තමන්ගේ මරණයෙන් පසුත් ජීවිත අටක් රැකදුන් පුංචි සුරංගනාවියගේ කවුරුත් නොදත් සංවේදී කතාව මෙන්න

ඇය නමින් ජෙමීමා ලෙයිසල්ය. මරණය වැනි මාතෘකාවක් පිළිබඳව කතාකරනවා තබා එවැන්නක් පිළිබඳව සිතීමටවත් කෙනකු නොපෙළඹෙන වයසකදී ඇය සිය මරණය පිළිබඳව සිය මාපියන් සමඟ සාකච්ඡා කළාය. ඇගේ මාපියන් පවසන පරිදි ඇය ඒ වන විටත් නීරෝගී, ඉතාම බුද්ධිමත් හා වයසට වඩා මුහුකුරා ගිය පරිනත බවකින් යුතු සුන්දර දැරියක වුවාය.

Related image

යම් හෙයකින් තමා හදිසියේ මිය ගියහොත් සිය අවයව පරිත්‍යාග කොට, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර සිටින රෝගීන්ට යළි ජීවිතය ලබා ගැනීමට උදව් කිරීමට ඇයට අවශ්‍ය විය. එවැනි මාතෘකාවක් පිළිබඳව ලෙයිසල් පවුලේ සාකච්ඡාවක් ඇරඹුණේ ඔවුන්ගේ සමීප හිතවතකු හදිසියේ රිය අනතුරකින් මිය යෑමත් සමඟය.

ඔහු සිය අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත පළකරන්නන්ගේ ලැයිස්තුවේ ලියාපදිංචිව සිටියද, අනතුරේ ස්වභාවය නිසාවෙන් එම අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගොස් තිබිණි. දහතුන් හැවිරිදි ජෙමීමා ඒ වන තෙක් අවයව පරිත්‍යාග කිරීම පිළිබඳව අසා නොතිබුණත් එහි වැදගත්කම අවබෝධ කරගැනීම ඇයට අසීරු වූයේ නැත.

Image result for Jemima Layzell

මරණයෙන් පසුව වුවද යමෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට හැකියාවක් වේ නම් එය ඉටු කිරීම තම යුතුකම බව ඇය සිය මාපියන්ට පැවසුවාය. දෛවයේ සරදමකට මෙන් ඉන් දෙසතියකටත් අඩු කාලයකදී සිය දියණිය මොළයේ හටගත් හදිසි ලේ ගැලීමකින් මියගිය කළ සොෆි හා හාවි ලෙයිසල් යුවළ දරාගත නොහැකි වේදනාවෙන් හා කම්පනයෙන් වුවද සිය දියණියගේ අවයව පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුහ.

Image result for Jemima Layzell

ඒ සිය ආදරණීය දියණියගේ අවසන් කැමැත්ත ඉටුකිරීමට තමන් බැඳී සිටින බව ඇදහූ නිසාය. අද වන විට ලෙයිසල් යුවළට තමන්ගේ එම තීරණය පිළිබඳව සිය දියණිය නිහතමානීව ආඩම්බර වන බව ප්‍රත්‍යක්ෂ වී හමාරය. ඒ පසුගියදා ලන්ඩනයේ NHS රෝහලේ රුධිර හා බද්ධ කිරීම් ඒකකය විසින් නිකුත් කළ වාර්තාවලට අනුව වැඩිම ජීවිත සංඛ්‍යාවක් මරණයෙන් ගලවා ගත් අවයව දායකයා ලෙස ‘ජෙමීමා ලෙයිසල්‘ නම් කළ නිසාය. ඇය බේරාගත් ජීවිත සංඛ්‍යාව අටකි.

ජෙමීමා මිය ගියේ මීට වසර පහකට පෙර එනම්, 2012 වසරේදී ය. කිසිඳු ආකාරයකින් ඊට පෙර රෝගී බවක් පළ නොකළ ජෙමීමා හදිසියේම සිය හිසේ හටගත් දරුණු වේදනාවක් පිළිබඳව පැමිණිලි කළේ ඇගේ මවගේ උපන්දින සැමරුමට සුදානම් වන අතරවාරයේදී ය. ඉන් සුළු මොහොතකට පසුව ඇය වේදනාවෙන් සිහිසුන් වුවාය. කඩිනමින් රෝහල්ගත කළ මුත් සිහි නොලබාම ඉන් සිව් දිනකට පසු ඇය ජීවිතයෙන් සමුගත්තේ සිය මාපියන් මෙන්ම එකම සොහොයුරියත් දැඩි කම්පනයකට පත් කරමිනි. සිය දියණියගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට එකඟත්වය පළ කිරීමට ඒ අවස්ථාවේදී ඔවුන්ට බෙහෙවින් අසීරු වුවත්, අස්වැසිල්ලක් ලැබුණේ වේදනාවෙන් ගෙවුණු එම කාලයේදී නැරඹීමට ලැබුණු වැඩසටහනක් නිසාය.

