ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනා ගැන ඔබත් දැනගන්න

“ආනන්ද ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙක් වෙති. ඒ පුද්ගලයෝ සතරදෙනා කවරහුද? තථාගත අර්හත් සම්මා සම්බුදුහු ස්තූපයකින් පිදුම් ලැබීමට සුදුසු වෙති. පච්චේක බුදුවරයෙක් ද, තථාගතයන්ගේ ශ්‍රාවකයෙක් ද, සක්විති රජ කෙනෙක් ද ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෝ වෙති.”

මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් කරුණුවලට අනුව ආනන්ද හාමුදුරුවන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමඟ කරන ලද සාකච්ඡා සියල්ල ම පාහේ ආනන්ද හාමුදුරුවන් විසින් නගන ලද ප්‍රශ්න ආශි‍්‍රතව බව ඉතා පැහැදිලි කරුණකි. ඒ අවස්ථා සහ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ වදාළ දහම් කරුණු ගැන අදත් අපි විමසා බලමු.

පිරිනිවන් පෑමෙන් පසු තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු අන්දම ගැන ආනන්ද හිමියන් විමසුවේ ය.

‘ආනන්දය , යම්සේ සක්විති රජකෙනෙකුගේ ශරීරය කෙරෙහි පිළිපදින්නේ ද, ඒ අයුරින් ම තථාගතයාණන්ගේ ශරීරය කෙරෙහි ද පිළිපැදිය යුතු ය.”

“හිමියනි, සක්විති රජකෙනකුගේ ශරීරය කෙරෙහි කෙසේ නම් පිළිපැදිය යුතු ද?

“ආනන්ද, සක්විති රජකෙනකුගේ ශරීරය අලුත් සළුවකින් වෙළති. එසේ වෙළා ඉන් අනතුරුව මනාව වේළන ලද කපු පුළුන් වලින් වෙළති. තවත් අලුත් සළුවකින් වෙළති. මේ ආකාරයෙන් යුගල පන්සියයකින් වෙළා යකඩ තෙල් දෙනක බහා තවත් යකඩ දෙනකින් වසා සුවඳ දරවලින් සෑයක් සාදා සක්විති රජකෙනකුගේ ශරීරය දවාලති.

සතර මං සන්ධියක සක්විති රජුට ස්තුපයක් සාදති. මෙසේ සක්විති රජකෙනකුගේ ශරීරය කෙරෙහි පිළිපදිති. තථාගතයාණන්ගේ ශරීරය කෙරෙහි ද, එසේ ම පිළිපැදිය යුතු ය. සතර මං සන්ධියක ස්තූපයක් ඉදිකළ යුතු ය. යමෙක් එහි මල් හෝ සුවඳ හෝ සුවඳ කුඩු බහා පුදත් නම් හෝ වඳිත් නම් හෝ සිත පහදවා ගනිත් නම් හෝ එය ඔවුන්ගේ දිගුකල් හිත සුව පිණිස වන්නේ ය.

තවදුරටත් ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ආනන්ද ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙක් වෙති. ඒ පුද්ගලයෝ සතරදෙනා කවරහුද? තථාගත අර්හත් සම්මා සම්බුදුහු ස්තූපයකින් පිදුම් ලැබීමට සුදුසු වෙති. පච්චේක බුදුවරයෙක් ද, තථාගතයන්ගේ ශ්‍රාවකයෙක් ද, සක්විති රජ කෙනෙක් ද ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෝ වෙති.

“ආනන්ද කවර හේතුවක් නිසා තථාගත අර්හත් සම්මා සම්බුදුහු ස්තූපයකින් පිදුම් ලැබීමට සුදුසු වෙත් ද? මේ ඒ භාග්‍යවත් අර්හත් සම්බුදුහුගේ ස්තූපය යි. බොහෝදෙනා සිත් පහදවා ගෙන කය බිඳී මරණින් මතු සුගතියෙහි උපදින්නෝ ය. මේ හේතුවෙන් තථාගත අර්හත් සම්මා සම්බුදුහු ස්තූපයකින් පිදුම් ලැබීමට සුදුසු වෙති.

