එල්ලා මරන්න දින කිහිපයකට පෙර බෝගම්බර සිර ගෙදර සිරකරුවෙක් සිර මැදිරි දෙකක ඇඳි අබිරහස් එකම පින්තුරය

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම් හුරු වෙන්න එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා

ගීතයේ අරුත ඉතා පැහැදිලිය. ආයාචනය ‘බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා. යන්නය.

හිර ගෙයක් තිබුණේ බෝගම්බර පමණක් නොවේ. රටේ බොහෝ ප්‍රදේශවල හිර ගෙවල් තිබේ. එහෙත් සෑම හිර ගෙයකම සංකේතාත්මක නාමය බවට බෝගම්බර පත්ව තිබේ.

ඒ අර්ථයෙන් ගත් කල්හි බෝගම්බර හිර ගෙදර සුවිශේෂය.

ඒ බෝගම්බර හිර ගෙදරට ඉකුත්දා අපි ගියෙමු. එහෙත් එහි අද හිර ගෙදරක් නැත. 1832 වසරේදී බෝගම්බර වැව ගොඩ කර ඉදි කිරීම් අරඹා 1876 වසරේදී විවෘත කළ බෝගම්බර හිර ගෙදර ඉකුත් සමයේදී පල්ලෙකැලේ ප්‍රදේශයට රැගෙන ගියේය.

ගුවනේ සිට බැලූ කල්හි බ්‍රිතාන්‍ය මහ රැජිනගේ කිරුළේ හැඩය ගත් බෝගම්බර සිපිරි ගෙයි යෝධ ගොඩනැගිලි සංකීර්ණය පාළුවට ගොස් තිබේ. ‘බූත බංගලාවකැයි’ පහසුවෙන්ම හැඳින්විය හැකි තෙමහල් ගොඩනැගිල්ලේ යෝධ දැව දොරෙහි තවමත් මැකී නොගිය සටහනකි. ඒ එහි සිටි රැඳවියන් පල්ලෙකැලේට රැගෙන යාමට පෙර එහි සිටි රැඳවියන් සංඛ්‍යාවය. එම සටහනට අනුව මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් සංඛ්‍යාව 57කි. මරණීය දණ්ඩනය නියම වුවද අභියාචනා ඉදිරිපත් කළ රැඳවියන් සංඛ්‍යාව 100කි. සෙසු රැඳවියන් සම්බන්ධ වාර්තා සටහන් එහි දක්නට නැත.

‘ලොකුම පරාජය ආත්ම විශ්වාසයක් නැති වීමයි. ආත්ම විශ්වාසය ඇති පුද්ගලයාට විසඳාගත නොහැකි ප්‍රශ්නයක් නැත” ඒ බන්ධනාගාරයට ඇතුළුවෙන තැන ඇති පුවරුවකි. ඒ අනුව මෙහි පැමිණ තිබෙන්නේ ආත්ම විශ්වාසයක් නොමැති මිනිසුන්ය.

මරණීය දණ්ඩනය නියම වූවන් ඒ අඝාත අඳුරට වැටුණ කල්හි එය අවබෝධ කර ගත්තේද?
අප බෝගම්බර හිර ගෙදරට ගියේ ඒ පිළිබඳව ගවේෂණයක් කිරීමටය.

“බෝගම්බර හිර ගෙදර හිරකාරයන් බිත්තිවල එක එක වැකි ලියලා චිත්‍ර ඇඳලා තියෙනවා. ඒවා විනාශ වෙන්න කලින් අැවිල්ලා බැලුවොත් හොඳයි” මගේ සරසවි මිතුරෙක් ද වන මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී (මහනුවර) රවී අමරසිංහ දිනක් කීවේය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී තුෂාර ස්වර්ණතිලක සොයුරා අවශ්‍ය පහසුකම් සලසා දුන්නේය.
ගවේෂණය ඇරඹුණේ ඒ අයුරිනි.

විශ්‍රාමික බන්ධනාගාර ජේලර් අයි. කේ. ජී. ඩිංගිරි බණ්ඩා මහතා කළ ප්‍රකාශයක් මෙහි පළමුව සටහන් කරමු.

‘බෝගම්බර බන්ධනාගාරයේ සාමාන්‍යයෙන් 2700කට ආසන්න පිරිසකට ඉන්න පුළුවන්. සාමාන්‍ය සිරකරුවන්, ඇපිල් සිරකරුවන්, මරණ දණ්ඩනයට නියමවූවන්, මරණ දණ්ඩනයට ඇපිල් කළ අය, ජීවිතාන්තය දක්වා සිරදඬුමට ලක් වූ අය හා සැකකරුවන් හැටියට ඔවුන් නම් කරන්න පුළුවන්” ඔහු කතාබහට පිවිසියේ එසේය.

