“දරුවන් තිදෙනාම දක්ෂයන් , ක්‍රීඩාවෙනුත් ඉහලටම” පිළිකාවෙන් අම්මා මිය ගිය පසු ලොරියක් පදවා දරුවන් තිදෙනෙක් පෝෂණය කර ඉගැන්වූ පියාටත් පිළිකාව

සිය බිරිඳ පිළීකා රෝගයකින් මිය පසු , දරුවන් තිදෙනෙකු විසින් මෙලොව තනිවූ පියෙකුද පිළිකා රෝගයට ගොදුරු වී සිටිනා සංවේදි පුවතක් වාර්තා වනවා.

බණ්ඩාරගම සේනාසන පාරේ පදිංචි පනස් හය හැවිරිදි ධර්මසිරි වික්‍රමආරච්චිගේ බිරිය මියගොස් තිබුණේ මීට හත් වසරකට පෙරය. ඒ පිළිකා රෝගය වැලඳීමෙනි. ධර්මසිරි රැකියාව වශයෙන් කළේ ඔහුට අයත් ලොරියෙන් උඩහ පළාතට ගොස් කොමඩු රැගෙන විත් බණ්ඩාරගම නගරයේ ලොරියේ තබාගෙන විකිණීමය.

හත් වසරකට පෙර බිරිය මිය යන විට ධර්මසිරිගේ ලොකු පුතාගේ වයස අවුරුදු 10කි. දෙටු පුතුගේ වයස අවුරුදු 8කි. බාලම දියණියගේ වයස අවුරුදු දෙක හමාරකි.

බිරිය මිය යෑමේ වේදනාව තම හදවතේ දරාගත් ධර්මසිරිට දරු තිදෙනාට මවගේ උණුසුම ලබා දීමට නොහැකි වුවත් ඔහුගෙන් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමට හැකි වූයේ ඔහු මනා ශරීර සෞඛ්‍යයෙන් සිටි නිසාය.

එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිමහල් පුතු සේම දෙවැනි පුතු පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වී කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසල් දෙකක අධ්‍යාපනය ලැබීමට වාසනාවන්ත වූහ.

මේ වන විට එම දරු දෙදෙනා එම විදුහල්වල උසස් පෙළ, සාමාන්‍ය පෙළ හදාරන අතර වයස අවුරුදු නවයේ බාලම දියණිය බණ්ඩාරගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතය.

සිය රෝගී තත්වය පිළිබදව ධර්මසිරි වික්‍රමආරච්චි මාධ්‍යයට පවසා තිබුණේ මෙලෙසින්

” අනේ නෝනා මහත්තයෝ මගේ ජීවිතය හරිම අවිනිශ්චිතයි. කොයි වෙලාවේ මම මැරෙයිද දන්නේ නෑ. මගේ දරු තුන්දෙනා වෙනුවෙන් පිහිටක් වෙන්න

මගේ බිරිය අපිව දාලා ගිය දවසේ ඉඳලා මම මගේ දරුවන් තුන් දෙනාට තාත්තා කෙනෙක් විදියට වගේම අම්මා කෙනෙක් වගේ කරන්න ඕන යුතුකම් හැකි උපරිම අයුරින් අඩුපාඩුවක් නැතිව ඉටු කළා.

මම නැඟිටින්නේ පාන්දර තුනට. කෑම උයලා උදේ පාන්දර පුතාලා දෙන්නව ලෑස්ති කරගෙන එයාලව කොළඹ යන්න පාසල් බස් රථයට ලොරියෙන් ගිහින් දානවා. ඒ යන විට ගෙදර කවුරුවත් නැති නිසා මගේ දෝණිවත් ඇහැරවලා එක්කගෙන යනවා.

එහෙම ගිහින් නැවත ගෙදර එනවා. ඊට පස්සේ දෝණිව ලෑස්ති කරනවා. එයාව වෑන් එකට දාලා ඉවරවෙලා මම කොමඩු විකුණන්න බණ්ඩාරගම නගරයට ගියේ. මගේ දරුවන්ට හොඳ හෙට දවසක් දෙන්න, මම ඒ විදියට බිරිය අපිව දාලා ගිය දවසේ ඉඳලා කැපවුණා. කොච්චර මහන්සි වුණත් ඒ ගැන සිතට ගත්තේ නැහැ. දරුවන් ඉගෙන ගන්න දිහා බලලා හිත හදා ගත්තා, සතුටක් ලැබුවා.

මගේ ලොකු පුතා පාසලේ ඉහළ තැනකට ගිහින් තියෙනවා. පොඩි පුතා බොක්ෂිං ක්‍රීඩාවෙන් ඉහළ තැනකට ඇවිත් තියෙනවා. මගේ දරුවන් කීකරුයි. ඉගෙන ගන්න දක්ෂයි. උනන්දුයි.

මගේ දරුවෝ රටට වැඩක් කරන්න උත්සාහ දරනවා. ලොකු පුතා ගමේ තරුණ සේවා සභාවේ සභාපති ලෙස වැඩ කරනවා. එයා ගමේ ඕනෑම දෙයකට කැප වෙලා වැඩ කරනවා. මගේ ජීවිතය නැති වුණොත් දරුවන්ට මොකද වෙන්නේ කියලා මට හිතාගන්න බෑ.

මගේ අසනීප තත්ත්වය දැනගත්ත ගමන් මගේ සහෝදරයෝ, ඥාතීන් වගේම බිරියගේ ඥාතීන් අෑත් වුණා. එයාලට දරුවෝ බරක් වෙයි කියලා. දැන් මා වෙනුවෙන් ඉන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ හා ගමේ උදවිය පමණයි.

මගේ දරුවෝ ගැන, මගේ ගැන බලන්නේ දැන් ඒ අයයි. වැටිලා ඉන්න තියෙන මේ ගෙයත් බැංකුවට උකස් තියලා. ලොරියටත් ෆිනෑන්ස් තියෙනවා. මට මගේ ජීවිතය නැති වුණත් ලොරියත් නැති වුණත් කමක් නෑ. දරුවන්ට ඉන්න තියෙන මේ නිවෙස තියෙනවා නම් ඇති.

මීට මාස හයකට පමණ ඉහතදී මගේ අසනීප තත්ත්වය ඇති වුණේ. ඥාතියෝ කිව්වේ එකම දෙයයි. ලොකු පුතාවයි පොඩි පුතාවයි පාසල් ගමන නවත්තලා වැඩ පුරුදු වෙන්න ගරාජයකට දමන්න කියලයි. ඒ ගොල්ලෝ මට කරන්න හැදුව උදව්ව ඒකයි. මම එහෙම කළා නම් දරුවන්ට විතරක් නෙවෙයි මේ රටටම කරන මහා අපරාධයක්.

මේ වන විට මගේ දරුවන්ගේ අමතර පන්ති ගමන්ද නැවතිලා. ඒක විශාල පාඩුවක්. මම කියන දේවල්වල සත්‍ය අසත්‍යතාව මගේ ගමට ආවහම දැනගන්න පුළුවන්.

කාට හෝ මගේ දරුවන් වෙනුවෙන් පිළිසරණක් වෙන්න පුළුවන් නම් පින් සිද්ධ වෙනවා. ඒ වගේම හතුරකුටවත් මෙවන් සිද්ධියක් නොමවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.