වෙනත් ලෝකවලින් පැමිණි ඇසට නොපෙනන ජීවින් පෘතුවියේ ඉන්නවද

වත්මනෙහි විද්‍යාඥයන් විශ්වය සහ එහි උපතද පිටසක්වළ ගැනද තියුණු විමසුම් කරන්නට එහි තොරතුරු සොයාගන්නට පෙලඹෙද්දී බුදුන් වහන්සේ ඒ ගැන ඊටත් බොහෝ කලින් දේශනා කළ බව ඔබ නොදන්නවා වන්නටද පුළුවන.

චාල්ස් ඩාවින් කීවේ පරිණාමවාදයට අනුව ජීවයේ සම්භවයත් මිනිසාගේ පරිණාමයත් සිදුවූ බවය. එසේම තවත් ප්‍රබල මතයකට අනුව පැන්ස්පර්මියා සිද්ධාන්තයට අනුව වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණි ජීවීන්ගෙන් මානවයා ප්‍රභවය වූ බවය. මෙම මතය මේ වන විට ප්‍රබලව මතුවෙමින් ඊට සාක්ෂි වන සාධක රැසක් ලැබෙමින් පවතින නිසා එය විවාදාත්මක තැනක තිබෙන්නේය. ඒ අනුව ඓන්ද්‍රීය හා ජීවී ද්‍රව්‍ය ආසන්න ග්‍රහ ලෝක සමඟ නිරන්තර හුවමාරු වන බවත් ප්‍රකාශ වෙයි.

කොලොම්බියානු සරසවියේ විද්‍යාඥයන් පිරිසක් කියන්නේ ජීවී ග්‍රාහකයක් පෘථිවියට පැමිණීමට පෙර අඟහරු ග්‍රහයා මත උපන් බවය. ඒ අනුව පෘථිවියෙහි ජීවත්වන සියලු දෙනා පිටසක්වළින් පැමිණි ජීවීන්ගෙන් පරිණාමය වූ බවද කියැවේ.

අලුත්ම විද්‍යාත්මක සොයා ගැනීම් මෙලෙස එළිදැක්වෙන්නට පළමුව මීට ශත වර්ෂ 25කට පෙර බුදුන් වහන්සේ පහදා දුන් ආකාරය සුවිශේෂය. අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඒ බව පැහැවිත් පෙන්නුම් කෙරෙන්නේය. බුදුන් වහන්සේ භාරද්වාජ හා වාසෙට්ඨ යන බමුණන් දෙදෙනා අතර පැවැති අදහස්වල සාවද්‍ය බව සාක්ෂි සහිතව පෙන්වා දීමට එලෙස දේශනා කළ බැව් පෙනෙයි. එය මෙසේය.

‘වාසෙට්ඨ, දීර්ඝ කාලයකට පසු මේ ලෝකය වැනසෙන කල්හි බොහෝ සත්ත්වයෝ මෙයින් චුතව ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි ඕපපාතිකව උපදිති. ධ්‍යාන චිත්ත බලයෙන් උපන් ඔවුහු ප්‍රීතියම ආහාර කොට ගෙන තමන්ගේම ශරීර ආලෝකයෙන් බබළවමින් ආකාශයෙහි හැසිරෙති. කල්යෑමෙන් යළිත් මේ ලෝකය හටගන්නා කල්හි ඒ සත්ත්වයෝ මිනිස් ලොව ඕපපාතිකව පහළ වෙති’

(ස.සි. දීඝ නිකාය, 186)
මෙහිදී බුදුන් වහන්සේ පැහැදිලිව දක්වා ඇත්තේ, ‘සත්ත්වයා’ යනුවෙන් අදහස් කළේ ‘ජීවී ද්‍රව්‍ය’ න්ටය. එසේම බුදුන් වහන්සේ ලෝකය දෙආකාරයෙන් පෙන්වා දෙති. එය මෙසේය.

‘මහණෙනි, මේ ලෝකයේ ආරම්භය අවිනිශ්චිතය. අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලැබ, ජාතියෙන් ජාතිය සැරිසරන සත්ත්වයන්ගේ ආරම්භයද පෙන්විය නොහැකිය.’
මේ කටුක හා ගැඹුරු යථාර්ථය නූතන විද්‍යාඥයන් තහවුරු කරගනිමින් සිටින්නේ දැන්ය. ඔවුන්ගේ මතයන්ට අනුව විශ්වය බිලියන සංඛනත තාරකා රාශියකින් පිරී ඇත. එය කොතරම්ද කියාවත් ගණනය කරන්නට බැරි තරමක්ය. අප වටා සූර්ය ග්‍රහ මණ්ඩලය සහිත ක්ෂීර පථයද ඊටත් වටා පුළුල් ගැලැක්සි රැසකින් යුක්තය. කිසිදාක සොයා කෙළවරක් දකිනු බැරිය.

‘මේ කියන සුවිසල් ‘ගැලැක්සි’ය බුදුන් වහන්සේ හැඳින්වූයේ ‘චක්කවාළ’ නමිනි. ඒ චක්‍රයක ස්වරූපයෙන් භ්‍රමණය වන නිසාය. එසේම සහස්සී ලෝක ධාතු’ වශයෙන් බුදුන් වහන්සේ හැඳින්වූයේ ‘චක්කවාළ (චක්‍රාවාට) දහසකින් සමන්විත පද්ධතියක්’ය. ඒ අනුව ‘දස දහසකින් සමන්විත වූ ලෝක ධාතු දස සහස්සී ලෝක ධාතු’ වශයෙන් හැඳින්වූ සේක. එහෙත් නූතන විද්‍යාඥයන්ට එයද නිශ්චිතව කිව නොහැකිය. ඔවුන් එය ‘බිලියන 140ක් පමණ’ යැයි හඳුන්වන්නේ එබැවිනි.