‘යම්කිසි පුද්ගලයෙක් දෙවැනිවරට බන්ධනාගාර ගත වුණොත් ඒ පුද්ගලයාව කෙළින්ම එවන්නේ බෝගම්බරට’ බෝගම්බරට අදාළ එක් විශේෂ කාරණාවක් එසේය.

බන්ධනාගාරයේ “ඩී” වාට්ටුව වෙන්වී තිබෙන්නේ මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන්ට හා මරණීය දණ්ඩනය ඇපිල් කළ රැඳවියන්ටය. මහල් තුනකින් සමන්විත බෝගම්බර බන්ධනාගාරයේ බිම් මහල ජීවිතාපේක්ෂාවන් දුරස් කළ මරණීය දණ්ඩනයට නියම වූ හා මරණීය දණ්ඩනයට අභියාචනා ඉදිරිපත් කළ රැඳවියන් වෙනුවෙනි.

මහමෙරක් උසට ජීවිතාපේක්ෂාවන් පොදි බැඳ ජීවිත​යේ එක්තරා නිමේෂයකදී ඒ සියල්ලටම සමුදීමට සිදුව මරණය එනතුරු බලා සිටින මිනිසුන් අඩි 10×10 කුඩා අඳුරු කුටියක සිර කළ කල්හි ඔවුන්ට කුමක් දැනෙනු ඇද්ද? ඔවුන්ට කුමක් සිතෙනු ඇද්ද? ජීවිතයේ බරැතිම වේදනාවෙන් මඩිනු ලැබූ ඔවුන්ට ලොවට කීමට යමක් තිබේද?

“අම්මා දන්නවා මම කවුද කියා” මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙකු බිත්තියේ එසේ ලියා තිබිණි. ලොවෙන් කොපමණ අවමන් ගැරහුම් ලැබුවද දසමසක් කුස දරා, ගත රුහිරු කිරි කර පොවා වැඩූ අම්මා තමන් කවුදැයි නිවැරදිව දන්නේ යැයි ඒ රැඳවියා සිතීම මරණ වංචකයේදී වුවද සිත නිදහස් කර ගැනීමකැයි අපට සිතෙයි.

“සාමාන්‍යයෙන් අතිවිශේෂ සිරකරුවකු පමණයි තනියෙන් සිර කූඩුවකට දාන්නේ. එහෙම කෙනෙකුගෙන් අනෙක් රැඳවියන්ට ජීවිත තර්ජනයක් ඇති වෙයි කියලා හිතුණොත් තමයි තනියෙන් දාන්නේ” විශ්‍රාමික ජේලර් අයි.කේ.ජී. ඩිංගිරි බණ්ඩා මහතා කියයි.
‘ඒ වගේම තමයි රැඳවියන් දෙන්නෙක් එක කාමරයකට දාන්නෙත් නෑ’ ඔහු කීවේය. ඒ ඇයි දැයි අපි විමසුවෙමු.

‘දෙන්නෙක් දාලා එක් රැඳවියෙක් අනෙක් රැඳවියා මරලා දැම්මොත් සාක්කියක් නැහැනේ. රෑට කුටියට දාලා දොරවල් ලොක් කළාට පස්සේ ආයෙමත් බලන්න කරන්න කෙනෙක් නෑනේ’ ඔහු විස්තර කළේය.

“දෙවියෙක් නොවේ – මිනිසෙක් මං මේ ලොවේ” මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙකු එසේ ලියා තිබිණි.

“ජීවිතය දුකයි. ලෝකය වසයි” ඒ තවත් රැඳවියකුගේ සිතිවිල්ලකි.

“දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපං” විජය කුමාරතුංගයන් ගැයූ ඒ ගී ඛණ්ඩය තවත් රැඳවියකු සටහන් කර තිබුණේ අභියෝගයක් ලෙසිනි. මරණයේ කළු අඳුර යට වුවද ඔහුට කිරීමට තිබුණේ එබඳු අභියෝගයකි.

“මිනිස් ජීවිතය අතිසුන්දර වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මුණ ගැසීමෙන් පමණි” ඒ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවකු ලියා තිබූ සටහනකි. ඔහු කොතෙක් පසුතැවීමට ලක්ව සිටිනේනේ ද යන්න එයින් නිරූපණය වෙයි.

මහල් තුනෙන් යුතු බන්ධනාගාර ගොඩනැගිල්ලේ පහත මාලයේ එල්ලුම්ගස පිහිටා තිබේ. එල්ලා මරනු ලබන සිරකරුවකුගේ ගෙලට තොණ්ඩුව වැටෙන්නේ එම සිරකරු දළදා මාලිගයට මුහුණලා සිට ගත් විටය. එය එක්තරා අයුරකින් බුදු දහමේ ගැඹුරු දහම නිසරු සසරේ අරුත නිහඬව කියාපාන අවස්ථාවකි.

