කොටි නායකයකුට ඉව අල්ලමින් එක තැන ගත කළ දින 03ක්

පසුගිය සතියෙන්…

ක්‍ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීමේ දී එය පුපුරා යන මොහොතේ පසුපසට ද එහි බලපෑම එල්ලවන නිසා ආසන්නයෙන් සිටීම අවදානමක් මැද සිදුකරන්නක් විය. සෙසු හතර දෙනා තැනින් තැන පෙර දැනුම් දීම් සඳහා මෙම දෙදෙනාට ඉදිරියෙන් මාර්ගය අසල රැඳී සිටියහ. මෙම පිරිස රැඳී සිටියේ වංගුවක් සහිත වාහනවල වේගය අඩුකර යන තැනකය.

හදිසි අවස්ථාවක දී පසුබැසීමට අවශ්‍ය නිසා මොවුන් සතු ගමන්මලු අතරමග ආරක්ෂිත තැනක සඟවා අවි ආයුධ පමණක් ළඟ තබාගෙන තිබිණි. කල්තබා ගන්නා ආහාර පැකට් ආහාරයට ගැනීමට ගියහොත් මාර්ගය අසලින් මාර්ග පරික්ෂාවේ යන කොටින්ට කෑම සුවඳ දැනී හසුවීමට හැකි නිසා, චොක්ලට්, බිස්කට් ඇතුළු දේ පමණක් මෙම දින තුනේම ආහාරයට ගැනීමට සිදු විණි.

ගත වූ දින දෙක පුරාවටම කොටි සාමාජිකයන් දෙතුන් දෙනා රැගත් ට්‍රැක්ටර් ගිය ද ඒවාට පහර දීමට උත්සාහ කළේ නැත. ඒ මොවුන්ගේ ඉලක්කය වූයේ කොටි නායකයකු නිසාය.

මාර්ගය අසලට පැමිණ තුන්වැනි දිනය ද උදාවිය. මේ වන විට සමස්ත මෙහෙයුමට පැමිණ දින පහක් ගත වී තිබිණි. උදෑසන 8.00 ට පමණ ටී 56 අවි රැගත් කොටි ත්‍රස්තයන් පස් දෙනෙකු මාර්ගය දෙපස පරීක්ෂා කරමින් මෙතැනින් ගමන් කළහ. මාර්ගය පරීක්ෂා කරන්නේ නායකයකු ගමන් ගන්නා නිසා බව ඉලක්කය බලමින් සිටි විශේෂ බළකා භටයෝ තේරුම් ගත්හ.

කලින් දින දෙකේදීත් කොටි නායකයන් ගමන් ගන්නා ලෑන්ඩ්රෝවර් ජීප් රථයක් මේ අසලින් ගමන් කළද. පෙර දැනුම්දීම කිරීමට සිටි භටයන් තහවුරු කළේ එහි රියැදුරු පමණක් සිටින බවකි. මෙදින මීළඟට ඇසුණේ ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් ඈතින් එන හඬකි. මේ වන විට වේලාව රාත්‍රී 9.00 ට පමණ විය.

මුලතිව් දෙසින් පැමිණි මෙම ලෑන්ඩ්රෝවර් ජීප් රථය වංගුව අසල වේගය අඩාළ කර නවත්වනවාත් සමග මෙහි නායකයකු ඇතුළු කණ්ඩායමක් සිටින බවට තහවුරු කරගත් කෝප්‍රල් සිසිර “ටාගට් එක ගන්න” යැයි ක්ෂණයකින් සංඥාවක් දුන්නේ ය. ඒ අනුව ක්‍රියාත්මක වූ කණ්ඩායම් නායකයා අදාළ ජීප් රථය තමන් සලකුණු කරගත් තැනට ආ විගස ක්‍ලේමෝ බෝම්බ වල සිට ඇදගත් ස්වීචය එබුවේ ය.

එසැණින් ගිගුරුම් හඩින් ක්‍ලේමෝ බෝම්බ දෙක පුපුරා ගියේ ප්‍රදේශයම දෙවනත් කරමිනි. ජීප්රථය ගිනිදැල් වලින් වැසීයත්ම වහාම තවත් සතුරු භූමිය තුළට යෑමට හයේ කණ්ඩායම තීරණය කළහ.

කළු දුමාරය මැදින් කොළ පැහැති ජීප් රථය උඩු අතට පෙරළී රෝද කැරකෙන අයුරු පසුබසින කණ්ඩායමට දැකගත හැකි විය. දින තුනක් තිස්සේ රැඳී සිට ඉලක්කය සපුරාගත් මෙම කණ්ඩායම කොටින්ට සිතාගන්නටවත් ඉඩක් නොතබා කොටි බල ප්‍රදේශයටම කිලෝ මීටර් තුනක් රිංගා ගත්හ. ආරක්ෂිත ගල්කන්දක් ආසන්නයට ගිය මෙම කණ්ඩායම පණිවුඩ හුවමාරු යන්ත්‍ර ද ක්‍රියා විරහිත කළේ ය. ඒ සතුරාට නිරීක්ෂණය වීම වැළැක්වීම සඳහාය.