මේ අනුව බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම කෙතරම් විශ්වසනීය දැයි සිතෙන්නේය. උන්වහන්සේ දේශනා කරන පරිදි බ්‍රහ්ම ලෝකත්, දිව්‍ය ලෝකත්, මනුෂ්‍ය ලෝකයත්, ජීවීන් සහිත වූ ලෝකයන්ය. බ්‍රහ්ම ලෝක අතර රූපාවචර හා අරූපාවචර බ්‍රහ්ම ලෝක වෙයි. රූපාවචර යනු රූපය සහිත ලෝකයන්ය. එම බ්‍රහ්ම ලෝක නම් පියෙවි ඇසට පෙනෙන ජීවී අංශු සහිත ලෝකයන්ය. අරූපාවචර ලෝකයන්හි රූපය නැත. එම බ්‍රහ්ම ලෝක නම් ජීවී ද්‍රව්‍ය පියෙවි ඇසට නොපෙනෙන ලෝකය.

මෙම පැහැදිලි කිරීම්වලට අනුව ඇතැම් විද්‍යාඥයන් අදහස් කරන පරිදි අඟහරු ලොවින් පැමිණි ජීවී විශේෂයකගෙන් පෘථිවියේ ජීවීන් බිහිවීමටද පිළිවන. එසේ අඟහරු ලේකයෙන් හෝ වෙනත් ලොකයකින් ‘පියෙවි ඇසට නොපෙනෙන ජීවීන් මෙහි පැමිණියේ නම් ඒ නොපෙනෙන ජීවී අංශුවලින් විය හැකිය. අග්ගඤ්ඤ සුත්‍රයෙහි දක්වන පරිදි ස්ත්‍රී පුරුෂ නිමිති හට ගන්නේ ඒවායේ උපාදාන රූපයන් හට ගැනීමෙනි.

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි අනෙක් ලෝකය නම්… පඤ්චස්කන්ධයෙන් සැදුම්ලත් නාමරූපවලින් යුතු ප්‍රභාවිත සත්ත්ව ලෝකයයි. දීඝ නිකායේ පෘටික සූත්‍රයට අනුව සංවඩ්ඪමාන නම් ලෝකය ජීව ගුණයෙන් වැඩෙන කාලයය. විවඩ්ඪමාන නම් ජීව ගුණයෙන් පිරිහීම හෙවත් හැකිළෙන කාලයයි.

එසේ නම් ගත වූ වසර බිලියන හතරක කාලය තුළ අඟහරු ග්‍රහයාගේ පාරිසරික තත්ත්වයෙන් 66%ක් අභ්‍යවකාශයට එක් වී ඉවත්ව තිබීම විශ්වාස කළ හැකිය. එය ‘හැකිළෙන වෙනස්වන, වැනසෙන’ තත්ත්වයක් සේ ගත හැකිය. විද්‍යාඥයන් පවසන්නේද ‘අඟහරු මත ජීවය පැවැති පරිසරය එය ර¼දා පැවැත්මට නොහැකිව විනාශ වී අවකාශයට විසිරී යන්නට ඇත’ යන්නය. පෘථිවියට ද මෙය සිදුවී එලෙසම මීට පෙර කාලයක තිබුණා වන්නට පුළුවන. එසේ නම් ‘දීර්ඝ කාලයකට පසු මේ ලෝකය වැනසී ගොස් බොහෝ සත්ත්වයන් එයින් චුත වී යන්නට ඇත’ යන්න පිළිගත හැකි වන්නේය.

ඊට හොඳම සාක්ෂිය සපයන්නේ ජෛව රසායන විද්‍යාඥයකු වන ස්ටීවන් බෙකර්ය. ඔහු පවසන්නේ,’
‘වසර බිලියන 3කට පමණ පෙර පෘථිවියේ අඩු ඔක්සිජන් ප්‍රතිශතයක් තිබුණා. ඒ කාලයේ අඟහරු මත ප්‍රමාණවත් ඔක්සිජන් තිබුණා’ යන්නය. අප පෘථිවිය මත මේ ගත කරන්නේ විවට්ඨමාන කාලය විය හැකිය. එහි හා ‘ජීවය වර්ධනය වෙමින්’ තිබේ. පෘථිවියේ මානව සන්තතිය ඇති වූයේද මේ කියන විවට්ඨමාන කාලයේදී බව සිතිය හැකිය.

එසේ නම් වත්මන් විද්‍යාඥයන්ට වඩා කලින් බුදුන් වහන්සේ මේ සියල්ල හොඳින් දැන පහදා දීම අදටත් සත්‍යයක්ව නැඟී සිටින බව අවිවාදයෙන් පිළිගැනෙන්නේය. එබැවින් බුදු වදන නිවැරැදිව වටහා නොගත් පෘථිවිවාසීන්ට මේ ‘බිඳෙන වෙනස්වන, වැනසෙමින් පවතින ලොව’ ගැන යළිත් සිතන්නට ඉඩ හසර සැපයෙන්නේය.
අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව ඇසුරෙනි.

සුභානි එම්. ආරච්චිගේ