පුතේ අද අම්මා නංගි කෙනෙක්‌ එක්‌කන් එනවා…. – හතරක්‌ එකතැන මියගිය අඟුලානේ දුම්රිය අනතුර

* වේලාසනින් ගෙදරට එන ගමනේදී ඉක්‌මන් මරුවා අ`ගුලානේදී හමුවේ

* ඔවුහු පාපුවරුවේ ගියේ ආසාවට නොවේ

“පුතේ… අම්මා ඉස්‌පිරිතාලේ ගියේ තව නංගියෙක්‌ අරන් එන්න. පුතා ඒ නංගීව හොඳින් බලාගන්න ඕනා. ඔයා තමයි දැන් පවුලේ වැඩිමලා . ..”

“හරි තාත්තේ… මම ඒ නංගිවයි, තාත්තවයි, පවුලේ හැමෝමයි බලා ගන්නම්…”

“මගේ රත්තරන් පුතා ඔයාට බුදු සරණයි· අද තාත්තා ඉක්‌මනට ගෙදර එන්නම්. ඇවිත් අපි අම්මවයි, අලුත් නංගියවයි බලන්න ඉස්‌පිරිතාලෙට යමු…”

ධම්මික බණ්‌ඩාර එලෙස පැවසුවේ තම වැඩිමහල් පුතා වන නවීන් බණ්‌ඩාරටයි. ධම්මික දුම්රිය දෙපාර්තමේන්තුවේ නිර්මාණ ශිල්පියෙකු ලෙස රත්මලාන දුම්රිය අංගනයේ රැකියාව කරයි. ඔහු කළුතර උතුර, උග්ගල්බඩ, මල්වත්ත හන්දියේ පදිංචිකරුවෙකි.

දිනය පසුගිය 05 වැනිදාය. එදින ධම්මිකට සුවිශේෂී දිනයක්‌ විය. ඒ තම බිරිඳ වන ගීතමාලි තුන්වැනි දරු ප්‍රසූතිය සිදු කිරීමට නියමිතව තිබුණේ එදිනට බැවිනි.

ධම්මික අතිශය සුන්දර මිනිසෙකි. කුරා කුහුඹියෙකුටවත් වරදක්‌ නොකරන ඔහු පවුලේ ඥතීන්ගේ, හිත මිතුරන්ගේ සහ සමාජයේද ආදරය නිතැතින් දිනාගත් පුද්ගලයකු විය. ආදරණීය බිරිඳට, දරු දෙදෙනාට ඔහු දැක්‌වූයේ පුදුමාකාර සෙනෙහසකි. සැවොම එය දනිති.

දරු ප්‍රසූතිය සඳහා නියම කර තිබූ දිනයට පෙර දවසේ ඔහු තම බිරිඳ කළුතර නාගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය. ඒ සමඟම ඇයට අවශ්‍ය සියලුම දෑ කිසිම අඩුවකින් තොරව ලබා දුන්නේය.

දරු ප්‍රසූතිය සිදුවීමට නියමිතව තිබුණේ පසුගිය 5 වැනිදාය. එදින උදෑසන රෝහල වෙත ගොස්‌ තම ආදරණීය බිරිඳ බැලූ ඔහු ඇයගෙන් සමුගත්තේ රැකියාවට ගොස්‌ හැකි ඉක්‌මනින් නැවත පැමිණෙන පොරොන්දුව මතයි.

එදින දහවල් ධම්මිකගේ බිරිඳ සිසේරියන් සැත්කමකින් පසු දියණියක බිහි කළාය. ඒ බව ඥතීහු ධම්මිකට දැනුම් දුන්හ. එම සුබ ආරංචිය ඇසීමත් සමඟ ඔහු නොඉවසිල්ලෙන් සිටියේ තම පවුලට එකතු වූ අලුත් බිළිඳිය සහ ආදරණීය බිරිඳ දැක බලා ගැනීම සඳහාය. රත්මලාන දුම්රිය අංගනයේ තම යහළුවන්ටද ඔහු “මචං මම අද ඉක්‌මනට ගෙදර යන්න ඕනා. මගේ නෝනට දුවෙක්‌ හම්බවෙලා. මට ඒකිව බලා ගන්නකම් ඉස්‌පාසුවක්‌ නැහැ” යෑයි පැවසුවේය.

විටින් විට ඔහු අත් ඔර්ලෝසුවෙන් වේලාව බැලුවේය. ඒ සෑම මොහොතකම වේලාව ගමන් කරන්නේ ඉතා සෙමෙන් යෑයි ඔහුට සිතුණි. ඒ තරමටම ඔහු නොඉවසිල්ලෙන් සිටියේ අලුත උපන් බිලිඳිය බැලීම සඳහා යැමටයි.

