යාපනය බෞද්ධ උරුමයට සාධක සපයන කන්දරෝඩය කතාව

ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධ උරුමය පිළිබඳ තොරතුරු සෙවීමේ දී ඉතා වැදගත් ස්‌ථානයක්‌ ලෙස කන්දරෝඩය පුරාවිද්‍යා ස්‌ථානය හඳුනාගත හැකිය. දෙමළ භාෂාවෙන් කන්දරෝඩෛ වශයෙන් ද, සිංහල ඌරුවට කඳුරුගොඩ වශයෙන් ද මෙම ස්‌ථානය හැඳින්වේ.

මෙම ස්‌ථානය පිළිබඳව ඓතිහාසික මූලාශ්‍ර සපයා ගැනීම දුෂ්කර වේ. මහාවංශය හෝ දීපවංශයේ ද වෙනත් මූලාශ්‍රයක ද මේ නමින් පැරණි විහාරයක්‌ හෝ ස්‌ථානයක්‌ සඳහන් වන්නේ නැත. තත්ත්වය එසේ වන හෙයින් මෙනමින් පැරණි විහාරයක්‌ උතුරු පළාතේ එකල නොපැවතියේය යන මතයට එළඹිය නොහැක. මතුපිට සිටම පැරණි ඉදිකිරීම් සාධක දක්‌නට ලැබෙන හෙයින් මෙහි ප්‍රාරම්භක අවස්‌ථා හා සිදුවීම් ගවේෂණය කල යුතුය.

මහාවංශයට අනුව ක්‍රි. පූ. දෙවන සියවසේ දී දුටුගැමුණු මහ රජතුමා පිළිබඳ ප්‍රවෘත්තියේ එක්‌ තැනෙක පුලිඟු දිවයින යන ස්‌ථානය ගැන කියවෙයි. එය මෙසේය.

මහසෑය තනමින් සිටි දුටුගැමුණු රජතුමා හදිසි රෝගයකින් මරණාසන්නව මහසෑය ද ලෝහ ප්‍රසාදය ද අතර තැනෙක පනවන ලද මරණ මංචකයෙහි සැතපී (ගෝඨාභය) අභය මහ රහතුන් වහන්සේ විසින් සිහිපත් කරන එතුමා විසින් කරනලද පිංකම් වලට ඇහුම්කන් දෙයි. රජතුමා යුද්ධයෙන් පීඩිතව දුප්පත්ව සිටි කාලයේ ඇඹුලක්‌ සහිත තණ බතක්‌ ආහාරය පිණිස පිළියෙල වෙයි.කිසි දිනෙක දන් නොදී නොවැළ» රජු එම තණ බත දන් දීම සඳහා භික්‌ෂූහු ප්‍රාර්ථනා කරයි. ඒ පිළිගැනීම සඳහා භික්‌ෂූහු පස්‌ නමක්‌ වැඩමවති. ඒ අතරින් එක්‌ භික්‌ෂූන් වහන්සේ නමක්‌ වන්නේ තලගුරු වෙහෙරවාසී ධම්මදින්න භික්‌ෂුවය. උන්වහන්සේට දුන් දානය පුලිඟු දිවයිනෙන් වැඩි දස දහසක්‌ භික්‌ෂූන්ට බෙදා දී වැළ» සේක. (මහාවංශය 32 වන පරිච්ඡේදය, 48-56 ගාථා)

මේ අතරින් මහාවංශයේ 32 වන පරිච්ඡේදයේ 51-52 ගාථා අතර පුලිsඟු දිවයින ගැන කියවේ.

මෙම පුලිඟු දිවයින කුමක්‌ද යන්න සොයා බැලිය යුතුය. දිවයිනේ ගොඩබිමෙන් ඔබ්බෙහි සාගරය තුළ පිහිටා ඇති දූපත් නාමාවලි පිරික්‌සීමේ දී ඉහත නාමයට කිසියම් සමානත්වයක්‌ දක්‌වන නාමයක්‌ සොයාගත හැක්‌කේ උතුරු අර්ධද්වීපයට ආසන්නව පිහිටා ඇති දූපත් අතුරිනි. පුංකුඩුතිව් නමින් වර්තමානයේ හඳුන්වන දූපත මෙම නාමයට සමානකමක්‌ දක්‌වයි. එම දූපත යාපනයේ සිට නාගදීපය දෙසට ගමන් කරන මාර්ගයේ දී හමුවෙයි. පුංකුඩුතිව් යන්න සිංහල භාෂාවෙන් පුලිඟු දූපත ලෙස හෝ පුලිඟු දිවයින ලෙස ගත හැකිය.

