සෙත් පිරිත්, වරු පිරිත්, තිස් පෑ පිරිත් සති පිරිත් ආදී වශයෙන් නොයෙක් ආකාරයට පිරිත සමාජ ගත වී තිබේ.

වෙහෙර විහාරවලද, ගිහි ගෙවල්වලද, ආයතන වෙළෙඳ ව්‍යාපාරවලද, සුදුසු කල්හි පිරිත් දේශන සිද්ධ කරවා ගැනීම පුරාතන සිරිතක් හැටියට තවමත් පැවත එයි.

පිරිතක අරමුණ කුමක්ද? ඒ ඒ පිරිත්වලින් අපට ලැබෙන සෙත ශාන්තිය කිමෙක්ද? පිරිතට සොබා දහම පවා වෙනස් කල හැකිද? පිරිත මනුෂ්‍යයන්ට සේම අමනුෂ්‍යයන් කෙරේ බලපාන්නේ කවරාකාරයටද? හරියට පිරිතක් කරගන්නේ කෙසේද? ආදී පරතෙරට යන කරුණු රාශියක් ඔස්සේ මෙය සාකච්ඡා කළ යුත්තකි.

පිරිත පාලියෙන් ‘පරිත්ත’ නම් ‘අන්තරායං පරිහරන්තං කායතීති පරිත්තං, පරිතෝවා සම්බුපද්දවතෝ කායතීති පරිත්තං මහා තේජවන්තාය සමන්තතෝ සත්තානං භය උපද්දවං උප සල් ගඟුව කායතී රක්ඛතී තිවා පරිත්තං’
‘අන්තරාය වළක්වන හෙයින්ද, සියලු අන්දමේ ආපදාවලින්, ව්‍යසනවලින් ආරක්ෂාව සලසන හෙයින්ද, එහි ඇත්තා වූ මහානුභාවය කරණකොට හාත්පසින් එන ව්‍යසන හා ආපදාවලින් සත්වයා ආරක්ෂා කරන හෙයින් පිරිත නම් වේ. පිරිතක් තුළින් පුද්ගලයාට අවශ්‍ය කායික, මානසික ශාන්තිය ආරක්ෂාව උදාකරනවා වගේම රෝගවලින් සුවපත් කිරීමේ පසුබිමද නිර්මාණය කරන්නේය.

පිරිත් දේශනය බුද්ධ කාලීන සමාජය දක්වා අතීතයට දිවෙන්නකි.

පිරි​ෙතහි ශාන්තිය ලබාගැනීමට බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයාට මඟ පෙන්වූ ආකාරයද, තමන් වහන්සේ පවා පිරි​ෙතහි ශක්තිය පෙන්වා දුන් ආකාරයද පැරණි පොත්පත්හි විස්තර කර පෙන්වා දේ.

වරක් සැවැත්නුවර ජේතවනාරාමය අවට ප්‍රදේශයට දරුණු දුර්භික්ෂ උවදුරක් ඇති විය. ජනතාව නියඟයෙන් පීඩා විඳින්නට වූහ. ජේතවනාරාම විහාරයේ පොකුණද සිඳී ගියේය. මිනිසුන් ජලය නොමැති කමින් සා පිපාසයෙන් සිටින බව බුදුරජාණන් වහන්සේට පෙනුනහ.

උන්වහන්සේ ජේතවනාරාමයේ සිඳිගිය පොකුණ ළඟට වැඩම කර බුදු ගුණ බලයේ. සත්‍යානුභාවය මෙනෙහි කරන්නට වූහ. එසේ මෙනෙහි කරමින් ‘මේ පොකුණේ ජලය පිරී යන තුරු වසින තෙක් මෙතැනින් නොයමියි’ අධිෂ්ඨාන කරන්නට වූහ.

අරුමයෙකි….. මොහොතකින්….. මහා වැසි ඇඳ හැලෙන්නට විය. නුවරෙහි පොකුණු පිරී ගොස් සශ්‍රික කල දවසක් උදාවිය.

එද‌ායින් පසු බුදුරජාණන් වහන්සේ නියඟය නිමා කිරීමට කළ මේ අධිෂ්ඨානය වැසි පිරිත ලෙස යොදා ගැනීමට මිනිස්සු ක්‍රියා කළහ.

