” අම්මාට දැන් වයසයි, බලා ගන්න අපිට බෑ ” අවුරුදු 83ක් වයස අම්මා බලා ගන්න බෑ

දරුවන් බිහිකර ඔවුන් පෝෂණය කර හදා වඩා ගැනීමට දෙමව්පියන් කොපමණ කැපකීරිම් කරනවා ඇත්ද . නමුත් එලෙස කැපකිරීම් කරමින් දරුවන් ලොකු මහත් කළ දෙමව්පියන්ට ලැබිය යුතු ගෞරවය හා වටිනාකම නොලැබෙන අවස්තා වත්මන් සමාජයේ ඕනෑ තරම් දැක ගත හැකිය. සිය වයෝවෘද්ධ දෙමව්පියන්ට උපස්ථාන කිරීමට ප්‍රතික්ෂේප කරන , දෙමව්පි‍යන් මහලු මඩම් වල තනිකරන දරුවන් පිළිබද පුවත් නිතර ඇසීමට තරම් අප සමාජය අවාසනාවන්ත වී තිබේ.

මේ අතර අසූතුන් හැවිරිදි වයෝවෘද්ධ මහක් රැක බලා ගැනීමට සිය දරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලද සංවේදී පුවතක් වැලිමඩ නුගතලාව ප්‍රදේශ‍යෙන් වාර්තා වෙනවා.

වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ අසූතුන් හැවිරිදි මවක්‌ පසුගිය 20 දා පස්‌වරුවේ වැලිමඩ පොලිස්‌ ස්‌ථානයට ගෙනවිත් දමා ඇය රැගෙන ගොස්‌ රැකබලා ගැනීමට නොහැකි බව ඇගේ දියණිය, පුත්‍රයා සහ ලේලිය පොලිස්‌ ස්‌ථානයේදී පවසා තිබෙනවා.

මෙම තිදරු වයෝවෘද්ධ මව අසනීපව පසුවන අතර ඇය මීට මාස කිහිපයකට පෙර සිය දියණිය භාරයේ සිට ඇති අතර පසුව එම දියණිය විසින් සිය මවට සැලකීමට නොහැකි බව පවසා සැමියා හැර ගොස්‌ (මෙම වයෝවෘද්ධ කාන්තාවගේ පුතා) දරුවන් සිව්දෙනෙක්‌ සමඟ ගම්පළ ප්‍රදේශයේ සිටින ඇයගේ ලේලියගේ නිවසට වාහනයකින් ගෙන ගොස්‌ දමා තිබේ. පසුව ලේලිය ඇය හට සැලකීමට නොහැකි බව පවසා මෙම වයෝවෘද්ධ කත වැලිමඩ පොලිස්‌ ස්‌ථානයට ගෙනවිත් තිබේ.

පොලීසිය වයෝවෘද්ධ කතගේ දියණිය සහ පුත්‍රයා සහ ලේලිය කැඳවා ඇය භාරගන්නා ලෙස පැවසුවත් කිසිදු දරුවකු ඇය භාර ගැනීම පොලිස්‌ ස්‌ථානයේදී ප්‍රතික්‍ෂේප කර තිබෙන බව සදහන්. වැලිමඩ පොලීසියේ නිලධාරීන් මෙම දරුවන්ට කොතරම් අවවාද කළත් මෙම දරුවන් , සිය මව භාර ගැනීමට නොහැකි බව පවසා මව පොලීසියේ තනිකර දමා පිටවී තිබෙන බව සදහන්.