අගමැති වෙනස් වෙයි..? එජාප ආණ්ඩුවක්..? – ශ්‍රී ලනිප මන්ත්‍රීට එජාපයෙන් දිගට හරහට ඇමතුම්..!

මැතිවරණ සමයේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට එල්ල කළ වාග් ප්‍රහාර පළාත් පාලන මැතිවරණ පරාජයට මූලික හේතුවක් වූ බව ඊයේ (11) සවස අරළිය ගහ මැදුරේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් හා අගමැතිවරයා අතර හමුවේදී සාකච්ඡා වී ඇති බව වාර්තාවනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීමද පරාජයට එක් හේතුවක් බව එජාප මන්ත්‍රීවරුන් පවසා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ඇතැම් එජාප ප්‍රබලයන්ගේ ඉල්ලීම වී ඇති බවද වාර්තා වනවා.පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 105ක් සිටින අතර අවශ්‍ය අවස්ථාවල දෙමළ ජාතික සන්ධානයේද සහාය ලබාගෙන ආණ්ඩුව පවත්වාගෙන යා හැකි බව ඔවුන්ගේ මතය වී තිබෙනවා.

එසේම මෙම මැතිවරණ ප්‍රතිඵලය සමග එක්සත් ජාතික පක්ෂය තුළද නැවත නායකත්වයේ අර්බුදයක් හට ගෙන තිබෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් ඇති බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී මැතිවරණයට ඉදිරිපත් වී ඇති අවස්ථාවක ආණ්ඩු බලයත් තිබී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ප්‍රතිඵලය ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව එම පිරිසේ මතය වී තිබෙනවා.

ඉදිරි මැතිවරණ ජයගැනීමට නම් පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබෙන අතර, පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර එවැනි සංවාදයක් මතු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට තමන් සමගින් එක්වන ලෙස ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එජාපයෙන් ආරාධනා ලැබෙමින් පවතින බවද දේශපාලන ආරංචි මගින් ‘නෙත් ගොසිප්‘ වෙත වාර්තාවනවා.