විශාලා මහනුවර තුන් ආකාර බියක් බුද්ධ කාලයේ ඇති විය. මුලින්ම නියඟය නිසා ජලය නැති වී ගොස් දුර්භික්ෂ බිය පැතිර ගියේය. මිනිසුනට ජලය සහ ආහාර නොමැති කමින් පීඩා විඳින්නට සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනිව, මිනිස්සු රෝගී වීමට වූහ. එය රෝග බිය නම් ලෙඩරෝග වැලඳීම නිසා බොහෝ දෙනා මිය යන්නට වූ අතර නුවර පුරාම මළ සොහොන්ද, ඒ අය අමනුෂ්‍යයන් වශයෙන් ද ක්‍රියාකාරීවීම නිසා අමනුෂ්‍ය උපද්‍රව වලටද නතු විය.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා පැන් කළයක් රතන සූත්‍රයෙන් පිරිත් කොට නුවර පුරා ඉසින්නැයි වදාළ බව කියැවේ.

රතන සූත්‍ර දේශනය බුද්ධ, ධම්ම, සංඝ ගුණ බෙලෙන් ආරක්ෂාව වේවායි පතා සිද්ධ කරන්නකි. එයින්ම විශාලා නුවරෙහි තුන් බිය දුරුවී නුවර සශ්‍රිකවූ බව කියැවේ. මේ අනුව මනුෂ්‍යයන්ට පවතින රෝග කරදර, ස්වාභාවික විපත්, අමනුෂ්‍ය කරදර ආදී සියලු ආකාරයේ විපත්ති කරදරවලට පිරිත පුරාතනයේ සිට මැනැවින් උපයෝග කොට ගෙන ඇත.

අංගුලිමාල, මහාකාශ්‍යප, ගිරිමානන්ද, සීවලී ආදී සූත්‍ර අනුසාර කතාවල පිරිත මනුෂ්‍ය ජීවිතවලට පිහිට වූ ආකාරය මැනැවින් කියා පායි.

බුදුදහම ථෙරවාද හා මහායාන වශයෙන් ද වජ්‍රයාන වශයෙන්ද නොයෙක් සම්ප්‍රදායනට බෙදී ඇත. වජ්‍රයාන සම්ප්‍රදාය චීනය, ටිබෙටය වැනි රටවලදී දැකිය හැකිය.

ථෙරවාද රටවලටත් වඩා ඇතැම්විට ඒ රටවල ජනයා පිරිත උපයෝගි කොටගත් බව ඇතැම් ප්‍රවෘත්තිවලදී දැකිය හැකිය.

ලංකාවේ පොළොන්නරු යුගයේදී පිරුවානා පොත් වහන්සේ නමින් ග්‍රන්ථයක් සම්පාදනය විය. පිරු වහන, පිරු වාන වූ බව තාත්වික පුවතයි. එහි අර්ථය තමන්ගේ ජීවිතවලට සෙත ශාන්තිය උදෙසා සජ්ඣායනයට සුදුසු යන අර්ථය දේ.
ථෙරවාද වේවා, මහායාන වේවා මේ කවරාදීත් පිරිත් සජ්ඣායනයේදී සිදු කරනුයේ බුදු ගුණ සජ්ඣායනා කොට එයින් සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමයි.

පිරිත අවසානයේ, ‘ඒතේන සච්ච වච්ජේන සොත්ථිතේ හෝතු සබ්බද‌ා’ මේ සත්‍ය බලයෙන් ඔබට සැමද‌ා සෙත ශාන්තිය ලැබේවායි ද, ‘ඒතේන සච්චේන සුවත්ති හෝතු’ ‘මේ සත්‍ය බලයෙන් සුවපත් වේවා’ද ප්‍රකාශ කෙරෙති. එයින්ම පැහැදිලි වෙනුයේ පිරිතේ අභිමතාර්ථය සියලු දෙනාට සෑම අතින්ම සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම වන බවය.

පිරිතේ මූලාරම්භය දෙස බලද්දී එය විශේෂයෙන් අමනුෂ්‍ය උපද්‍රවවලට ද සහනය සලසන බව පෙනේ.

බුදු දහමේ හැටියට භව තල 31ක් පිළිබඳ කියැවේ. ඒ කාම ලෝකයට අයත් භව තල 11, රූප ලෝකයට භව තල 16 හා අරූප භව තල 4ක් වශයෙනි.

මේ භවතල 31න් මනුෂ්‍ය ඇසට දෘශ්‍යමාන වන්නේ මනුෂ්‍ය හා තිරිසන් තල දෙක පමණි. ඉතිරි භව තල 29 දෘශ්‍යමාන නොවේ.

