මාලිගාතැන්න යන නම සහිත ස්ථාන අපේ රටේ බොහෝ ප්‍රදේශ වලින් හමුවනවා. ඒ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මාලිගාතැන්න ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්.

මාලිගාතැන්න යනුවෙන් පැවසීමේ දී මාලිගාවක් ඇති බව හැඟුණත් එනමින් බොහෝ විට විස්තර වන්නේ එවන් ස්ථාන වල පැරණි රජ කෙනෙකුගේ තාවකාලික වාසස්ථානයක් තිබූ බවයි. පැරණි රජ වරුන් සහපිරිවරින් දුර ගමන් යන අවස්ථාවලදී විවේක ගන්නා ස්ථාන වල ඉදිකරනු ලබන තාවකාලික නිවහන් හැඳින්වූයේ ‘ගමන් මාලිගාව’ යනුවෙන්.

නමුත් මේ මාලිගාතැන්නේ පිහිටීම අනුව අතීතයේ රජදරුවන් කිහිප දෙනෙකුම ස්ථිරව හෝ තාවකාලිකව මෙහි වාසය කළ බව ඕනෑම කෙනෙකුට ඒත්තු යනවා. ඒ අතරින් වළගම්බා රජු මෙහි වාසය කළ බව සාධාරණ ලෙස ඒත්තු යනුයේ ඒ අවට ඇති පිළිකුත්තුව සහ වාරණ යන ලෙන් විහාර ආශ්‍රිතව බ්‍රාක්මීය අකුරින් ලියැවුණු ලෙන් ලිපි හමුවන නිසයි.

මේ මාලිගාතැන්න සම්බන්ධ තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙහි දළඳා වහන්සේ තාවකාලිකව වඩා හිඳවූ බවට පත්නා විශ්වාසය නිසයි. කෝට්ටේ යුගයේ සිටි හිරිපිටියේ රාළ නම් ඒකනායක පරපුරේ දියවඩන නිලමේවරයෙකුට ‘කොට්ටේ කලාලේ දත මැදගන් රාළේ’ යනුවෙන් සිහිනයෙන් ලැබුණු පණිවුඩයක් මත පෘතුගීසීන්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම පිණිස සීතාවක රජ කළ මායාදුන්නේ රජුට බාර දුන් බව ප්‍රකට කරුණක්.

කෝට්ටේ රාජධානියෙන් දළඳාව සීතාවක රාජ්‍යයට අයත් කුරුවිට දෙල්ගමුව රජමහාවිහාරයට වැඩම වන තුරු මෙම මාලිගාතැන්නේ වඩාහිඳවූ බවත් එහිදී නිරතුවම දළඳා වහන්සේට පිඳුම් දුන් බවත් ඉන් පසුවද දළඳා වහන්සේ වඩාහිඳුවා තිබූ එම පර්වත මස්ථකයට පුෂ්පෝපහාර පැවැත්වූ බවත් ජනශ්‍රැතියෙහි සඳහන් වෙනවා.

එසේ පුෂ්පෝපහාර පැවැත්වීම සඳහා මල් වැවූ ප්‍රදේශය හිරිපිටියේ රාළගේ නම ද එක්කොට ‘මල්වතු හිරිපිටිය’ යනුවෙන් නම් කළ බවත් එම ප්‍රදේශය අද ද එනමින්ම හැඳින්වෙන බවත් ප්‍රකට කරුණක්.කොළඹ නුවර ‍ප්‍රධාන මාර්ගයේ ගම්පහ, මිරිස්වත්ත හන්දියෙන් වමට හැරී කිලෝ මීටර් පහක් පමණ ගිය විට ගම්පහ දිසාවේ සුවිසල්ම වන ගහනයක් සහිත පිළිකුත්තුව රජ මහ විහාරය හමුවෙනවා.

පැරණි බ්‍රාහ්මීය සෙල්ලිපි සහිත මෙම පුදබිමේ සිට තවත් මීටර් 500 ක් පමණ ගිය විට මෙම මාලිගාතැන්නට පිවිසිය හැකියි. සුවිසල් ගල් පර්වතයක පිහිටා ඇති මෙම මාලිගා තැන්නෙහි පහළ කොටස දැන් 1924 වසරේ සිට ආරන්‍ය සේනාසනයක් ලෙස ප්‍රකට වී තිබෙනවා.

එම සේනාසනය පසුකොට දුර්ග මාර්ගයක් ඔස්සේ කඳු මුදුනට පිවිසෙන ඔබට ඉතා රමණීය වටපිටාවක් දැක ගන්නට පුළුවන්. මෙම දුර්ග මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී සුවිශේෂ පිහිටීමක් වන ගල් දෙබොක්කාවක් මැද්දෙන්ද ඔබට ගමන් කිරීමට සිදුවෙනවා.

අතීතයේ එක්තරා අවස්ථාවක මෙම ගල් දෙබොක්කාව මැදින් ගමන් කළ ඇතෙකු එහි සිරවී මිය ගිය පුවතක් එම ප්‍රදේශයේ පැරැන්නන් අතර අදත් ප්‍රචලිතව පවතිනවා.පියසේන නිශ්ශංක ශූරීන් ලියූ පසුව සිනමාවට ද නැගූ ‘වදුල’ නවකතාවට පසුබිම් වී ඇත්තේ මෙම මාලිගාතැන්න කඳු ආශ්‍රිත ගැමි පරිසරයයි.

පහතට රට තෙත් කලාපයට ආවේණික ස්වභාවික වෘක්ෂලතාදියෙන් බහුල මෙම මා හැඟි පරිසර පද්ධතිය වන සංහාරකයන්ගේ හා පුරාවස්තු සංහාරකයන්ගේ ගොදුරු බිමක් බවට පත්වීම කණගාටුවට කරුණක්.

ඒ කෙසේ හෝ කෑමට යමක් සහ බීමට ජලය රැගෙන පැය කිහිපයක විවේකය අත්විඳීමට කැමති ඔබට මේ මාලිගාතැන්න කදිම එක් දින චාරිකා ගමනාන්තයක් වනවාට සැක නැහැ. නමුත් මෙහිදී පොලිතින් ප්ලාස්ටික් ආදී පරිසරයට අහිතකර ද්‍රව්‍ය කිසිවක් මෙහි නොහෙලා යාම ඔබ සතු යුතුකමක් සහ වගකීමක් බවද කිවයුතුමයි.

සහන් සංකල්ප සිල්වා

උපුටා ගැනීම-http://www.lakbima.lk