ඉහත පුංකුඩුතිව් දූපත පුලිඟු දිවයින නමින් එකල හඳුන්වනු ලැබුයේ නම් එම කුඩා දූපතේ දස දහසක්‌ රහතුන් වහන්සේලා වැඩ සිට ඇත් ද යන්න ඊළඟට සොයා බැලිය යුතුය. වර්තමානය වන විට මෙම කුඩා දූපත පුරාවට මතුපිටින් එබඳු සාධකයක්‌ සොයාගත නොහැක. නමුත් තිබී විනාශ වූවා ද යන්න පැහැදිලි නැත. එසේම මෙම දුපතේ වර්තමාන ගොඩබිම් තීරුව හා භූමි ප්‍රමාණය සැලකීමේ දී ද දස දහසකට ප්‍රමාණවත් ජනාවාස සඳහා ඉඩකඩක්‌ දැකිය නොහැක. එසේම භික්‌ෂූන් දස දහසක්‌ දෙනා වහන්සේ සඳහා ප්‍රත්‍ය පහසුව සැපයීම හා අනෙකුත් කටයුතු සඳහා ගිහි ජනතාව ද මෙහි වාසය කළ යුතුය.

නමුත් ඉහත සිදුවීමට පසු කාලීනව මහාවංශය ඇතුළු කිසිදු වංශ කථාවක හෝ වෙනත් මූලාශ්‍රයක පුලිඟු දිවයින යන්න සඳහන් නොවීම හේතුවෙන් මෙහි ගැටලුකාරී තත්ත්වය තවදුරටත් පවතී.

ඉහත සිදුවීමෙන් බොහෝ කලකට පසුව අපට නැවත වරක්‌ ලංකාවේ උතුරු අර්ධද්වීපය පිළිබඳ සටහනක්‌ හමුවෙයි. ඒ වල්ලිපුරම් රන් සන්නසයි. එය අයත් වන්නේ වසභ රජුගේ කාලයටයි. (ක්‍රි.ව. 66-110) එකල එහි සඳහන්ව ඇත්තේ නකදිව යන වචනයයි. නකදිවෙහි පියගුතනිස විහාරය ඉදිකිරීම පිළිබඳ එහි එයි. නකදිව යන්න වර්තමානයේ දෙමල භාෂාවෙන් නයනතිව් හෝ නයිනතිව් ලෙස ද සිංහල භාෂාවෙන් නාගදීපය වශයෙන් ද ව්‍යවහාර වෙයි. එසේම එම සන්නසේ සටහන්ව ඇති ‘නකදිව බොජමෙනෙ’ යන පාඨය ඉතා විශේෂ වෙයි. ඉන් නාගදීපය පාලනය කරද්දී යන අදහස ගම්‍යමානය. වර්තමාන නාගදීපය මින් අදහස්‌ කළා විය නොහැක. එය ඉතා කුඩා දූපතකි.

ඓතිහාසික මූලාශ්‍රයන් හි එන මෙම නම් දෙකම ගෙන සලකන කල්හි පැහැදිලි කරගත හැකි වන්නේ අදාල යුගයන් හි මෙම නම්වලින් හඳුන්වා ඇත්තේ වර්තමාන උතුරු අර්ධද්වීපයේ යාපනය විය යුතු බවයි. එය තහවුරු කර ගැනීම සඳහා යාපනය යන ව්‍යවහාරයෙහි ඉතිහාසය විමසා බැලීම ද ප්‍රයෝජනවත් වෙයි.