රවීන් උදේශ විවාහකයෙකි. බිරිඳ සහ දරුවන් සමඟ ඔහු පදිංචිව සිටින්නේ කළුතර දකුණ නගර සභා නිවාසවලයි. ඔහුද දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකි. එසේම ධම්මිකගේද යහළුවෙකි.

රවීන්ට දියණියක සහ පුතෙකු සිටී. බිරිඳ රැකියාවක්‌ නොකරන අතර නිතරම ඔහු තම බිරිඳට පවසන්නේ, “සල්ලි මම හම්බ කරලා දෙන්නම්. ඔයා නිතරම දරු දෙන්නා ගැන සොයා බලා ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දෙන්න” කියාය.

තම දියණියට සහ පුතාට ඔහු දැක්‌වූයේ පුදුමාකාර සෙනෙහසකි. අත්‍යවශ්‍ය කාරණයක්‌ හැර දරු දෙදෙනා නොමැතිව ඔහු නිවසින් බැහැරව එක රැයක්‌ ගතකර නොතිබිණි. දිනපතාම පාහේ සේවය නිමකර ඔහු නිවසට පැමිණෙන්නේ ආදරණීය දරු දෙදෙනාට කුමක්‌ හෝ දෙයක්‌ රැගෙනයි.

මත්පැන් සහ සිගරැට්‌ ඔහු කිසිදිනක කටේ තියා නොමැත. ඒවා බොන තැනක මොහොතක්‌වත් ඔහු රැඳී සිටින්නේද නැත. එහෙත් ඔහු සමාජ සේවකයෙකි. ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයේ නිලතල හොබවන ඔහු සිවිල් ආරක්‍ෂක කමිටුවේද සාමාජිකයෙකි.

පසුගිය 05 වැනිදා ඔහුද සුපුරුදු පරිදි නිවසින් පිටවූයේ රැකියාව බලා යැම සඳහා ය. එලෙස යැමට පෙර තම ආදරණීය දියණියට සහ පුතාට “තාත්තා අද හවස එනකොට ඕගොල්ලන්ට කවදාවත් කාපු නැති දෙයක්‌ ගේනවා” කියා පැවසුවේය.

එදින ඔහුගේ පුතා සහ දියණිය සිටියේ නොඉවසිල්ලෙනි. පාසල අවසන් වී පැමිණි පසුත් දෙදෙනා කතා වුණේ තාත්තා හවසට රැගෙන එනවායි කියූ දේ ගැනය.

තාත්තා සහ අම්මා සේවය නිමකර නිවසට පැමිණෙන තුරු දරුවන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඒ ඔවුන් රැගෙන එන කුමක්‌ හෝ දෙයක්‌ ලබාගැනීමේ අටියෙනි. අඩුම ගානේ ටොපියක්‌වත් තම දෙමාපියන් රැගෙන එන බව ඔවුන් දනිති.

 රට කජු රඹුටන්
 අරගෙන නාරං
 කෝච්චියෙන් දැන්
 තාත්තා එනවා

යෑයි කියන්නෙත් එම නිසා වන්නට ඇත.

දෙමාපියන් දවසේ පැය කිහිපයක්‌ තම දරුවන්ගෙන් වෙන්වී රැකියාවල නිරත වී කෙතරම් වෙහෙසකර වුවත් යළි නිවසට පැමිණෙන්නේ තම දරු පැටවුන්ට ඔවුන්ගේ සිත සතුටුවන ආකාරයේ දෙයක්‌ රැගෙනය. දෙමාපියන් එලෙසය. ඔවුන්ගේ ආසාවද එයයි.

සේවය අවසන් කළ ධම්මික සහ රවීන් රත්මලාන දුම්රිය පළට පැමිණියහ. ඒ හැකි ඉක්‌මනින් නිවස බලා යැමටයි. විශේෂයෙන් වැඩි උනන්දුවක්‌ තිබුණේ ධම්මිකටයි. ඒ තම අලුත උපන් බිලිඳියගේ මුහුණ දැක ගැනීමටයි. එම දුම්රිය පළෙහි එදින වෙනදාටත් වඩා මඟීහුද සිටියහ.

කොළඹ සිට කළුතර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය එම ස්‌ථානයට ළඟා වෙමින් පවතින බව නිවේදනය කළේය. ඒ සමගම මඟීහු කඩිමුඩියේ එහාට මෙහාට පැන දුම්රියට නැඟීමට සූදානම් වූහ. ධම්මික සහ රවීන්ද ඒ අතර සිටියහ.

නිවේදනය නිකුත් කර විනාඩි දෙක තුනක්‌ ඇතුළත යකඩ යකා රත්මලාන දුම්රිය පළට පැමිණියේය. ඒ වන විටත් මගීහු විශාල පිරිසක්‌ එම දුම්රිය තුළ සිටියහ. රත්මලානේ සිටි මගීහුද එකෙකුට එකෙක්‌ පරයමින් දුම්රියට නැඟීමට උත්සාහ කළහ. ධම්මික සහ රවීන් ද එලෙස දුම්රියට නැඟීමේ අපේක්‍ෂාවෙන් සිටියහ.