නූතන අධ්‍යාපන රටාව මූලික වශයෙන් විද්‍යානුකූල දේම මත ගොඩ නැගෙමින් පවතින නිසා අඩුම ගාණේ විද්‍යාත්මක පර්යේෂණයකින් හෝ යමක් ඔප්පුවීම පිළිගැනීමට හේතු පාදක වේ. එහෙත් විද්‍යාත්මක පර්යේෂණ අනුව සසඳද්දී මනුෂ්‍ය ඇසට ග්‍රහණය නොවන නොපෙනෙන භවතල 29 පිළිබඳවත් නියම තොරතුරු අනාවරණ කර නැත.
එබැවින් නොපෙනෙන ලෝකයෙන් මනුෂ්‍යයාට සිදුවන කරදර කම්කටොලුවලට විද්‍යාත්මක බෙහෙතක්ද තවම නැත. ඒවාට ප්‍රතිකාරය බෙහෙත වන්නේ පිරිතයි. මේ නොපෙනෙන ලෝකවලින් එන නොයෙක් ලෙඩ රෝග, භූත බලපෑම්, යක්ෂ බලපෑම් නූතන වෛද්‍යවරුන්ට හඳුනා ගැනීම අපහසු වී ඇත.

හඳුනා නොගත් රෝග, හඳුනා ගත්තත් හේතුව අපහැදිලි රෝග, ප්‍රතිකාර කළත් සුවනොවන රෝග බොහෝදුරට අමනුෂ්‍ය බලපෑම් නිසා සිදුවිය හැකිය.

බල්ලන්ගේ ශරීරයේ මැක්කෝ බෝවී සිටිති. ගව ආදී සත්ව ශරීරයේ ද එවැනි කෘමි සත්තු බෝවී ලේ උරා බොති.
මනුෂ්‍යයන්ට, තිරිසන් ලෝකයේ සමහර සතුන්ගේ බලපෑම ඇති නොවෙන්නේද? තිරිසන් සතුන්ට මනුෂ්‍ය ලෝකයේ බලපෑම ඇති නොවෙන්නේද? ඇසට පෙනෙන භවතල දෙක අතර බැලුවත් තර්කය පැහැදිලිව ඇත.

සරල උද‌ාහරණයක්…. මනුෂ්‍ය ශරීරයට කූඩැල්ලකු එල්ලී ලේ උරා බී ඌ බිම වැටෙන තුරු සමහරුන්ට දැනීමක් නැත. ඩෙංගු මදුරුවාට නොදැනම මනුෂ්‍ය ජීවිතය ඩැහැගත හැකිය.

මෙබඳුම ලෙස අමනුෂ්‍යයන්ට ඊට වඩා විපතක් මනුෂ්‍යයන් කෙරේ කළ හැකිය.

යක්ෂ ප්‍රේතයන්ට ශරීරයේ අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන් තුළට ඇතුළු වී ඉන්ද්‍රියන්හි ලේ උරා බීමට තරම් සමත් කමක් ඇත. හෘද, පෙණහලු, වකුගඩු, ආමාශ දුර්වල කළ හැකිය.

අසවල් ඉන්ද්‍රිය දුර්වලයි, ලේ අඩුවේය යැයි නූතන වෛද්‍යවරුන් ප්‍රකාශ කළත් ඇතැම් විට ඒ තීරණ ඔස්සේ ගිය විට හේතු පාදකය අමනුෂ්‍ය ග්‍රහණයකි.

සදාකාලිකව බාහිරින් ලේ දුන්නත් ශරීරයට ඇතිවීමක් නැත.

යක්ෂයන්, ප්‍රේතයන් ශරීරයේ අභ්‍යන්තරයට අරක් ගන්නවා පමණක් නොව රාත්‍රි නින්දට ගිය විට බිය වැද්දවීම් කළ හැකිය. එබැවින් කායිකව, මානසිකව පුද්ගලයා කෙරේ බලපාන අමනුෂ්‍ය බලපෑමට පිරිත මනා ඔසුවක් බව බුදුරජාණන් වහන්සේ අවස්ථා ගණනකදී පෙන්වා වඳ‌ාළහ. මේ පිළිබඳ ඉදිරි ලිපිවල කරුණු සාකච්ඡා කෙරේ.

නමුත් කවරක් වේවා එහි නියම පලප්‍රයෝජනය ලැබීමට නම් අනිවාර්්‍යයෙන් ඒ කෙරේ මනා විශ්වාසයක් පැවැතිය යුතුය. ඔබට සැමියා, බිරිඳ, දරුවන්, අසල්වාසීන් විශ්වාස නැත්නම් ඔබේ බැඳීම් කෙසේ කතා කළත් දුර්වලයි නේද?
පිරිතද එසේමය. විශ්වාසයෙන් තොරව බුද්ධ, ධම්ම, සංඝ කෙරේ ශ්‍රද්ධාවක් නැතිව කළොත් ප්‍රතිඵලය දුර්වලය. ආශාවක් නැතිව කරන දේහි පලය පුස්සක් වේ. එබැවින් පිරිතක් කළ යුත්තේම එහි නියමාර්ථය දැනගෙන පල ප්‍රයෝජන හිමිවන පරිදිමය.

උපුටා ගැනීම-http://www.lankadeepa.lk