“ආනන්ද කවර හේතුවක් නිසා පච්චේක සම්බුදුවරයෙක් ස්තූපයකින් පිදුම් ලැබීමට සුදුසු වෙයි ද? මේ ඒ භාග්‍යවත් පච්චේක බුදුරදුන්ගේ ස්තූපයයි. බොහෝ දෙනා සිත් පහදවාගෙන කය බිඳී , මරණින් මතු සුගතියෙහි උපදින්නෝ ය. මේ හේතුවෙන් පච්චේක සම්බුදුවරයෙක් ස්තූපයකින් පිදුම් ලැබීමට සුදුසු වෙයි.”

“ආනන්ද, කවර හේතුවක් නිසා තථාගතයාණන්ගේ ශ්‍රාවකයෙකු ස්තූපයකින් පිදුම් ලැබීමට සුදුසුවෙයි ද? ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුවරයාණන්ගේ ශ්‍රාවකයෙකුගේ ස්තූපය යි. බොහෝ දෙනා සිත පහදවා ගෙන කය බිඳි මරණින් මතු සුගතියෙහි උපදින්නෝ ය. මේ හේතුවෙන් තථාගතයාණන්ගේ ශ්‍රාවකයෙක් ස්තූපයකින් පිදුම් ලැබීමට සුදුසු වෙයි.”

“ආනන්ද කවර හේතුවක් නිසා සක්විති රජකෙනෙක් ස්තූපයකින් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙයි ද? මේ ධාර්මික, ධර්මානුකූලව රාජ්‍යය කළ සක්විති රජකෙනකුගේ ස්තූපයැයි බොහෝ දෙනා සිත පහදවා ගෙන කය බිඳී මරණින් මතු සුගතියෙහි, උපදින්නෝ ය. මේ හේතුවෙන් සක්විති රජ කෙනෙක් ස්තූපයෙන් පිදුම් ලැබීමට සුදුසුවෙයි.”

(මහා පරිනිර්වාණ සූත්‍රය – සිංහල පරිවර්තනය සනත් නානායක්කාර – පි. 80-81)1999 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

මෙසේ ඉහත සඳහන් කරුණු බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන් වහන්සේට වදාළ නිසා භාග්‍යවතුන් වහන්සේ එදින ම පිරිනිවන් පානා සේකැයි වැටහුණේ ය. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන තොරතුරු අනුව බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවන තුරුත් අනඳ තෙරුන්ට රහත් බව ලබා ගැනීමට නොහැකි විය. එම නො රහත් බව පමණක් නොව භාග්‍යවතුන් වහන්සේට තිබුණූ ඥාතිත්වය ද බුදුරජාණන් වහන්සේ ඉතා සමීපව ඇසුරු කිරීමත්, භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම හඟවන සෑම මොහොතක දී ම ආනන්ද තෙරුන් වහන්සේගේ සිත තුළ ඉමහත් දුකක් හා වියෝගයක් ඇති වුයේ ය. (බුදුන් වදාළ බුද්ධ චරිතය –අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි සහ කීර්ති නාරම්පනාව පි. 228-(1999)

එසඳ ආනන්ද හාමුදුරුවෝ විහාරයට පිවිස අඟුළු කණුවෙහි එල්ලී අනේ මා තවමත් රහත් බව ලබා නැත. ඒ සඳහා මා විසින් කළ යුතු බොහෝ දේ ඇත. මට අනුකම්පාව දක්වන, අනුග්‍රහය දක්වන භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමද සිදුවන්නේයැයි කියා හඬමින් සිටි බව දැක්වෙන සූත්‍ර පාඨයෙන් පැහැදිලි වේ.

අහෝ මම තවම රහත්වීමට කළ යුතු දැ අවසන් නොකෙළෙමි.” මට දයාවෙන් අවවාද අනුශාසනා කරන භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අනේ හෙට සිට මුහුණ සේදීමට කාට වතුර දෙන්නෙම් ද? කාගේ පාද සෝදන්නෙම් ද? කාගේ පාත්‍ර සිවුරු ගෙන දෙන්නෙම්දැයි විලාප කියමින් අනඳ හිමි හඬන්නට වූහ.

(ශාක්‍ය මූනීන්ද්‍රවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය –අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානා හිමි. පි. 289 සමයවර්ධන ප්‍රකාශකයෝ – 2000)

උපුටා ගැනීම-http://www.budusarana.lk