එල්ලුම් ගස පිහිටා තිබෙන්නේ ද ඇහැලේපොළ කුමාරිහාමි ඝාතනය කළ ස්ථානයේ යැයි සැලකෙන ස්ථානයට යාබදවය.

ඇහැලේපොළ කුමාරිහාමි අනුස්මරණය කරනු පිණිස එහි ස්මාරකයක්ද ඉදිකර තිබේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් බෝගම්බර හිර ගෙය නිර්මාණය කරනු ලැබුවේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ දේශප්‍රේමී ප්‍රභූන් හා රදලයන් රඳවා තබනු පිණිසය. පසු කාලයේදී දරුණු ගණයේ අපරාධකරුවන්, මිනීමරුවන්, මංපහරන්නන් රඳවා තබන ස්ථානයක් බවට බෝගම්බර සිපිරි ගෙය පරිවර්තනය වී තිබේ.

එල්ලුම්ගස ආසන්නයේම බිත්තියෙහි ඇඳි බුදු රුවකි. බුදුරජාණන් වහන්සේගේ දිගත පතළ මහා කරුණාවත්, මහා ප්‍රඥාවත් බිඳකුදු අඩු නොවන සේ පින්සලෙන් මැවූ අපූරු සිත්තරා ද රැඳවියෙකි. ඔහු මරණීය දණ්ඩනයට නියමව එයට අභියාචනාවක් ඉදිරිපත් කළ රැඳවියෙකි. සමාධි බුදුගුණ සිත් නිවී පහන් වන ලෙසින් බිතු සිතුවමක් බවට පත් කිරීමට සමත් සිත්තරාගේ සන්සුන් මනස හා සසඳන විට බෝගම්බර ඒමට තරම් ඔහු කළ වරද කුමක්දැයි සිතාගත නොහැකිය.

කුලියාපිටියේ සිට මරණ දණ්ඩනයට ලක්ව බෝගම්බර කල්දේරම් බතෙහි රස බැලීමට පැමිණි එම සිත්තරායේ අංකය ම.ද.නි.ඇ. 7233 ය. බුදු සිතුවම ඇඳි දිනය ලෙස සටහන්ව තිබෙන්නේ 2008-7-7 ය. මරණීය දණ්ඩනය නියම වූවකු කාමර දෙකක ඇඳි එකම චිත්‍රය ඔහු විඳින සංතාපයන් කොතෙක්ද යන්න ප්‍රකාශ කරන්නකි. ඒ චිත්‍රය පිළිබඳව කිසිදු සටහනක් මම නොතබමි. ඒ එය මට කළ නොහැකි නිසාය. ඒ සිතුවම දෙස විශේෂයෙන් බලන්නැයි අපි ඔබෙන් ඉල්ලමු. ඔහු ඇඳ තිබෙන්නේ මිනිස් මුහුණකි. ඒ මිනිස් මුහුණ තුළ ඇති සංකේත මැනවින් බලන්න. ඔහුගේ ගිනිගත් ආත්මය නිවැරදිව වටහා ගත හැකිවන්නේ එවිටය.

එකම සිතුවම කුටි දෙකක තිබෙන්නේ කෙසේද? එය වටහා ගැනීමට විශ්‍රාමික ජේලර් අයි.කේ.ජී. ඩිංගිරි බණ්ඩා මහතා කරනු ලබන මෙම අනාවරණය ඉතා වැදගත්ය.

‘මරණ දඬුවමට දින නියම වුනාම එම දිනයට දවස් 7කට පෙර ඔහුව එක් විශේෂ කාමරයක රඳවා තබනවා. ඊළඟ දිනයේ තවත් කාමරයක. මේ ආකාරයට එල්ලුම්ගහට දවසෙන් දවස ළංවෙන ආකාරයට කාමරයෙන් කාමරයට ඔහුව ඉදිරියට ගෙනියනවා. හත් වැනි දවසේ කෙළින්ම යන්නේ එල්ලුම් ගහට’

ඉහත දැක්වූ විශේෂිත චිත්‍රය බිත්තියෙහි සිතුවම්ව තිබුණේ එසේ එල්ලුම් ගහට පියවරෙන් පියවරට එන කාමර හතෙන් කාමර දෙකකය. කවදා සිතුවම් කළේ දැයි දින සඳහනක් නැති එම සිතුවමෙන් මරණ දණ්ඩනයට ලක්වූ පුද්ගලයා කෙතරම් බරැති වේදනාවකින් පෙළෙමින් ඒ ගමන යන්නට ඇද්දැයි සිතා ගත හැකිය.

එබඳු තවත් කතා සමඟින් ලබන සතියේදී හමුවෙමු.

උපුටා ගැනීම:ලංකාදීප.