කිසිවෙකුට කළ නොහැකි වූ පාලම සාදා ගමකට පිහිට වූ අපේම කොල්ලො කෙල්ලෝ .!

රටක වටිනාම මානව සම්පත තාරුණ්‍යයය. මන්ද රටෙහි ජවසම්පන්නම , නිර්මාණශීලීම කණ්ඩායම තාරුණ්‍යයි. බොහෝ රටවල් පවත්වා ගෙන යාමට එම රටවල තරුණයන්ගෙන් ලැබෙනා දායකත්වය සුලුපටු නොවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තරුණයන්ගෙන් ලැබෙනා දායකත්වය අවම බවට වන මතයක්ද පවතිනවා.

කෙසේ වෙතත් තරුණයන් කණ්ඩායමක් එක්ව , සිය ගමට අඩුවක්ව පැවති , පරම්පරා ගණනක් තිස්සේ ගමක් පීඩා විදි ගැටලුවකට විසදුම් ලබා දුන් පුවතක් වාර්තා වෙනවා. ඒ රත්නපුර , ජම්බුගස්ගුලන ප්‍රදේශයෙන් ය. ජම්බුගස්ගුලන ගම්මානයේ මිනිසුන් කලක පටන් පීඩා විදි ගැටලුවක් විය. ඒ ජම්බුගස්ගුලන වක්ඇළේ රළු දිය පහර මෙම ගම්මානයේ මිනිසුන්ගේ ප්‍රවාහන කටයුතු අඩාල කරවීම නිසාය. මෙම ගැටලුව ගමේ තරුණ පිරිස දුටුවේය.

ජම්බුගස්ගුලන තරුණ ප්‍රජාව එක්ව යෞවන සමාජයක් පිහිටුවා ගන්නේ ගමේ ගැටලුවලට තරුණ ප්‍රජාවේ දායකත්වය ලබා දීමටමය.

එම යොවුන් එකතුව ” සමනල යෞවන සමාජය” ලෙස නම් විය. ජාතික තරුණ සේවා සභාවේ “යූත් විත් ටැලන්ට්” ශ්‍රම ශක්ති ප්‍රජා ව්‍යාපෘතිය යටතේ ජම්බුගස්ගුලන සමනල යෞවන සමාජයට රුපියල් ලක්‍ෂ එකහමාරක මුදලක් ලැබිණි.

එම මුදල් සහ ප්‍රජාවගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වය මත රුපියල් 16,14921,16ක නිිමි වටිනාමකින් යුතු දැකුම්කලු පාලමක් ඉදිකර අවසන් වී ඇත.

එය රත්නපුර දිස්ත්‍රික්කයේ යෞවන සමාජ අතරින් ව්‍යාපෘති 161ක් සමඟ තරගයේදී ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ. පාලමේ ඉදිකිරීම් භාරව කටයුතු කළේද සමනල යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන්ය. ජම්බුගස්ගුලන සමනල යෞවන සමාජයේ සභාපතිනිය ශාන්ති කුලතිලකය. ඇය සිය යොවුන් සමාජයේ වික්‍රමය මාධ්‍යයට විස්තර කර තිබුනේ මෙලෙසය.

” අපේ ගමේ පැරැන්නන් කහවත්ත, ගබ්බෙල හරහා පන්නිල, ලබුවැල්වත්ත ප්‍රදේශවලට ගමන් කළේ දෙමෝදර ඇළ හරහායි. ඒ අද වගේ ප්‍රවාහන පහසුකම් නොතිබුණු කාලේ.

වැස්සට කලින් එගොඩ මෙගොඩ මාරු වෙන්න බැරි වුණොත් ඇළේ ගලාගිය විශාල දිය කඳ ගමන අතරමඟ නතර කරනවා. හවසට එහෙම වැස්සකට අහුවුණොත් ගමන යන්න වෙන්නේ පහුවදාට. එහෙම කරදරයට පත්වුණු වෙලාවට නතර වී යන්න ගෙවල් කිහිපයක්ම තිබුණා. මිනිස්සු පුදුම දුකක් මේ පාලම නැති නිසා වින්දා

. මගේ හිතෙත් තිබුණා මේ පාලම කවුරු හරි හදලා දෙනව නම් මේ මිනිස්සු විඳින දුක නැති වෙනවානෙ කියලා.

මමත්, මගේ යාළුවොත් එක්ක ඉස්කෝලේ ගිහින් එන්නෙත් මේ ඇළ පාරෙන් එගොඩ වෙලා. එහෙම දවසක වැස්සොත් ඇළේ වතුර වැඩිවෙලා ගෙදර යන්නත් බැරි වෙනවා. දවසක් ඉස්කෝලේ ගිහින් වතුර වැඩි නිසා ගෙදර ගියේ රෑ අටට විතර. මැරෙන්න බඩගින්නේ.

මම මගේ යෞවන සමාජයේ සොයුරු සොයුරියන් එක්ක ඉතා හොදට වැඩ කරනවා. මේ අතර අපේ තරුණ සේවා නිලධාරි දමින්ද නජිත් අපට කිව්වා මෙහෙම වැඩසටහනක් තියෙනවා ගමේ අයත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන්ද කියලා.

මමත්, මගේ සොයුරු කැලත් දෙපාරක් හිතුවේ නැහැ. පුළුවන් කිව්වා. රුපියල් ලක්‍ෂ එකහමාරයි ලැබුණේ. මහා අභියෝගයක් අපිට තිබුණේ. වැඩේ පටන් ගත්තා. ගමේ හැමෝම අපට උදවු කළා.

මේ අතර අපේ ඉල්ලීමට සබරගමුව පළාත් සභා මන්ත්‍රි අනුර අලගියවන්න මහත්තයා ලක්‍ෂ එකහමාරක් දුන්නා. ගමේ අය රුපියල් 78,500.00ක් එකතු කරලා දුන්නා. ඒ විතරක් නොවෙයි ද්‍රව්‍ය ආධාර ලැබුණා.

මේ සියල්ලමත් හරි. අපිට වැඩේ පටන් ගත්තාම තමා අමාරුකම තේරුණේ. විශාල පතල් වළවල් සවිකරලා බහින විදියටයි අත්තිවාරම කොන්ක්‍රීට් කළේ. කොහොමහරි යෞවන යෞවනියන් විදියට ගමේ සියලු දෙනාත් එක්ක අපි පාලම ඉදිකළා.

එය රත්නපුර දිස්ත්‍රික්කයේ මුල් තැන දිනුවා කීවාම පුදුම සතුටක් දැනුණේ”