අපවත්වීම සැක සහිතයි ? බෙල්ලන්විල නාහිමිට ප්‍රථිකාර කළ වෛද්‍යවරයා සම්පූර්ණ විස්තරයම හෙළිකරයි .!

අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ අභාවය රටම ශෝකයට පත් කළා . මේ අතර විමලරතන නාහිමියන්ගේ අභාවය පිළිබදව විවිධ ප්‍රචාරද පැතිරුණා. කෙසේ වෙතත් බෙල්ලන්විල නාහිමිට ප්‍රථිකාර සිදු කළ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. හඳගල විමලරතන නාහිමිට සිදු කළ ප්‍රථිකාර පිළිබදව අදහස් දක්වා තිබුණා.

එම සංවාදය පහතින්,

“ආරංචිය ලැබුණු සැණින් මා කළුබෝවිලට ආවා. ඒ වනවිට විශාල පිරිසක් හදිසි අනතුරු ඒකකය අවට හිටියා. ලොකු හාමුදුරුවො දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තිබුණා. උන්වහන්සේ හිටියෙ දැඩි වේදනාවක් දරාගෙන. සිරුරට අත තියනකොට මට දැනුනෙ පුදුමාකාර දුකක්. රටක් ගෞරව කරපු හිමිනමක්. මාත් නිතර ආ ගිය තැන. මං හාමුදුරුවන්ට කතා කළා.”

” මොකද හාමුදුරුවනේ වුණේ.”

“වැටුණා මහත්තයො”… උන්වහන්සේ උත්තර දුන්නා.

ලොකු හාමුදුරුවො හිටියෙ තරමක බරපතළ තත්ත්වයක. උන්වහන්සේ හිටපු තත්ත්වය අනුව මං වැඩිදුර යමක් හාර අවුස්සලා අහන්න ගියේ නෑ. ඒ වෙනකොට සී.ටී. ස්කෑන්, එක්ස්රේ ඇතුළු මූලික පරීක්ෂණ කළුබෝවිල රෝහලෙන් සිදු කරලා තිබුණා. වේදනා නාශක දීලා තිබුණා.

මම හිතාගත්තා හැකි උපරිම ශක්තිය යොදලා උන්වහන්සේ බේරගන්නවා කියලා. ඒත් ඇත්තටම ලොකුහාමුදුරුවො හිටියෙ අනතුරුදායක අඩියක. අපි හුස්ම ගනිද්දි ඉළඇට කූඩුව ඉස්සරහට එනවා. නමුත් ඉළඇටයක් තැන් දෙකින් කැඩුණාම හුස්ම ගන්නකොට කැඩුණු අස්ථියෙ මැද කෑලි ඇතුළට යනවා. ඒ තත්ත්වය නිසා පෙණහැල්ල තුවාල වෙනවා. ශ්වසනයට බාධා ඇතිකරනවා. කළුබෝවිලදී මම සී.ටී. ස්කෑන් එක පරීක්ෂා කළා. තැන් දෙකකින් කැඩුණු ඉළඇට පහක් තිබුණා.

“මේ වගේ තත්ත්වයක් හරිම සංකීර්ණයි. ශ්වසන බාධා නිසා සමහර අවස්ථාවලදී හරියට ඔක්සිජන් ලැබෙන්නෙත් නෑ. බිඳුණු පර්ශුවල කොටස් ඇතුළට බැහැලා පෙණහැල්ල තුවාල වෙලා. ඒ නිසාම පෙණහැල්ලට ලේ බැහීමේ අවදානමක් තිබුණා. ඒ වේදනාව දරාගන්න අමාරුයි. ඒත් ලොකු හාමුදුරුවො සාමාන්‍ය විදියට වචන පාවිච්චි කරමින් සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්න හැදුවා. උන්වහන්සේගේ ඒ උත්සාහය තමයි මා දැඩි ලෙසම කම්පාවට පත් කළේ. ඇත්තටම ඔය වයසෙදි එක ඉළඇටයක් කැඩුණත් ඇති… නිසි ප්‍රතිකාර නොලැබුණොත් ජීවිතයක් අනතුරට ලක් වෙන්න.”

” කළුබෝවිල රෝහලේ උරස් ශල්‍යකර්ම කරන්න අවශ්‍ය සම්පූර්ණ පහසුකම් නෑ. කේ.ඒ.පී. ධම්මික වැලිසර රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා. ඔහුට කතා කරලා ඇහුව වැලිසර රෝහලේ අයි.සී.යූ. එකේ ඇඳක් තියෙනවාද කියලා. එහි එක ඇඳක්වත් තිබුණෙ නෑ. මේ සංවාදය ඇතිවෙද්දී දායක සභාවේ සිසිර විජේසිංහ ඇතුළු ගිහි පාර්ශ්වයත්, වගකිවයුතු ස්වාමීන්වහන්සේලාත් මට යෝජනා කළේ කළ යුතු හොඳම දේ කරන්න කියලා. එතැනදි මම රෝහල් කීපයක් නම් කළා.