Related image

දියණියගේ කැමැත්ත ඉටුකිරීමට සිතේ එතෙක් පැවති අවිනිශ්චිතභාවය හා දෙගිඩියාව දුරු කිරීමට මෙම රූපවාහිනී වාර්තා වැඩසටහන හේතු වී තිබිණි. ඒ හදවත් බද්ධ කිරීමේ සැත්කම් සඳහා දායක හදවත් අපේක්ෂාවෙන් සිටින රෝගී දරුවන් පිළිබඳ වූ අනුවේදනීය වැඩසටහනකි. “අවයව පරිත්‍යාග කිරීමට විරුද්ධත්වය පළ කිරීම යනු ජීවිතය අපේක්ෂාවෙන් සිටින තවත් අටදෙනකුට ජීවිතය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමක් බව ඒ මොහොතේදී අපට වැටහුණා“ සිය දියණියගේ හදවත පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් දැඩි අපහසුතාවට පත්වු හාවි ලෙයිසල් පවසන්නේය.

ජෙමීමාගේ මරණයට හේතුව තිබුණේ මොළයේ ධමනියක් පුපුරා යාමකි. කලක සිට දුර්වල තත්ත්වයට පත්වෙමින් තිබු ධමනියක් මෙලෙස පුපුරා යාමෙන් හටගත් රුධිර වහනය නිසා මොළයට තදබල ලෙස හානි සිදුව තිබිණි. මෙබඳු තත්ත්වයක් කලින් හඳුනා ගැනීමට නොහැකි සේම ළමුන් සම්බන්ධයෙන් එවැන්නක් හටගැනීම අතිශයින්ම විරලය.

Image result for Jemima Layzell

එසේම එකම පුද්ගලයකුගෙන් ලබාගත් අවයවවලින් තවත් පුද්ගලයින් අටදෙනකුට ජිවත් වීමට වරම් ලැබීමද අතිශයින්ම විරල සිදුවිමකි. සාමාන්‍යයෙන් එක් දායකයකුගේ අවයවවලින් බද්ධ කිරීම් සඳහා අවස්ථාව හිමිවන්නේ පුද්ගලයින් 2-3ත් අතර සංඛ්‍යාවකටයි. එබඳු තත්ත්වයකදී පුංචි ජෙමිමාට සිය හදවත, අග්න්‍යාශය, පෙනහළු, වකුගඩු, අක්මාව හා කුඩා බඩවැල් යන සියල්ලම ඇය වැනි කුඩා දරුවන් පස්දෙනකුටත්, වැඩිහිටියන් තිදෙනකුටත් පරිත්‍යාග කිරීමට හැකිව තිබේ.

ඊටත් අමතරව ඇගේ අක්ෂි පටකයන්ගෙන් රෝගීන් තිදෙනකුට පෙනීම ලබාදීමට හේතුව තිබේ. ඇගේ හදවත පස් අවුරුදු වියැති දරුවකුටත්, පෙනහලු දාහතර වියැති දැරියකටත්, කුඩා බඩවැල තෙහැවිරිදි දරුවෙකුටත් බද්ධ කෙරෙද්දි අක්මාව කුඩා ළමුන් දෙදෙනෙකුටත්, වකුගඩු තරුණියන් දෙදෙනෙකුටත්, අග්න්‍යාශය හතළිස් හැවිරිදි පුද්ගලයකුටත් ජීවිතය ලබාදී තිබිණි. NHS රෝහලේ වාර්තාවලට අනුව මීට පෙර කිසිවකුත් ඒ හා සමාන ජීවිත සංඛ්‍යාවක් ගලවාගෙන තිබි නැත.

2015 වසරේදි ගොල්ෆ් පිත්තක් හිසේ වැදී මිය ගිය විසිදෙහැවිරිදි ටොම් විල්සන්ද මරණයෙන් පසු වීරයකු බවට පත්වූවෙකි. ඔහුගේ සම හා පටක කොටස් ඇතුලු අවයව පනස්දෙනකුට බද්ධ කෙරුණු බවට විශ්වාස කෙරුණද, ඉන් ජීවිත ගලවා ගැනීමට සමත්වූ සැත්කම් සංඛ්‍යාව ජෙමීමාගේ වාර්තාව ඉක්මවන්නේ නැත.

නමුත් එය ඔහුගේ පරිත්‍යාගයේ වටිනාක අංශු මාත්‍රයකින් හෝ අඩු වීමට හේතුවක් වන්නේද නැත. ජෙමීමා ලෙයිසල් හා ටොම් විල්සන් වැන්නවුන් මිය ගියත්, ඔවුන්ගෙන් ජීවිතය ලැබුවන්ට පමණක් නොව සමස්ත ලෝකයටම ඔවුන්ගේ මතකය සදා අමරණීය වන්නේ එනිසාය