බීමත් රියදුරන් අල්ලන්න පොලීසිය අලුත්ම ගැජට් එකක් ගෙනත් , ලෝකේ නවීනම තාක්ෂණයලූ .!

” පස්සෙ වෙනස් කරන්නත් බෑ , බීපු ගාන ඩිජිටල් ක්‍රමයෙන්ම ” බැලුම් පුම්බපු කාලේ ඉවරයි , බීමත් රියදුරන් අල්ලන්න පොලීසිය අලුත්ම ගැජට් එකක් ගෙනත් , ලෝකේ නවීනම තාක්ෂණයලූ .!

ශ්‍රී ලංකාවේ ලෙඩ රෝග වලින් මිනිසුන් මිය යන තරමටම රිය අනතුරු වලින් මිනිසුන් මියයාම ජාතික ව්‍යවසනයක් බවට පත්ව තිබේ. මේ රිය අනතුරුවලට එක් ප්‍රධාන හේතුවක් වූයේ රියැදුරන්ගේ බීමත්කමය.

බීමත් රියැදුරන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම පොලිසියේ වගකීමකි. මෙම බීමත් රියැදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් වැඩි කොට ඇති අතර ඒ සඳහා පොලිසිය දිගු කලක් භාවිත කරන ලද්දේ බැලුම් පිම්බීමේ ක්‍රමයයි.

බැලුම් ආධාරයෙන් බීමත් පුද්ගලයකුගේ රුධිරයේ අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය මැන බලා , මේ බැලුම් වල වර්ණය වෙනස්වීම අනුව බීමත් බව තීරණය කරන ලදී. මෙම ක්‍රමවේදය තරමක් පැරණි ක්‍රමවේදයක් වන අතර නවීන රටවල බීමත් රියදුරන් හදුනා ගැනීමට මෙම ක්‍රමවේදය භාවිතා නොවේ. නවීන රටවල බීමත් රියදුරන් පරීක්ෂා කර බැලීමට භාවිතා වන්නෙ ‘ බ්‍රීත්ලයිසර් ‘ නම් උපකරණය ය.

මේ අතර බීමත් රියදුරන් කොටු කර ගැනීමෙ මෙහෙයුම් වේගවත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු අවම කිරීමට , නවින රටවල භාවිතා වන මෙම බ්‍රීත්ලයිසර් තාක්ෂණය ශ්‍රී ලංකා පොලීසියද භාවිතා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මෙම උපකරණය ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන අතර , බැලුම් ඉවත් වී මෙම උපකරණය ලගදීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනු ඇත.

වත්මන් ලෝකයේ බීමත් රියැදුරන්ගේ රුධිරයේ අඩංගු මද්‍යසාර ප්‍රමාණය මැන බැලීම සඳහා භාවිත කරනු ලබන්නේ බ්‍රීත්ලයිසර් නම් උපකරණයයි. මේ මඟින් සිදු කෙරෙන විශ්ලේෂණය ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් ලෙස හැඳින්වේ.

මේ නව උපකරණය ආධාරයෙන් බීමත් පුද්ගලයකු පරීක්ෂාවට ලක් කිරීම සඳහා අදාළ පුද්ගලයා උපකරණයට සම්බන්ධ නළයක් තුළින් එක දිගට තත්පර 5ක් පමණ ප්‍රශ්වාස වාතය පිටකළ යුතුය. එවිට උපකරණයේ ඩිජිටල් තිරය මත ඉලක්කමෙන් රුධිරයේ අඩංගු මද්‍යසාර ප්‍රමාණය සටහන් වේ.

තාක්ෂණය අතින් ඉතා දියුණු මෙම උපකරණයේ ඇති විශේෂත්වය වන්නේ එහි දත්තයන් කිසිදු ලෙසකින් වෙනස් කිරීමට නොහැකි වීමයි.

මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් ඊට මුර පදයක් යොදා සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේ. පොලිසිය විසින් උපකරණයේ යම් නඩත්තු කටයුත්තක් සිදුකරන්නේ නම් ඊට පෙර මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව ලවා මුරපදය ඉවත් කළ යුතුය.

භාවිතය සඳහා යෝග්‍යතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව වසරක් පාසා මෙම උපකරණයේ ක්‍රියාකාරිත්වයේ නිරවද්‍යතාව පිළිබඳව පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

දැනට චීනයෙන් ආනයනය කරන ලද මෙවැනි උපකරණ 50ක් පමණ භාවිතයේ පවතී. මෙම නව උපකරණය භාවිතයෙන් කොටු කරගන්නා රියැදුරන්ට නීතියේ රැහැනින් මිදී යෑම ඉතා අසීරු වනු ඇති බවට විශ්වාස කෙරේ.