එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු තුන්දෙනෙකුගේ පට්ටම් ගැලවෙයි…?

නව කැබිනට් සංශෝධනය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා. කොහොම වුනත් ළඟදීම සිදුකිරීමට නියමිතව තිබෙන නව කැබිනට්‌ සංශෝධනයේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තිදෙනකු දැනට දරන කැබිනට්‌ අමාත්‍ය ධුර කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන් තිදෙනකුට ලබා දීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව අදාල ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විශේෂ කාර්ය භාර ඇමැතිවරු ලෙස පත් කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අමාත්‍යවරුන් අතර සිටින එක්‌ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය පළ වී ඇති බවද සඳහන් වෙනවා. මෙවර කැබිනට්‌ සංශෝධනයේ බලගතු කැබිනට්‌ වෙනසක්‌ සිදු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇති අතර තරුණ ඇමැතිවරුන්ට වගකීම් පැවරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති නිසා කැබිනට්‌ සංශෝධනය ඉතා දුෂ්කර වී ඇති බවද සඳහන් වෙනවා.

එසේම ප්‍රධාන පක්‌ෂයක ඉහළ තනතුරක්‌ දරන ඇමැතිවරයකුගේ අමාත්‍යාංශය මහින්ද අමරවීර මහතා වෙත පැවරීමට යෝජනා වී තිබුණද එම ඇමැතිවරයා සිය අමාත්‍යාංශය අත්හැරීමට අකමැති වීම නිසා මහින්ද අමරවීර අමාත්‍යවරයා ධීවර ඇමැති ධුරයේම තවදුරටත් කටයුතු කරනු ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ජාතික රජය තවදුරටත් ගෙන යැමට අකමැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමැතිවරුන් දේශපාලන පිල් මාරුවක්‌ සඳහා තව දුරටත් රහස්‌ සාකච්ඡා පවත්වන බවට ද රාවයක්‌ පවතිනවා.