දිරිමත්ව ඉදිරියට යන තිස්සමහාරාමයේ තුෂාරි

ෙබාෙහා් අය කියනවා ගෙදර එදිනෙදා වැඩ ටික කරනකොට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ කියලා. ඒත් මටනම් කියන්න තියෙන්නේ, තමන්ට වුවමනාවක්, කැපවීමක් තියෙනව නම්, ඕන වැඩක් කරගන්න වෙලාවක් හදා ගන්න පුළුවන් කියන එකයි.”එසේ පවසන්නේ, තිස්සමහාරාම මහින්දපුර පදිංචි තුෂාරි සංජිවනි නමැති දිරිය කාන්තාව ය.

තම සැමියාට අත්වැලක් වෙමින්, ජීවිතය ජය ගැනීම සඳහා වෙහෙස මහන්සි වන ඇය, තම නිවෙසේ වැඩ කටයුතු කරනා අතරම, ඇයට ලැබෙන ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින්, විවිධ වූ ආදායම් මාර්ග කිහිපයකම මේ වන විට නිරත වි සිටී.

“මම පාසල් ගියේ තිස්සමහාරාම ජාතික පාසලට. එහිදී මම අ.පො.ස (සා. පෙළ) දක්වා ඉගෙනුම ලැබුවා. ඉන් අනතුරුව මම විවාහ වුණා. දැන් මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා මුලින්ම කළේ වෙනත් කෙනෙක් යටතේ රථ වාහන සර්විස් කරන මධ්‍යස්ථානයක කුලියට වැඩ කරපු එකයි.

පස්සේ ඒ ලැබෙන ආදායම පවුලේ වියහියදම් කටයුතුවලට මදි නිසා, අපි දෙන්නම කතා කරගෙන, අපේම කියලා වාහන සර්විස් කරන වැඩපොළක් දා ගත්තා. දැන් මම ඒ වැඩපළේ මගේ මහත්තයත් එක්ක එකතුවෙලා වැඩ කරනවා. මම බොහෝ වෙලාවට කරන්නේ, සර්විස් කරන්න එන වාහන, වතුර අල්ලලා සෝදන එකයි.

ඒවා පිහදාලා පිරිසුදු කරන ඒවා මම කැමැත්තෙන් ම කරනවා. සමහර වාහනවල පොඩි පොඩි කෑලි ගලවලා දීලා, මහත්තයාට උදවු කරනවා. එයා තමයි අන්තිමට වාහනේ වැඩ කටයුතු ඉවර කරලා අයිති අයට බාර දෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මම මේ අතරතුරේ බ්ලෝග් ගල් කපලා විකිණීමත් කරනවා.

බිම්මල් වගා කරලා, ඒවත් ගමේ අයට විකුණනවා. අපේ ගෙදර ළමයි තුන්දෙනාටම අවශ්‍ය වන ඇදුම් මහලා දෙන්නෙත් මම. ඒ අතරතුරේ තව තව ලස්සන අත්කම් නිර්මාණත් කරනවා. මට ඉඩ ලැබෙන හැම වෙලාවම මම නිකං ඉන්නේ නැහැ. මොනවා හරි වැඩක නිරත වෙලයි ඉන්නේ.

මම බොහෝ කාලයක ඉඳලා ගමේ සමිති සමාගම්වලටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. සමාජ නියාමක සංවර්ධන පදනම තමයි මගේ මේ වැඩ කටයුතුවලට මුල් කාලේ ඉඳලම අවශ්‍ය ණය මුදල් ලබා දුන්නේ. මේ වෙනකොට නම් මම තවත් ආයතන කීපයකින් මේ වැඩ කටයුතු සදහා ණය මුදල් ලබාගෙන තියෙනවා. හැබැයි ඒ සියලු ම ණය මුදලුත් මම නිසි පරිදි ගෙවාගෙන යනවා.මට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, මම කාර්යශූර විදිහට වැඩ කරන නිසයි. ඒ කටයුතු මඟින් දිරිමත්ව මුදල් හම්බ කරන නිසයි.

ගෙදර එදිනෙදා වැඩ ටික කරනකොට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ කියලා බොහෝ අය කියනවා. ඒත් මටනම් කියන්න තියෙන්නේ, තමන්ට වුවමනාවක්, කැපවීමක් තියෙනවා නම්, ඕන වැඩක් කරන්න වෙලාව හදා ගන්න පුළුවන් කියන එකයි. ඒ නිසා ම තමන්ගේ ගෙදරට එදිනෙදා වියදමට අවශ්‍ය වන මුදල් ටික හොයා ගන්නත් මට හැකිවෙලා තිබෙනවා.

මම දකින විදිහට ඕනැම කෙනකු තුළ සැඟවුණු දක්ෂතාවක් හෝ දක්ෂතා කිහිපයක් තියෙන්න පුළුවන්. ඒවා නිසි පරිදි හඳුනාගෙන කටයුතු කළොත්, කාටවත් අතනොපා ජීවත් වෙන්න හැකියාව ලැබේවි. මම අද ජීවිතයේ යම් දුරක් ඇවිදින් තිබෙනවා නම් ඒ, මගේ හැකියා හඳුනාගෙන, දිරිමත්ව, නොසැළී කටයුතු කළ නිසයි. බාධක එන හැම මොහොතකම, ඒවා විඳ දරා ගැනීමට කාන්තාවක් වුණහම හැකියාව තිබෙන්න ඕනැ. සිතින් කඩා වැටුණොත්, ජීවිතය ජය ගන්න කවදාකවත්ම බැහැ.” ඇය පවසන්නී ය.

රෝහණ ආරියරත්න