දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා.

ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා.

අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳුන්වලා තියෙන්නෙ. සියලු ආගම් වල ජනතාව කිසිම වෙනසක් බේදයක් නැතුව වඳින්න පුදන්න යන පුදබිමක් තීයෙනවනන් ඒ වෙන කොහෙවත් නෙමෙයි කතරගම පුදබිම.

කතරගම පුදබිමට එක වරක් වත් ගිහින් නැති කෙනෙක් මේ රටේ හොයාගන්න බැරි තරම්. මේකට හේතුව මේ දෙවියන් ගැන තියෙන විශ්වාසය කිව්වොත් හරියටම හරි. කොහොමද මෙහෙම විශ්වාසයක් ඇතිවුනේ. අපි මේ ගැන කතා බහ කරන්න ඕනේ. ඒ වගෙම කතරගම පුදබිමෙහි වන්දනාමාන කරන කිරිවෙහෙර / සහ රුහුණු මහා කතරගම දේවාලය ගැනත් අපි දන්න දේවල් කතා බහ කරන්න ඕනේ.

ඉස්සෙල්ලම අපි කතා කරමුකො අපේ කතරගම දෙවියන් ගැන. කතරගම කියන ප්‍රදේශයේ වැඩ වාසය කරන දෙවියන් නිසා කතරගම දෙවියො කියලා අපි හැඳින්නුවට. හින්දු පොත් පත් වල මේ දෙවියන්ට අඳුන්වන්නේ මුරුගන්, ස්කන්ධ කුමාර්, කන්දසාමි, ආරුමුගම්, ශරවනභව, සුභනම්‍ය, සනත් කුමාර, කාර්තිකේය කියන නම් වලින්. එතකොට මේ කතරගම දෙවියන්ගේ උපත ගැන කියවෙන හරි අපුරු කතා අපේ ජනකතා වල ජන සාහිත්‍ය ඇතුලේ තියෙනවා.

හින්දු දේව පුරාණයට අනුව විශ්ණු දෙවියන් විසින් මවපු කුමාරවරු 6 දෙනෙක් පාර්වතී දේවිය තදකරලා අල්ලා ගත්ත හින්දා අත්දොළහක් මූණු හයක් සහිත එක් ශරීරයක් නිර්මාණය වුන බව සඳහන් වෙනවා. ඒ හින්දා මුහුණු සයක් ඇති කුමරා යන තේරුම ඇතුව මේ දෙවියන්ව ස්කන්ධ කුමාර නමින් හඳුන්වනවා.

තවත් මතයක විදියට කතරගම රජ කරපු මහාසේන රජු ධර්මය අහලා සෝවාන් ඵලයට පත්වෙලා, බුදු හිමියන්ගේ ඉල්ලීම විදියට මරණින් පස්සේ එම ස්ථානයේ දේවාආත්ම ලාභීව කතරගම දෙවියන් ලෙස වැඩ වාසය කරන බව කියවෙනවා. තවත් ඔය වගේ කතරගම දෙවියන්ගේ උත්පත්තිය සම්බන්ධ කතා තියෙනවා.

කතරගම දෙවියන් ගේ උත්පත්තිය සම්බන්ධ මත ගැනයි අපි මේ කතා කර කර ඉන්නේ. මේ සම්බන්ධ මත දෙකක් ගැන අපි ඉස්සෙල්ලා කතා කළා. මේ දෙවියන්ගේ උත්පත්තිය සම්බන්ධ තවත් මතයක් තමයි මේ. යුධ අවශ්‍යතා වලට ලංකාවට ආව කන්දසාමි කියන අති දක්ෂ දකුණු ඉන්දියනු රණ ශූරයෙක් ජීවිතයේ අවසන් භාගයේදී කතරගම කඳුකර වනයේ රක්ත වස්ත්‍රධාරී තාපසයෙක් විදියට බවුන් වැඩුව බවත් ගුප්ත විද්‍යා බලයෙන් පෙළහර පාපු එතුමන්ව කතරගම වැසියො කන්දේ දෙවියන් විදියට හඳුන්වපු බවත් මේ කතා අතර සඳහන් වෙනවා.

