මහනුවර නාථ දේවාලයේ වැල් බෝධිය ගැන කිසිදා නොඇසු සත්‍ය මෙන්න

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි ශ්‍රී නාථ දේවාලය මහනුවර නගරයේ ඇති පැරැණිම ගොඩනැඟිල්ලයි. මහාචාර්ය පරණවිතාන හා ආචාර්ය නන්දසේන මුදියන්සේ කියන පරිදි නාථ දේවාල ගෙඩිගේ 14 වැනි සියවස හෙවත් ගම්පොළ අග කාලයට වැටෙයි. නාථ දේවාලය ගෙඩිගෙයකි.

අප දන්නා පැරැණිම ගෙඩිගෙය නාලන්දයි. එය පල්ලව සම්ප්‍රදාය අනුව 8 වැනි සියවසේ ඉදි වූවකි. ගල් හා ගඩොල් යොදාගෙන බොකුටු වහලක් සහිතව ඉදිකර ඇති ගොඩනැඟිලි ගෙඩිගේ නම් වෙයි. නාථ දේවාල ගෙඩිගෙය බිත්ති දැඩි කළුගල් කුට්ටිවලින් සාදා ඇත. එය දකුණු ඉන්දියාවේ 14-15 සියවස්වල පැතිර තිබූ විජයනගර් සම්ප්‍රදාය රැගත් ගොඩනැඟිල්ලකි. ජයවීර මහා වැඩවුන් තැන නමැති රජකුගේ ශිලා ලිපි දෙකක් එහි බිත්තිවල ගල් අතරට පසු කල අල්ලා ඇත. ඒ ක්‍රි.ව. 1543 කාලයට වැටෙයි.

මේ ගෙඩිගේ නාථ දේවාලයට පෙර එම නාථ දේවාල බිමේම අනුරාධපුර අග කල පටන් ගම්පොළ කාලය දක්වා කුඩා නාථ දේවාලයක් තිබී ඇත. එය අවුරුදු හාරසීයක් පමණ ගෙඩිගේ නාථ දේවාලයට වඩා පැරැණිය. “සුළු රාජාවලිය” ග්‍රන්ථය අනුව මෙම අලුත් ගෙඩිගේ නාථ දේවාලය ඉදිකර ඇත්තේ ක්‍රි.ව. 1361 ගම්පොළ රජ කළ තැන්වැනි වික්‍රමබාහුය. තුන්වැනි වික්‍රමබාහු රජු නාථ දේවාල ගෙඩිගේ අලුතින් ඉදිකළ පසු අවුරුදු තුන්සිය පනහක් පමණ කුඩා ගොඩනැඟිල්ලක පුද පූජා ලැබූ නාථ දෙවි රුව අලුත් නාථ දේවාල ගෙඩිගෙයට 1361 වැඩමවා ඇත.

අලුත් දේවාලයට වැඩමවූයේ ඒ වනතුරු පැරැණි කුඩා නාථ දේවාලයේ පුද ලැබූ නාථ දේව රූපයයි. “අවලෝකිතේශ්වර නාථ’ ග්‍රන්ථය ලිවූ හෝල්ට් කියන පරිදි නාථ දේවාල ගෙඩිගේ පුද ලබන නාථ දේව රූපය එම ගෙඩිගේ නාථ දේවාලයට වඩා පැරැණි දේව පිළිමයකි.

පැරැණි කුඩා නාථ දේවාල ගොඩනැඟිල්ල අලුත් ගෙඩිගේ නාථ දේවාල ගොඩනැඟිල්ල පසෙක ගම්භාර හෙවත් හූනියම් දේවාලය ලෙස භාවිත වෙයි. මේ අනුව නාථ දෙවිරුව ගෙඩිගේ ගොඩනැඟිල්ලට වැඩම වූ පසුව හිස්වූ මුල් කුඩා නාථ දේවාලය ගම්භාර හෙවත් සූනියම් දෙවියන්ට දේවාලයක් ලෙස පැවැරී ඇත.

