” ඉස්කොලෙම දරුවන් ඉගෙන ගත්තේ අමාරුවෙන් ” අසරණ පාසල් දරුවන්ට පිහිට වූ විශ්ව විද්‍යාල සිසුන්ගේ මනුස්සකම .!

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසින් පාසල් දරු දැරියන්ට අකුරු කිරීමට වඩා යහපත් ස්ථානයක් සකසා දී පිහිට වූ පුවතක් වාර්තා වෙනවා. තුගම අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක්‌ වන බප/මතු/කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියට අදාල පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ල කලක පටන් පැවතුනේ අතිශය අබලන් වීය. වගකිවයුත්තන්ට බලධාරීන්ට කොතෙක් දැන්වූවද මෙම ගැටලුවට විසඳුමක් නොලැබුනු තැන මාධ්‍ය මගීන් පවා අබලන්වූ ගොඩනැගිල්ල පිළිබදව ප්‍රසිද්ධ කෙරිනි.

මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියාව සඳහා ඇස්‌තමේන්තු ගතකර තිබු මුදල ලක්‍ෂ විසිපහකි. එහෙත් එම ගොඩනැඟිල්ල අලුත්වැඩියාව දිනෙන් දින කල් යැම නිසා සිසු දරුවන් අපහසුතා මැද අධ්‍යාපන කටයුතු වල නිරත විණි.

කෙසේ වෙතත් මේ දරුවන් විදින ගැහැට පිළිබදව දැනගන්නට ලැබුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ විද්‍යා අධ්‍යයන පීඨයේ සිසුන් මෙම දරුවන්ගේ ගැටලුවට විසදුම් ලබා දීමට ඉදිරිපත් වන්නේ ඉන් පසුවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ විද්‍යා අධ්‍යයන පීඨයේ “සෙත්සවිය” ව්‍යාපෘතියක්‌ ලෙස කළුපහන කනිටු විදුහලේ මෙම ගොඩනැඟිල්ල අලුත්වැඩියාව එම සිසුන් විසින් මීට මාස කිහිපයකට ඉහතදී තෝරා ගන්නේ ඉන් පසුවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් විසින් දෙමාපියන්ගේ හා කළුපහන ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන්, සහයෝගයෙන් ලක්‍ෂ විසිපහක්‌ ඇස්‌තමේන්තු කර තිබූ මෙම ගොඩනැඟිල්ලේ අලුත්වැඩියාව රුපියල් ලක්‍ෂ පහකින් නිම කිරීම විශේෂත්වයකි.

මෙහිදී සිසු දරුවන් ඇමතූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් කුමාරසිංහ මහතා

“අද අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉහළ තනතුරුවලට පත්වුණේ ඔබලා තරම්වත් පහසුකම් සහිතව අධ්‍යාපනය ලබලා නොවෙයි. අප එදා ශිෂ්‍යයන් ලෙස කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවත් අධ්‍යාපනය සාර්ථකව සිදුකළ නිසායි, අද අපේ ජීවිත සාර්ථක තැනකට පත්ව තිබෙන්නේ. දුවේ පුතේ අප රටේ ඔබට ඉදිරියට යා හැකි හොඳම හා එකම මග සාර්ථකව අධ්‍යාපනය හැදෑරීමයි. දෙමාපියන්ගෙන්ද මේ අවස්‌ථාවේ මා ඉල්ලා සිටින්නේ කුමන ආකාරයේ කැප කිරීම් සිදු කර හෝ දරුවන්ට හැකි ඉහළම මට්‌ටමේ අධ්‍යාපනයක්‌ ලබාදීමට පහසුකම් සලසමින් අවකාශයන් ලබා දෙන ලෙසයි” යෑයි ද පැවැසීය.