තම අගමැති සිහිනය බොඳ කළ නිමල්ගේ ඡායාරූපය සජිත් ගත් හැටි

මෙම ඡායාරූපයේ පෙනී සිටින තිදෙනාත් ඡායාරූප ශිල්පියාත් අයත් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තියටය. මෙරට ජනතාව මෙම තැනැත්තන් හට රාජ්‍ය පාලනයේ විවිධ වගකීම් විවිධ වකවානුවල භාරදී තිබේ. එබැවින් ලංකාව වර්තමානයේ පවතින තත්ත්වයේ හොඳ යහපත් යමක් වේනම් එයටද, නරක අයහපත් යමක් වේනම් එයටද මෙම මහත්වරු සිවු දෙනාද කිසියම් ප්‍රමාණයකට වග කිව යුතුය.

ඡායාරූප ශිල්පියා හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාසය. ඔහු දැනට නිවාස සහ ඉදිකිරීම් ඇමැති තනතුර දරයි. සජිත්ගේ අතට කැමරාව හුරුය. හිටපු ජනපති ප්‍රේමදාසත් සජිතුත් දෙදෙනාම වන සත්ත්ව ඡායාරූප ගැනීම පිළිබඳව ප්‍රසිද්ධය.

ඔවුන් දෙදෙනාට අභය භූමිවල ගැවසී පළපුරුද්ද ඇත්තේය. සජිත් සුව පහසු සෝපාවක ඇලවී ඡායාරූපය ගන්නේ ඉදිරිපිට සිටින්නේ වන සතුන් නොවන බව හොඳින් දන්නා නිසා විය යුතුය. ඡායාරූපයේ වම් කෙළවරේ සිටින්නේ නිමල් සිරිපාලද සිල්වාය. ඔහුටද බොහෝ දිගු දේශපාලන ඉතිහාසයක් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයකු වූ අධිනීතිඥ නිමල් සිරිපාල ශ්‍රී ලනිප, එජනිස, පොදු පෙරමුණු, සමඟි පෙරමුණු ආණ්ඩුවල විවිධ වගකීම් දරා ඇති අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ කාලයේත් මහින්ද රාජපක්ෂගේ කාලයේත් පාර්ලිමේන්තුවේ සභානායක තනතුර ඉසිලුවේය.

සභානායක කියන්නේ අගමැති තනතුරට ආසන්නම තරප්පු පඩිය ලෙස සැලකේ. එහෙත් නිමල් ආසන්න පඩියේ කකුල් හිරි වැටෙන තුරු හිටියත් දෛවය ඔහුව අගමැති කාර්යාලය තුළට ගත්තේ නැත. නමුත් මෙවර නම් ඔහුගේ පක්ෂියා රජවී ඇත. ඔහු ජය කණුව ආසන්නයටම පැමිණ සිටින අතර තරගකරුවකු පෙනෙන තෙක් මානයේ නැත.

එහෙත් ප්‍රශ්නය නම් පුටුවේ සිටින තැනැත්තා කොහොල්ලෑ ගෑවා මෙන් එහි ඇලී සිටීමය. ඔහු පුටුවෙන් බිමට ඇද දෑවොත් නිමල්ට ඒකාන්තයෙන්ම අගමැතිකම ලැබේ. නිමල්ගේ කේන්දරයේ මේ තරම් ලස්සනට රාශි පෙළ ගැසුණු වෙනත් අවස්ථාවක්ද නොවීය. මෙවැනි සුව පහසු අසුනක් ලද විට සුව පහසු නින්දකට පිවිසෙන නිමල් මේ ඡායාරූපයේ පියකරු සිනාවකින් මුව සරසාගෙන සිටින අයුරු නම් හරිම අපූරුය.

ඇතැම් විට මේ දිනවල නිමල් හිතන්නේ අගමැති තනතුර ලැබුණු පසු අඳින්නට වඩා හොඳ ජාතික ඇඳුමද නැතිනම් යුරෝපීය ඇඳුමද කියා විය හැකිය. දෙජාතියෙන් ඇඳුම් කට්ටල දෙකක්ම මසා ගැනීම වඩා හොඳය. ආවොත් අගමැති කමය. ගියොත් දැනට දරන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති තනතුරත් නැති විය හැකිය. දේශපාලන ලෝකයේ හැටි එහෙමය.

දෑතින් දෙපස ශක්තිමත්ව අල්ලාගෙන පොළවට හොඳින් දෙපා තබා යුරෝපීය ඇඳුමින් සැරසී මැද පුටුවේ සිටින්නේ එජාපයේ ඉදිරිපෙළ නායකයකුවූ මලික් සමරවික්‍රමය. මලික් සමරවික්‍රමලා පැරදුනත් දිනුවත් වට්ටන්නට බැරි ධනපති ලෝකයේ ප්‍රබල ව්‍යාපාරිකයෝය.

රනිල් වික්‍රමසිංහ ඔහුට දුන්නේ ලෙහෙසියෙන් කියවා ගන්නටත් අමාරු නමක් ඇති අමාත්‍යාංශයකි. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය එහි නමය. ජාත්‍යන්තර වෙළෙ¼දාම සිම්පල් වුවත් උපායමාර්ග ගැන කල්පනා කරන්නට ඔහුට නොදැනුවත්වම අවුරුදු තුනක්ම ගත විය.

දකුණු කෙළවර අසුනේ සිටින්නේ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ය. රවුෆ් කොංග්‍රසයට ලැබුණු එකම අසුනත් රැගෙන එජාපයට එකතුවී නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැතිකම ලබාගත්තේය. ලංකාවේ දේශපාලන දාම්පෙතේ ඉත්තන් ඇදෙන ආකාරයටම ඕනෑම ප්‍රගතිශීලී, ප්‍රතිගාමී, වාමාංශික, දක්ෂිණාංශික ආණ්ඩුවක ඇමැතිකමක් ගන්නා හැටි හකීම් දනී. ඒ නිසා කවර ආකාරයේ කැබිනට් මණ්ඩල පිහිටු වුවත් හකීම්ගේ පුටුව පැත්තකින් තබන ආකාරයට ලංකාවේ දේශපාලනය හැඩගැසී ඇත.

නිමල්, සජිත්ගේ අගමැති සිහිනය බොඳ කරාවිද යන්න මේ මොහොතේ තීන්දු කිරීම අසීරුය.