බණිනවා. නමුත් මං ඒ කතා අද බොරු කරලා තියෙනවා. මං ඔප්පු කරලා තියෙනවා මගෙ පපුව හොඳයි කියලා.

චමින්දගේ කතාව ඇත්තය. ඔහු හොඳ පපුවක් ඇති මිනිසෙකු බව ඔප්පු කර ඇත. ඔහු වෙනුවෙන් අද අකුරක් ලියවෙන්නෙ ඒ නිසාය. මුදල් පසුපසම හඹා නොගොස් තවත් අයට ඔහු සිතන්නා සේම නොවුණත් අනුන්ගේ දුක ගැන මඳ පමණින් හෝ සිතන්නට හැකිනම්, එය සමාජයට තවත් ආදර්ශමත් පාඩමක් වනු නියතය.
බියංකා නානායක්කාර | (ඡායාරූප – එස්.පී. උපුල් – අකුරැස්ස)/ Rivira.lk

chaminda-1 chaminda-2 chaminda-3 chaminda-4