” හොදම ක්‍රීඩකයා කපා දමා ක්‍රිකට් ලොක්කාගේ පුතා කණ්ඩායමට දාලා ” තරගාවලියේ දක්ෂතම ශ්‍රී ලංකා කණ්ඩායම බලධාරීන්ගේ වරදින් කැපී ගිය හැටි .!

වයස අවුරුදු දහනමයෙන් පහල ලෝක කුසලානය මේ දිනවල නවසීලන්තයේ පැවැත්වෙනවා. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පසුගිය දින පැවති අතර ඒ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ඝණිස්ථානය අතරයි. මෙම තරගයෙන් කඩුලු හතරක ජයක් ලැබු ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවා.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙනවා. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඕස්ට්‍රේලීයානු යොවුන් කණ්ඩායම සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

මෙම ලෝක කුසලානයේ විශේෂත්වය වන්නේ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරෙන් තුනක්ම ආසියාතික රටවල් වීමයි. ඉන්දියාව , පාකිස්තානය මෙන්ම ඇෆ්ඝණිස්ථානය අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබද්දි ශ්‍රී ලංකාව මුල්ම වටයෙන්ම ඉවතට විසි විය.

නමුත් එය සිදුවූයේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දුර්වලතාවයකට වඩා පරිපාලන නිළධාරීන්ගේ අවුලක් නිසා කිවහොත් වඩා නිවැරදිය. ශ්‍රී ලංකා තේරීම් කමිටුව 19න් පහල ලෝක කුසලානයට සංචිතය තෝරද්දීම දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඉවත් කර ක්‍රිකට් ක්ෂේත්‍රයේ නිළධාරීන්ගේ දරුවන් ඇතුලු විශේෂ වරප්‍රසාද වලින් කණ්ඩායමට ඇතුලත් කළ බවට චොදනා එල්ල විය.

තරගාවලිය අතරමැද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම තරග දෙකකදි ශ්‍රී ලංකා පරිපාලකයන් කණ්ඩායමේ සිටි දක්ෂතම මෙන්ම ජ්‍යේෂ්ඨතම පිතිකරුවා වූ හසිත බෝයගොඩ ඉවත් කළ අතර ඒ වෙනුවට ක්‍රීඩා කළ සන්තුෂ් ගුණතිලක ක්‍රිකට් ක්ෂේත්‍රයේ නිළධාරියෙක්ගේ දරුවෙක් ලෙසද කියවිනි.

මින්පෙර ආසියා කුසලානයේද ශ්‍රී ලංකාවට ශුරතාවය අහිමි වූයේ නිළධාරීන්ගේ වරදින් බව කියවුනු අතර , ආසියා කුසලානයේ පළමු වටයේ මුල් තරග දෙක ජයග්‍රහනය කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා යැයි අනුමාන කළ නිළධාරීන් මුල් වටයේ තෙවන තරගයට කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයන් විවේක ගැන්වූ අතර , ඒ අනුව තෙවන තරගය පරාජය වූ ශ්‍රී ලංකාව දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තරගාවලියෙන් ඉවතට විසි විය. මෙම ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම , ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසි ඇෆ්ඝණිස්ථාන කණ්ඩායම පවා පරාජයට පත් කළ අතර , තරගාවලියේ දක්ෂතම කණ්ඩායම ලෙස විචාරක ප්‍රසාදයට ලක්ව සිටි කණ්ඩායම නිළධාරීන්ගේ වරඩෙහින් එලෙස තරගාවලියෙන් ඉවතට විසි විය.

එම සිදුවීමෙන්ද පාඩමක් ඉගෙන නොගත් බලධාරීන් සිය සුපුරුදු ක්‍රියාවලිය යොවුන් ලෝක කුසනායටද රැගෙන ආ අතර , ප්‍රතිඵලය ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසී වීමයි. එලෙසින් තරගාවලියෙන් ඉවතට විසි වූ යොවුන් කණ්ඩායම පලිහ ශූරතාවට (9 වැනි ස්ථානය) සදහා තරග කළ අතර , එම තරග සදහා අත්‍යවශ්‍ය තරග සදහා ඉවත් කර සිටි හසිත බෝයගොඩ නැවත කණ්ඩායමට එක්කර තිබුණි. එහිදි තරග සියල්ලම ජය ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් තරගාවලියේ පලිහ ශූරතාවය ජය ගැනීමට සමත් විය.

මෙහිදි ක්‍රියාත්මක වූ හසිත බෝයගෝඩ කෙන්යා කණ්ඩායමට එරෙහිව ලකුණු 191ක යෝද ඉනිමක් ක්‍රීඩා කළ අතර , එය යොවුන් ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු ගණන ලෙසට වාර්තා පොත් අතරට එක්විය.

ඉන්පසුව පලිහ තරගාවලියේ අවසන් තරගයේදි බ.ඉ කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගයේදීද ශතකයක් රැස් කළ හසිත , කණ්ඩායමට පලිහ ශූරතාවය දිනා දීමට සමත් වූයේ යොවුන් ලෝක කුසලානයේ ශතක දෙක රැස් කළ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටද පත්වෙමිනි. හසිතගේ එම ඉනිම් , ඔහු කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට ක්‍රිකට් බලධාරියෙකුගේ දරුවෙක් කණ්ඩායමට ඇතුලත් කළ නිළධාරීන්ට එල්ල වූ අතුල් පහරවල් ලෙසද සමාජජාලා මාධ්‍යවල අදහස් පළව තිබුණි.

කෙසේ වෙතත් තරගාවලියේ දක්ෂතම කණ්ඩායමකට, බලධාරීන්ගේ වරදින් තරගාවලි‍යේ මුල්ම වටයෙන් ඉවත්වීමට සිදු වෙනවා නම් එය නිවැරදි කළ යුතු තත්වයකි. රෝයි ඩයස් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ග්‍රැහැම් ලැබ්‍රෝයි තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරයි.