ඕනම කණ්ඩායමකට ගහනවා ” බංග්ලාදේශය සමග ගැටුම අදයි , පුහුණුකරු කි‍යූ කතාව මෙන්න .!

නිදහස්‌ කුසලාන තුන්කොන් විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය අද (10 දා) බංග්ලාදේශය සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතය. මේ අතර තරගය පිළිබදව අදහස් දක්වන ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු රොමේෂ් රත්නායක පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රළු පාරක්‌ ඔස්‌සේ ගොස්‌ ජයග්‍රාහී මාවතට සේන්දුවී සිටින්නේ ඔවුන්ගේ මානසික ශක්‌තිය ඉතාමත් උසස්‌ තත්ත්වයකට පැමිණී නිසා බවයි

ඉන්දියාවට පහරදුන් ශ්‍රී ලංකා කණ්‌ඩායම අපරාජිතව ඉදිරියට යැම සඳහා ඊයේ දිනයේදීත් පුහුණුවීම්වල නිරත වු අතර ඒ අවස්‌ථාවේ මාධ්‍ය හමුවට පැමිණි රත්නායක මෙසේ පැවසීය.

“මේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් තමයි ඉස්‌සලෙත් ක්‍රීඩා කළේ. අපි හැම විටම සුපිරි ක්‍රිකට්‌ ගහන්න ඕන. ඒ කියන්නෙ තරගයේ තත්ත්වයට අනූව හැඩ ගැහිලා ක්‍රීඩා කරන්න වෙනවා. නමුත් දැන් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ මානසිකත්වය ඒ වෙනුවෙන් හොඳ තැනකට ගේන්න පුහුණුකරු චන්දික හතුරුසිංහ ක්‍රියා කර තිබෙනවා.” යෑයි රත්නායක මහතා පැවසීය.

බංග්ලාදේශය ලෝකයේ සියලුම කණ්‌ඩායම් පරාජය කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීමත් අභියෝගයක්‌ බව රොමේෂ් රත්නායක මහතා පවසයි.

“බංග්ලාදේශය කියන්නෙ ලෝකයේ හැම කණ්‌ඩායමක්‌ම පරාජය කළ කණ්‌ඩායමක්‌. ඒ නිසා ඔවුන් සමග ක්‍රීඩා කිරීමේදී අභියෝගයක්‌ තියෙනවා. මේ තරගයකට සමහර විට අපේ වෙනස්‌කම් තියෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දේ තීරණය වන්නේ තණතීරුවේ තත්ත්වය අනූවයි.”

2019 ලෝක කුසලාන ඉලක්‌කයට යන විට කණ්‌ඩායමේ වෙනස්‌වීම් විය හැකි බවත් එහිදී සෑම ක්‍රීඩකයකුට අවස්‌ථාව දී ඔවුන්ව හොඳම තැනට ගෙන ඒම බලාපොරොත්තුව බවත් රොමේෂ් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“අපිට දක්‍ෂතාව තියෙනවා. මානසිකත්වය තමයි වැදගත්ම සාධකයක. පුහුණුකරු චන්දික හතුරුසිංහ ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න අවස්‌ථාව දීලා තියෙනවා. ඔවුන්ට එක පාරක්‌ වැරදුනොත් ඊළග වතාවෙ ඒ දේ කරගමු කියලා ඔහු දිරි ගන්වනවා.”

ඉන්දියාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ බවත් එවැනි කණ්‌ඩායමක්‌ පරාජය කිරීම වාසනාවක්‌ බවත් රත්නායක පවසා සිටියි. “මම හිතන්නෙ ඉන්දියාව සමග තරගයේදී අපි ලකුණු 15 ක්‌ විතර වැඩිපුර දුන්නා කියලා. නමුත් ඔවුන්ගේ පන්දු යෑවීමයි අපේ පන්දු යෑවීමයි බලද්දී අපි ඉදිරියෙන් හිටියා. කොහොම වුණත් ඉන්දියාව වගේ කණ්‌ඩායමක්‌ කීප වරක්‌ම පරාජය කිරීමට ලැබීම වාසනාවක්‌.”

කණ්‌ඩායම එක ක්‍රීඩකයකු මත යෑපෙන්නේ නැති බවද ඔහු පවසා සිටියේය. “කුසල් ජනිත් පෙරේරා අනිත් දහ දෙනාට වඩා කණ්‌ඩායමේ විශේෂයි. ඔහු ඇවිල්ලා කෙටි කාලයක්‌ තුළදී ලොකු ලකුණු ගාණක්‌ ලබා දෙන එක ගොඩක්‌ වටිනවා. නමුත් අපි එක ක්‍රීඩකයකු මත්තෙ යෑපෙන කණ්‌ඩායමක්‌ නෙමෙයි. ඒ වුණත් කුසල් විශිෂ්ට ක්‍රීඩකයෙක්‌.”

නිදහස්‌ කුසලාන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට අද තරගය ජය ගැනීම වැදගත් වන අතර එසේ වුවහොත් බංග්ලාදේශයට අවසන් මහා තරගයට පිවිසීමට නම් ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ජය ගත යුතු තත්ත්වයක්‌ නිර්මාණය වේ.