ඒ ඕනම තැනකදී අවශ්‍ය ශල්‍යකර්මය කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ එක්කම පැහැදිලිව ඒ සියලු දෙනාට ප්‍රකාශ කළා ලොකු හාමුදුරුවො වෙනුවෙන් කරන කිසිම ප්‍රතිකාරයකදී මං මුදල් ගන්නෙ නෑ කියලා. මං විතරක් නොවෙයි, මගේ වෛද්‍ය කණ්ඩායමේ කිසිම කෙනෙක් කිසිම මුදලක් අරගෙන තිබුණේ නෑ. අනතුරුව දායක සභාව ඇතුළු ගිහි පැවිදි පාර්ශ්වය ඒකමතිකත්වයකට ආවා හාමුදුරුවන් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන යන්න.

රෝහලකින් රෝහලකට මාරු කළ නොහැකි අසාධ්‍ය තත්ත්වයක ඒ වෙනකොට උන්වහන්සේ හිටියෙ නෑ. කළුබෝවිල රෝහලේ සිටි විශේෂඥ වෛද්‍යවරු ඒ බව තහවුරු කළා. බාහිරින් තුවාල නොතිබුණාට අස්ථි පද්ධතියට බරපතළ හානි වෙලා.
ඉළඇටවලට සිදුවී තිබූ හානියට කළ යුතු ප්‍රතිකාර තවදුරටත් ප්‍රමාද කරන්නත් බෑ. බොහෝ දෙනකුට ඇතිවී තිබූ තත්ත්වයේ බරපතළකම තේරිලා තිබුණෙ නෑ”

ලොකු හාමුදුරුවන් පෞද්ගලික රෝහලට අරන් ගියා. වහාම ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු නමුත් මා යළිත් සී.ටී. ස්කෑන් එකක් කරන්න නිර්දේශ කළා. ස්කෑන් එක කළේ වෛද්‍ය ශාන්තා හෙට්ටිආරච්චි හා වෛද්‍ය කාන්තා සමරවික්‍රම විසින්. මට විශ්වාසයක් තිබුණා කළුබෝවිල රෝහලේ කළ සී.ටී. ස්කෑන් එකට වඩා වැඩි යමක් මේ ස්කෑන් එකෙන් මට බලාගන්න හැකි වේවි කියලා. මගේ නිගමනය හරි. කළුබෝවිලදී පෙන්නුවෙ අංක 1 -10 දක්වා වූ දකුණුපස ඉළඇට
බිඳීමක් විතරයි. ඒත් අලුත් වාර්තාවෙන් වම්පස තවත් ඉළඇට බිඳීම් 05 පෙන්නුම් කළා. බිඳුණු ඉළ ඇට ප්‍රමාණය 15 පෙණහලුවලටත් බලපෑම් සිදුවීම් තිබුණා. දකුණු අතේ ඉහළ කොටසෙ අස්ථීන් දරුණු විදියට බිඳිලා තිබුණා. මෙවැනි බිඳීමක් සිදුවිය හැක්කේ අතිශය බරපතළ අනතුරකදී පමණයි. විශේෂයෙන්ම අංක 1 හා 2 ඉළඇට සාමාන්‍ය අනතුරකදි බිඳෙන්නෙ නෑ. එහෙම ලොකු අනතුරක් වෙලා නැත්නම් ඒ අස්ථිවල ගැටලුවක් තිබිය යුතුයි.

දැන් අපේ කණ්ඩායම ශල්‍යකර්මයට සූදානම්. ශල්‍යකර්මයට පෙර බෙල්ලන්විල රජමහ විහාරයේ පොඩි හාමුදුරුවෝ හා විමලරතන හිමිගෙ ගිහි සහෝදරයා ගෙන්වලා අදාළ ශල්‍යකර්මය පිළිබඳවත්, එහි ඇති අවදානම පිළිබඳවත් ඔවුන්ට පැහැදිලි කළා. ඔවුන් ශල්‍යකර්මය කරන්න කැමැති වුණා.

