කුණු ගොඩෙන් කෝටි ගාණක් මතු වුණු කාර්යාලෙ මොන ඇමැතිගෙ ද?

“සර්ට ‍පොඩි උදව්වක් කරන්න ආවෙ. හැමදාම සර් අපිට උදව් කරනවානේ. අනික මේ දවස්වල සර්ට සෑහෙන ඡන්දයට වියදම්නේ” යනුවෙන් ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයා හමුවට ආ ව්‍යාපාරිකයා ඔහු ගෙනා පාර්සලය අතට දීමට උත්සාහ කළේය.

දෙවරක් නොසිතා වටපිට බැලූ දේශපාලනඥයා අතට ගත් එය ඔහු අසුන්ගෙන සිටි සිය කාමරයේ මේසය යටට දැමීය.
“මට තව ඇ‍පොයින්මන්ට් එකක් තියෙනවා. වැඩ ඉවර වුණාට පස්සෙ හම්බ වෙමු” යැයි ව්‍යාපාරිකයාට දේශපාලන ප්‍රබලයා ව්‍යංගයෙන් පැවසුවේ ඔහු තවදුරටත් කාර්යාලයේ තබාගැනීම නුවණට හුරු නොවන නිසාවෙනි.

මැතිවරණ කාලයක් එළැඹුණු පසු මෙවන් සිදුවීම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂවල සිට දේශපාලනඥයන්ගෙන් ආරම්භ වූ අත යට ගනුදෙනු අද වනවිට පළාත් පාලන මහජන නියෝජිතයන් සේම රාජ්‍ය සේවකයන් දක්වා කාන්දුවී ගොස් තිබේ.

මෙසේ ගෙවුණු කාලය තුළ එසේ ඇතැම් දේශපාලනඥයන් හා නිලධාරීන්ට ලැබුණු මුදල් ගණන් හිලව් පිළිබඳ මතකයෙන් ඈත්වීමට හේතුව එය සුලබ සිද්ධියක් වීම නිසාවෙනි.

අලුත්ම සිදුවීම වාර්තා වූයේ මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකුගේ කාර්යාලය පිරිසිදු කිරීමේදී කෝටි ගණනක රුපියල් 5000 නෝට්ටු තොගයක් හමුවීමත් සමගය.
දීර්ඝ කාලයකින් ඇමැති ප්‍රබලයාගේ කාර්යාලය පිරිසිදු නොකිරීමෙන් ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ කම්කරුවන් දෙදෙනකු කැඳවා එය පිරිසිදු කිරීමට කටයුතු කර තිබේ.
එහි වූ පැරණි ඉවතලන ලිපි‍ලේඛන, ‍පෝස්ටර්, අත්පත්‍රිකා තොග ‍පොලිතීන් උරවලට බහා කුණු බැහැර කරනු ලබන ට්‍රැක්ටරයකට ඔවුහු පැටවූහ.
ක්‍රමයෙන් පැරණි ලිපි‍ලේඛන, පුවත්පත් ආදිය ඉවත් කරමින් සිටින විට එම කම්කරුවන් දෙදෙනාට දූවිලි වැදී කාලයක් තිස්සේ එහි තිබි ඇතැයි සැලකිය හැකි කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක් ඇමැතිවරයාගේ ප්‍රධාන මේසය හා පුටුව කෙළවරකට වන්නට තිබි ඇත.