දුම්රිය මැදිරි මඟීන්ගෙන් පිරී ඉතිරී ගියේය. එම නිසා ධම්මික සහ රවීන් ඇතුළු තව කිහිප දෙනකුටම දුම්රිය ඇතුළට නැඟීමට නොහැකි වූහ. ඒ හේතුව නිසා එම පිරිස දුම්රිය පා පුවරුවේ ගමන් කළහ. දුම්රිය ඉතා වේගයෙන් කළුතර බලා ගමන් කළේය.

වේලාව සවස 4.45 පමණ විය. ඒ වන විට එම දුම්රිය රත්මලාන පසුකර ලුනාව ප්‍රදේශයට ඇතුල්වී තිබිණි. ධම්මික ඇතුළු අනෙක්‌ පිරිස පා පුවරුවේ එල්ලී සිටියේ ආසාවකට නොව කරන්නට වෙන විකල්පයක්‌ නොමැති නිසාය. විනාඩි පහකට හෝ කලින් නිවසට යැම සැමගේම එකම අධිෂ්ඨානය විය. ඒ තමන්ගේ සතුට රැඳී ඇත්තේ නිවැසියන් සමග නිසාය.

අවමංගල පෙරහැරක්‌ ඒ මොහොතේ ලුනාව ප්‍රදේශයේ ගමන් ගනිමින් තිබිණි. ඒ දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති පටු මාර්ගය තුළයි. එම මාර්ගයේ පසෙකට වන්න ලොරියක්‌ද නවතා තිබිණි.

ලොරියේ රියෑදුරු දුරතියාම එම මාර්ගයේ අවමංගල පෙරහැර පැමිණෙනු දුටුවේය. එම නිසා එම පෙරහැරට තව ටිකක්‌ ඉඩදීම සඳහා ඔහු ලොරි රථය පසුපසට, එනම් දුම්රිය මාර්ගය අසලට ගැනීමට සූදානම් විය.

ධම්මිකලා සිටින එම කෝච්චියද ඒ ආසන්නයටම පැමිණෙමින් තිබිණි. ලොරියේ රියදුරුට ඒ ගැන අවබෝධයක්‌ නොතිබිණි. ඔහු තම වාහනය පසුපසට ගත්තේය. ඒ සමඟම අසල සිටි පුද්ගලයකු, දුරතියා පැමිණෙන දුම්රිය දැක ලොරියේ රියදුරුට එය පසුපසට ගන්න එපා කියමින් කෑගැසුවේය. එහෙත් පලක්‌ නොවිණි. රියදුරුට ඒ ගැන අවධානයක්‌ නොතිබිණි. ගතවූයේ තත්ත්පර කිහිපයකි. ඉතා වේගයෙන් පැමිණි දුම්රියේ පාපුවරුවේ රැඳී සිටි මගියකු ළඟ තිබූ ගමන් මල්ලක්‌ පසුපසට ගන්නා ලොරියේ වැදුණි. ඒ සමගම පාපුවරුවේ එල්ලී සිටි පිරිස බිම පතිත වූහ.

ඉතා වේගයෙන් ගමන් ගන්නා දුම්රියකින් වැටීමෙන් මගීන්ට සිදුවන ඉරණම ගැන යළි කවර කතාද? එලෙස වැටුණු පිරිසෙන් තිදෙනකු එම ස්‌ථානයේදීම මියගිය අතර තවත් පුද්ගලයකු රෝහල්ගත කළ පසු මියගියේය. තවත් 9 දෙනකු තුවාල ලැබූ අතර ඉන් එක්‌ අයකුගේ තත්ත්වය බරපතළ බවද දැන ගන්නට ලැබිණි.

එම අනතුරෙන් මියගිය එක්‌ පුද්ගලයකු වන ජයරත්න පෙරේරාගේ සිරුර කැබලි කිහිපයකට වෙන්වී තිබිණි. ඔහු රත්මලාන කොතලාවල ඇකඩමියේ සේවය කරන අයෙකි. ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පාපුවරුවේ එල්ලී ගමන් කිරීම අනතුරකට අත වැනීමකි. විශේෂයෙන්ම දුම්රියක, එහෙත් මෙම පිරිස ආසාවට, කොලුකමට දුම්රියේ පා පුවරුවේ එල්ලී ගිය අය නොවෙති. විධිමත් ප්‍රවාහන ක්‍රමයක්‌ රට තුළ නොමැති හෙයින් තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ජීවිත අවදානමේ තබා ක්‍රියා කළ පිරිසකි. එහෙත් එකක්‌ කිව යුතුය. කෙතරම් අත්‍යවශ්‍ය කාරණාවක්‌ මත වුවද මෙවැනි අවදානමක්‌ ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

ගයාන් සමරසිංහ/divaina