මගේ වෛද්‍ය කණ්ඩායමට උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුජීව ඉලංගම්ගේ, වෛද්‍ය සිරවර්ධන හා වෛද්‍ය ධර්මසිරි ඇතුළත් වුණා. කායික විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, මහාචාර්ය මොහාන් සිල්වා අප සමඟ හැම විටම හිටියා. ශල්‍යකර්මය කිරීමට පෙර වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ස්වාමීන්වහන්සේගේ දියවැඩියා තත්ත්වය, රුධිර පීඩනය පරීක්ෂා කළා. කළුබෝවිල රෝහලේදී හදවතේ ස්කෑන් එකක් කළ හෘදරෝග විශේෂඥ වෛද්‍ය චන්දික පොන්නම්පෙරුමත් නිර්දේශ කළා හදවතේ ආබාධ තත්ත්වයක් නෑ කියලා. උන්වහන්සේ සැත්කම සඳහා සුදුසු ශරීර තත්ත්වයෙන් පසුවුණා.

ශල්‍යකර්මය කරන්න පටන්ගත්තේ දෙවැනිදා රාත්‍රි 7 ට පමණ. ඒක දැවැන්ත අභියෝගයක්. මුළු රටම අප දිහා බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ ජීවිතය අපේ අතේ රැඳිලා තියෙන්නෙ. මේ වගකීම අපට ඉතාම තදින් දැනුණා. ප්‍රතිකාර කිරීමේදී අප නිශ්චිත තීන්දු ගත්තෙ කණ්ඩායමක් ලෙස සාමූහිකව එකතු වෙලා. කළුබෝවිල රෝහලේ වෛද්‍ය අමිල ජයසේකර හා වෛද්‍ය ආදවන් ඇතුළු විශාල වෛද්‍ය පිරිසක් අවශ්‍ය ඕනෑම වෙලාවක අපට සහයෝගය දෙන්න සූදානමින් හිටියා.
තුවාලවල තරම

ශල්‍යකර්මයට පෙර උන්වහන්සේට කිසිම කෑමක් බීමක් දෙන්න එපා කියලා මා නියම කරලා තිබුණා. අවශ්‍ය වුවොත් කියලා රුධිර පාරවිලනයක් සඳහා රුධිරය ලෑස්ති කළා. මුලින්ම අපි ස්වාමීන් වහන්සේව නිර්වින්දය කර උරස් කුහරය පරීක්ෂා කළා. එතකොට තමයි දුටුවෙ දකුණු පැත්තෙ පෙණහැල්ල තුවාල වෙලා කියලා. ශ්වාසනාල පද්ධතියට ඇතුළු කළ කැමරාවෙන් පෙනුණා දකුණුපස පෙණහැල්ලේ ලේ කැටි තිබෙන වග. පපුකුහරයට යැවූ කැමරාවෙන් දකුණු පැත්තෙ 3-7 දක්වා වූ ඉළඇට තැන් දෙකකින් බිඳිලා වෙන්වෙලා තියනවා දැක්කා.

පෙණහැල්ලෙ තිබූ සමහර තුවාලවලින් ලේ වහනය වෙනවා. එම තුවාල මහලා ලේ ගැලීම් නැවැත්තුවා. දැන් තියන ප්‍රධානම අභියෝගය තමයි ඉළඇට බද්ධ කිරීම. හාමුදුරුවන්ගෙ ශරීරයෙ බාහිරින් කිසිම තුවාලයක් පෙනෙන්න නෑ. ශල්‍යකර්මය කරගෙන යන අතරතුර තමයි දැක්කෙ දකුණුපස පේශි තැළිලා තිබුණා කියලා. පපුව ඇතුළට සම්බන්ධ වෙච්චි තුවාල කිසිදෙයක් තිබුණෙ නෑ. කැඩුණු ඉළඇට ගණන 15ක්.

ඒවයෙ සමහර ස්ථාන තැන් දෙකකින් කැඩිලා. දැන් ඉළඇට බද්ධ කරන්නෙ පැරණි ක්‍රමයට නෙවෙයි. ඊට වඩා වෙනස්. වියදම අධිකයි. ඒ නිසා බද්ධ කිරීම සඳහා ගන්නා ප්ලේට් රෝහල්වල ගබඩාකරලා තියාගෙන ඉන්නෙ නෑ. රෝහලේ වියදමින් ගෙනත් මේ ප්ලේට් සවි කරන්න හිටියොත් සති දෙකක්වත් යනවා. කාට හෝ අවශ්‍යතාවක් ඇති වුණොත් හදිසිම නම් නෑදෑයො වියදම් කරලා ප්ලේට් ගෙන්වාගෙන සැත්කම කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ප්ලේට් ලබාදෙන්න ඉදිරිපත් වෙලා තිබුණෙ පෞද්ගලික ආයතනයක්.