අද නාථ දේවාල බිමේ ඇති ඉපැරැණිම සිහිවටනය එහි වැල් බෝධියයි. මහ මළුව කෙළවරක මෙම වැල් බෝධිය පිහිටා ඇත. එයට වැල් බෝධිය යන නම භාවිත වූයේ ගසක් වුවත් අතු හරස් අතට විහිදී වැලක මෙන් බෝපත්‍ර පහළට එල්ලා වැටෙන බැවිනි. (මහනුවර වඩාත් ප්‍රකට වැල් බෝධිය පත්තිනි දේවාලය අසල උස් මළුවක පිහිටා ඇත.

එහි අයිතිය අස්ගිරි මහානායක හිමියන් යටතේ ඇත) නාථ දේවාල වැල්බෝධිය යටදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල ඇහැලේපොළ කුමාරිහාමි ඉදිරිපිට ඇගේ දරුවන්ගේ ගෙල කපා බෙලි මව ලවා වංගෙඩියේ ලා කෙටවූ බව සඳහන් වෙයි. මෙම නාථ දේවාල වැල් බෝධිය නාථ දේවාල බිමේ ඇති පැරැණිම සිහිවටනය බව චූල බෝධි වංසයේ එන රසවත් කතාවකින් කියැවෙයි. නාථ දේවාල වැල් බෝධිය ගැන චූල බෝධි වංසය කියන එම රසවත් කතා පුවත කෙටියෙන් පහත දැක්වෙයි. (එහෙත් පාලි බෝධි වංසයේ මේ පුවත දක්නට නැත)

ඒ දෙවැනිපෑතිස් රජු අනුරාධපුර රජ කරන අවධියයි. (ක්‍රි.පූ. 250-210) අනුරාධපුරයට වැඩම වූ බුදුහිමි පිටදුන් ජයශ්‍රී මහා බෝධියෙන් හාස්කම් ඇති අංකුර 40ක් මතු විය. මෙකල නාථ නමින් බමුණෙක් වාසය කළේය. ජයශ්‍රී මහා බෝධියේ එක් අංකුරයක් පාත්‍රයක සිටුවා ඔහු තැනින් තැන වන්දනාවේ යමින් ඒ යන එන විට බෝ අංකුරයද රැගෙන යෑම සිරිතක් විය.

කැලෑ හා අඩිපාරවල් මැදින් නාථ බමුණා එදා ගණ කැලෑවක් වූ කටුබුළුගම පිහිටි ප්‍රදේශයට පැමිණ හවස නතර වී බෝ අංකුරය සහිත පත්‍රය සුදුසු තැනක තබා රෑට උයා පිහා කා පසුදා උදෑසන පිබිද නැවත ගමනට සූදානම් විය. ඒ වන විට මේ මුළු අඩවියම ගන කැලෑව විය. කටුබුළුගම නමින් කුඩා ගම්මානයක් ඒ ඉහළින් තිබිණි.

පාත්‍රය ගැනීමට බමුණා ගිය විට බෝ අංකුරය බිමට මුල් ඇදී ගැලවිය නොහැකි පරිදි මුල් දිගට විහිදී තිබිණි. බෝ අංකුරය පිහිටිය යුතු ස්ථානය මේ බව සිතූ නාථ බමුණා බෝ අංකුරය සහිත පත්‍රය එම ස්ථානයේම තබා ගල් වටකොට ගිය බව චූල බෝධිවංසය කියයි. ජනප්‍රවාද අනුව නාථ දේවාලයට නාථ යන නම ලැබුණේ මෙම බමුණා නිසාය.

එම නාථ බමුණා ගෙන ආ බෝ අංකුරය අදත් එහි වැල් බෝධිය නමින් ඇත. මේ කරුණ නිවැරැදි නම් මෙම වැල් බෝධිය අවුරුදු 2,300කට පමණ පැරැණි වේ. (නාථ දේවාලයට නම ලැබුණේ අවලෝකිතේශ්වර නාථ හෙවත් මහායාන දෙවියකු වූ නාථ දෙවිඳුගේ නමිනි. අද ලංකාවේ අති ප්‍රධානතම නාථ දේවාලය මහනුවරයි)

එස්.කේ. ජයවර්ධන
සොමිකැලුම්-නාපාන-ගුන්නෑපාන