යම් හෙයකින් මෙම ප්‍රහාරයෙන් පසුව හමුදා පාලන ප්‍රදේශය දෙසට පසුබසින්නට ගත්තා නම් තන්නිමුරුප්පු, නැදුන්කර්නි ඇතුළු අතරමග කොටි කඳවුරු හා ආරක්ෂක වළලුවල සිටින කොටි කණ්ඩායම්වල සෝදිසි මෙහෙයුම්වලට කොටුවීමට හැකි බව කලින් කළ විමර්ශනවල දී තහවුරු වීම නිසා මෙම කණ්ඩායම ප්‍රහාරයෙන් පසුව කොටි පාලන ප්‍රදේශයටම රිංගා යන්නට වූහ. මේ වන විට හමුදා පාලන ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 27 ක් කොටි බලකොටුව තුළට රිංගා තිබිණ.

ආරක්ෂිත තැනකට වේගයෙන් පසුබැස ගිය කණ්ඩායම විවේක ගැනීමට සූදානම් වෙද්දී බෝම්බය ක්‍රියාත්මක වීමේ දී පසුපසට ආ කැබලිවලින් කෝප්‍රල් විජේරත්න හා රිස්විට බෝම්බයේ කැබලි වැදී තුවාල වී ඇතැයි දැකගත හැකි විය.
රිස්විගේ නළල හා දණහිස තුවාල වී තිබූ අතර විජේරත්නගේ උගුරු දණ්ඩ ළඟින් හා නහය ළඟින් ක්‍ලේමෝ බෝම්බයේ වූ යකඩ බෝල දෙකක් ඇතුළට කිඳා බැස තිබිණි. මේ වන විට දහවල් 12.00 ට පමණය. ‍ලේ ගලන්නට වූ තැන්වලට බැන්ඩේජ් දමා ප්‍රථමාධාර ලබාදුණි.

කණ්ඩායම් නායකයාට වැඩිපුර තුවාල නිසා යළිත් හමුදා ආරක්ෂක වළල්ල දෙසට යමු යැයි කණ්ඩායමේ සියලු දෙනා කියා සිටිය ද තුවාලයට වඩා ජීවිත භය ගැන වගකීම අතට ගත් කණ්ඩායම් නායකයා එම තීරණය වෙනස් කළේ ය. ඒ කණ්ඩායම් හැඟීමකින් යුතුව යන මෙම කණ්ඩායම්වල සුවිශේෂී භටයන් තම ජීවිතයටත් වඩා අනෙක් සගයන් ගැන සිතන නිසාම ය.

එදින රාත්‍රියේම එම ආරක්ෂිත ස්ථානයේම රැඳී සිට පසුදින අලුයම 5.00ට පමණ යළිත් වැලිඔය දෙසට යෑමට ගමන් ඇරඹූහ. කිලෝ මීටර් විසිහතක් දුරක් ගෙවා යා යුතුව තිබිණි.

ගමන් ඇරඹූ තැන සිට මීටර් තුන්සියයක් පමණ යද්දී ඇළ මාර්ගයක් හසුවිණි. ඒ ඇළ අසල තිබූ සලකුණු අනුව කලින් දින දහවල් සිට අලුයම වනතෙක් හමුදා භට පිරිස් බලා‍පොරොත්තුවෙන් කොටි කණ්ඩායමක් රැඳී සිට ඇතැයි තහවුරු විය.

මෙතැන් පටන් දිගටම ආරක්ෂාව තහවුරු කර ගනිමින් පසුබසින්නට තීරණය විය. දවස් තුනක් පුරාවටම සතුරු බලකොටුවේ බාධක මගහරිමින් මෙම කණ්ඩායම වැලිඔය දෙසට ඇදෙන්නට වූහ. පණිවුඩ හුවමාරු යන්ත්‍ර හරහා අණදෙන නිලධාරීන් දැනුවත් කිරීමත් සමග මෙම කණ්ඩායම ඒ මගට තවත් හතරේ කණ්ඩායමක් පිටත් කර තිබිණි.

එල්.ටී.ටී.ඊ. ප්‍රධාන ආරක්ෂක වළල්ල හා හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල අතර ප්‍රදේශය ආරක්ෂාව දැඩිව තිබූ ප්‍රදේශය නිසා මෙම ප්‍රදේශය හරහා ගමන් ගැනීම අවදානමක් සහිත විය. කොටින්ගේ බෝම්බ ඇටවූ ආරක්ෂක වළල්‍ලේ තෝරාගත් තැනක් හතරේ කණ්ඩායම විසින් ලබාදුන් පසුව දින අටහමාරක් තිස්සේ කොටි බලකොටුවේ රැඳී සිටි කණ්ඩායම හමුදා පාලන ප්‍රදේශයට ඇතුළු වූහ.

හමුදා පාලන ප්‍රදේශය වෙත සුවිශේෂී ඉලක්කය ලබාගෙන පැමිණි හයේ කණ්ඩායමට කොටි පණිවුඩ හරහා තහවුරු වූ තමන් ලබාගත් ඉලක්කය දැන ගැනීමට හැකි විය. මෙම ප්‍රහාරයෙන් මරුමුවට පත් ව තිබුණේ මුලතිව් ප්‍රවාහන අංශයේ හා එල්ලපඩෙයි නායක (ග්‍රාම හමුදාවේ නායක) පාස්කරන් ඇතුළු නව දෙනෙකි. පාස්කරන්ගේ නියෝජ්‍ය නායකයා ද ඒ අතර විය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Rivira,lk