අනතුරුව ඉළඇට සිදුරු කරලා ඊට ගැළපෙන ඇණය යොදමින් අප ඉතාම සාර්ථකව බිඳුණු ඉළඇට යළිත් සවිකළා. ඒ සඳහා ඇණ පනස් හතක් යෙදුවා. ශල්‍ය කර්මයෙන් පස්සෙ පපු කුහරය වැහුවා. ඒ වෙනකොට වෙලාව පාන්දර 3.30යි. ශල්‍යකර්මයට පැය 7ක පමණ කාලයක් ගතවුණා. ඒක ඉතාම දීර්ඝ කාලයක්. මීට අවුරුදු 5කට කලින් ජපන් කණ්ඩායමක් සමඟ ලංකාවෙ පළමු පෙණහලු බද්ධය සිදුකරද්දී පැය 11ක් ගතවුණා. ඊට පස්සෙ මා දීර්ඝ කාලයක් ගත්ත ශල්‍යකර්මය තමයි මේක.
අනතුරුව උන්වහන්සේ විකලාංග වෛද්‍ය කණ්ඩායම භාර ගත්තා. වෛද්‍ය චන්දන කරුණාතිලක හා වෛද්‍ය විදුර ඒ කණ්ඩායමේ හිටියා. දකුණු උරහිස අසල අස්ථිය වෙන්වෙන්න තරමට කැඩිලා තිබුණ නිසා එය බද්ධ කළ යුතු වුණා. එම අස්ථිය බද්ධ කිරීමෙන් අනතුරුව උන්වහන්සේ දැඩි සත්කාර ඒකකයට යොමු කළා. ඒ වෙනකොට වෙලාව පෙරවරු 6.00 _ 6.30 ඇති. අප කළ ශල්‍යකර්ම සියල්ල සාර්ථකයි.

දැඩි සත්කාර ඒකකයෙ පැය දෙකක් ඉද්දී දැනගන්න ලැබුණා ලොකු හාමුදුරුවන්ගේ රුධිර පීඩනය අඩුවන බව. ඊ.සී.ජී. වෙනස්කම් ඇතිවන බව. මුත්‍රා බැහැරවීමත් අඩු වන බව. මෙහිදී තමයි මුලින්ම මේ හෘදයාබාධයක් දෝ කියලා සැකයක් ඇති වෙන්නෙ. වෛද්‍යවරු නැවතත් ඊ.සී.ජී. එකක් ලබා ගත්තා. ඔවුන් දුටුවා හෘදයාබාධයක් ඇතිවන බව. ඒ ක්ෂණයකින් උන්වහන්සේ හෘද දැඩිසත්කාර ඒකකයට මාරු කළා. වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ප්‍රමුඛ වෛද්‍ය වජිර සේනාරත්න, වෛද්‍ය තාන්‍යා පෙරේරා, ස්ටැන්ලි අමරසේකර යන වෛද්‍ය කණ්ඩායම ස්වාමීන් වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සූදානම් වුණා. එතැනදී සිදුකළ ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණයෙන් තහවුරු වුණා වම් කිරීටක ධමනියේ කොටසක් අවහිර වෙලා කියලා.

රෝහලේ දහවැනි මහලේ සිටි ස්වාමීන් වහන්සේ හතරවැනි මහලට රැගෙන ගියේ විනාඩි 10 ගතවන්න කලින්. නමුත් ප්‍රතිකාර කරන්න කලින් හෘද ක්‍රියාකාරිත්වය නතර වුණා. අදාළ වෛද්‍ය කණ්ඩායම උන්වහන්සේගේ හෘද ස්පන්ධනය ප්‍රකෘති තත්ත්වයට ගේන්න අවශ්‍ය ප්‍රතිකාර කළත් ඒ සියල්ල ව්‍යර්ථ වුණා. මට හඬා වැටෙන්න තරම් වේදනාවක් දැනුණා. එත් මං මගේ වගකීම නිසි ලෙස ඉටු කළ බව මා විශ්වාස කළා. එපමණක් ප්‍රමාණවත්… උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. හඳගල අපෙන් සමුගෙන නැඟී සිටියේය. “අදාළ පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය, කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන, වැලිසර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වනිගරත්න, මහාචාර්ය යසවර්ධන, සුජාතා සේනාරත්න මහත්මිය යන අයත් උන්වහන්සේගෙ ජීවිතය ගලවා ගන්න කළ උත්සාහය ගැනත් ලියලා තියන්න…”