අලුත් ආණ්ඩුවක් අලුත් අගමැති කෙනෙක්

නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර තිබෙන බව සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මීට අදාළ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පසුගිය 16 වැනිදා සිකුරාදා දිනය පුරා පැවැති අතර එදින සවස් වනවිට ස්ථිර වශයෙන්ම මෙම තීරණය ගත් බවත් ඒ අනුව නව අග්‍රමාත්‍යවරයා පත්කර නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු ඉදිරි දින දෙක, තුන තුළ සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයෙක් “ඉරිදා මව්බිම”ට ප්‍රකාශ කළේය.

මීට අදාළ සම්බන්ධීකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පසුගිය සිකුරාදා දහවල් පත්කර ගැනිණි.

පසුගිය සිකුරාදා උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවෙසේදී රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම තීරණය කළේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය නොදරන එක්සත් ජාතික පක්ෂ නොවන ආණ්ඩුවකට සහයෝගය ලබාදීමටයි.

එසේ සහයෝගය ලබා දුන්නද එම ආණ්ඩුවේ කිසිදු තනතුරක් කිසිදු අමාත්‍ය ධුරයක් නොගැනීමටත් මෙහිදී තීරණය කෙරිණි.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයාද පැමිණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් සිදු කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට බහුතරයක් තිබෙන බවද මේ හමුවේදී ප්‍රේම්ජයන්ත ඇමැතිවරයා සංඛ්‍යා ලේඛන සහිතව මහින්ද රාජපක්ෂ මහතාට තොරතුරු දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්විණි.
කිසිදු තනතුරක් භාර නොගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවනවා නම් ඊට සහයෝගය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා නම් එහි අමාත්‍ය ධුර ලබාගැනීම වඩා සුදුසු බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ඊට එකඟ විය නොහැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා තනතුරු නොදරන ආණ්ඩුවක අමාත්‍ය ධුර කිසිසේත්ම භාරගත නොහැකි බවත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා අගාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට සිදුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්කර ගන්නේ කවුරුන්ද යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී විමසා ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඒ සඳහා සුදුසු බවත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබේ.

කිසිදු අමාත්‍ය ධුරයක් භාර නොගත්තද දේශපාලන හා ආර්ථික වශයෙන් කළ යුතු වෙනස්කම් ගැන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කරුණු ඉදිරිපත් කළ අතර එම කටයුතු හා ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ සහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පැවරිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ගොඩනැංවීමට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබාදෙන බව සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අස්සන් කරන ලද ලියවිල්ලක් ගුණවර්ධන මන්ත්‍රිවරයා විසින් ජනාධිපතිවරයාට භාරදෙන ලදී.

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟින් මෙම සාකච්ඡාවට සහභාගි වූයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් පමණි.

පාර්ලිමේන්තුවේ සරල බහුතරය මේ වන විට තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්, ලංකා කම්කරු කොංග්‍රසය සහ ඊ.පී.ඩී.පී. සංවිධානය ද මෙම එක්සත් ජනතා නිදහස් සන්ධාන නව ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.