මේ වගේ එකිනෙකට වෙනස් බොහොමයක් කතා තව තියෙනවා. කොහොම වුනත් මේ කතා වලින් අපිට පැහැදිලි වෙන එක කාරණයක් වෙන්නේ මහා බල සම්පන්න දෙවි කෙනෙක් කතරගම ප්‍රදේශය ආශ්‍රිතව වැඩ වාසය කරන බවයි.

දුටුගැමුණු එළාර යුද්දය ගැන ඔයා අහලා තියෙනවනේ. ඉතින් මේ යුද්ධෙදි දුටුගැමුණු රජතුමාට කතරගම දෙවියන් උදව් උපකාර කරලා තියෙනවලු. ඉතින් ඒ වෙනුවෙන් දුටුගැමුණු රජතුමා මේ කතරගම දේවාලය නිර්මාණය කරලා දුන්නලු. දේවාලය ඉදිකරන්න සුදුසු තැනක් පෙන්නන්න කිව්වම කතරගම දෙවියෝ වැඩසිටි කන්දේ ඉඳලා හීයක් විද්දලු. හීය වැටුණු තැන තමයි අද ඔය කතරගම දේවාලය ඉදි කරලා තියෙන්නේ කියලා විශ්වාසයක් ජනතාව අතර තියෙනවා.

කතරගම දෙවියන්ට බිරින්දෑවරු දෙන්නෙක් ඉඳලා තියෙනවා. තේවානි අම්මා සහ වල්ලි අම්මා කියලා. තේවානි අම්මා කියන්නේ ඉන්දියාවේ ඉඳලා ආපු කතරගම දෙවියන්ගේ මුල් බිරිඳ බවත් වල්ලි අම්මා කියන්නේ අපේ රටේ වැදි පරම්පරාවේන් පැමිණි සුරූපි කාන්තාවක් බවත් ජන සාහිත්‍යයේ සටහන් වෙලා තියෙනවා. ඒ වගේම නුවණට අධිපති දෙවියන් ලෙස සැලකෙන ගණ දෙවියන් කතරගම දෙවියන්ගේ සහෝදරයා විදියටත් මත පල වෙනවා.

කතරගම දෙවියො කියලා කියන්නේ යුද්ධයට අධිපති දෙවි කෙනෙක්. මේ දෙවියන්ගේ වෘක්ෂය විදියට සලකන්නේ තල්ගහ, වර්ණය වෙන්නේ රක්ත වර්ණය, වාහනය වෙන්නේ මොණරා. ඒ වගේම තමයි පලිහක්, පොතක්, කඩුවක්, අංකුෂයක්, මුගුරක්, දුන්නක්, කුක්කුට ධජය, ශංඛය, තෝමරය අත් දොළහින් අරන් ඉන්නවා. මේ කියන ලක්ෂණ වලින් තමයි අපි තේරුම් ගන්නේ මේ ස්කන්ධ කුමාරයා කියලා.

කතරගම දෙවියන් ගැන ජනතාවගේ ඇති විශ්වාසය අපිට විද්‍යාත්මක ව පැහැදිලි කරන්න බැරි වුනත් මේ තුල යම් කිසි සමාජ විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. මොකද ලංකාවේ හැම පළාතකම ඉන්න මුස්ලිම්, කතෝලික, හින්දු, බෞද්ධ සියලු ජනවර්ග වලට එක්වෙන්න පුළුවන් ස්ථානයක් තමයි මේ. ඒ කියන්නේ ජාතීන් අතරේ එකමුතුකම වර්ධනය කරගෙන සමාන මට්ටමක ඉඳලා පුදපූජා පැවැත්වීම මෙහි තියෙන විශේෂ ලක්ෂණයක්. ඒ වගේම ආගමික සහජීවනය සලසන මධ්‍යස්ථානයක් ලෙස කතරගම දේව අඩවිය හඳුන්වලා දෙන්න පුළුවන්.