ජයතුංග පරරාජසිංහ නමින් හැඳින්වෙන පාලකයාගේ කාලයේ ලංකාවට පැමිණෙන කවියෙකි. ඔහුගේ නම වීරණාසවන් ය. ඔහු පැමිණෙන්නේ චෝල දේශයේ සිටය. ඔහු සෙංකඩගල පාලනය කළ රජු වෙත කාව්‍යමය ප්‍රශස්‌තියක්‌ ප්‍රබන්ධ කර ගායනා කරයි. ඔහු අත වීණාවකි. ඉතා දක්‌ෂ ලෙස ද මිහිරියාවෙන් ද පරිපුර්ණව ගායනා කළ ප්‍රශස්‌තියෙන් පිනා ගිය රජු ඔහුට ත්‍යාගයක්‌ වශයෙන් ලංකාවේ යාපනය ප්‍රදේශය පවරා දෙනු ලැබෙයි. රජු එම දේශය වීණාධාරී කවියා යන අරුතින් යුතු යාල්පානම් නමින් හඳුන්වයි. යාල් යනු වීණාවයි. පානම් යනු කවියයි. මෙම වචන දෙක එකට බැඳී එතැන් පටන් මෙම ප්‍රදේශය යාල්පානම් බවට පත් වෙයි. ඒ වන විට මෙම ප්‍රදේශය මාණ්‌නත්තිඩල් නමින් හඳුන්වා ඇත. එහි අරුත වැලි ගොඩ යන්නයි.

ඉහත තොරතුරු අනුව මෙම ප්‍රදේශය වරින් වර විවිධ නම්වලින් හඳුන්වා ඇති බව පැහැදිලිය. ඈත ඉතිහාසයේ පුලිඟු දිවයින, අනතුරුව නකදිව, ඉන්පසුව මාණ්‌නත්තිඩල්, යාල්පානම් හෙවත් යාපනය ආදී නම් ඒ අතරින් මතු වී පෙනෙයි.

ඉහත තර්කයට අනුව මහාවංශයේ සඳහන් පුලිඟු දිවයින වත්මනේ හඳුන්වන යාපනය වන කල්හි කන්දරෝඩය ක්‍රි. පූ. දෙවන සියවස දක්‌වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියයි. මහාවංශයේ සඳහන් තොරතුරු කිසියම් ප්‍රමාණයකට අතිශයෝක්‌තියෙන් යුක්‌ත විය හැකිය. නමුත් එය මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර බැහැර කළ හැකි තත්ත්වයක්‌ නොවේ. කිසියම් ප්‍රමාණයකට ඉන් ලැබෙන පිටුබලය ප්‍රයෝaජනයට ගනිමින් මෙහි ඇති ස්‌මාරක හා ඒවායේ ස්‌වභාවය සැලකිල්ලට ගත් කල එකල පුලිඟු දිවයිනේ ප්‍රධාන විහාරස්‌ථානයක්‌ ලෙස කන්දරෝඩෛ ස්‌ථානය පැවති බව විශ්වාස කළ හැකිය. එය මහාවංශයෙහි සඳහන් දුටුගැමුණු රජ දවසට අයත් තලගුරු වෙහෙර හෝ වසභ රජු දවස ඉදිකෙරුණු පියගුකතිස වෙහෙර (විහාරය) විය හැකිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරු පළාතේ සිදුකොට ඇති කැණීම් අනුව මහින්දාගමනයට පෙර සිටම මෙම ප්‍රදේශයේ බෞද්ධ භික්‌ෂූන් වහන්සේ වැඩ සිටි බව පැහැදිලිය. මාන්තායි හා කන්දරෝඩෛ පුරාවිද්‍යා ස්‌ථාන වලින් ලැබෙන සාධක අනුව ක්‍රි. පූ. පස්‌වන සියවසට අයත් පාත්‍රා කැබලි හඳුනාගෙන තිබේ. ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මතය අනුව ඒවා භික්‌ෂූන් විසින් පරිහරණය කරන ලද පාත්‍රා කැබලි වෙයි. ඒ අනුව බුද්ධ කාලයේ සිටම මෙම ප්‍රදේශයේ භික්‌ෂූන් වහන්සේලා වැඩ සිට ඇත.

ජනප්‍රවාදයට අනුව මෙම ස්‌මාරක ස්‌ථානය බුදුන් වහන්සේ විසින් ද පරිහරණය කර ඇත. චූලෝදර, මහෝදර නා රජුන් අතර හට ගැනුණුq අර්බුධය විසඳීම සඳහා ලක්‌ දෙරණට අනාරාධිතව වැඩමවන උන්වහන්සේ එම ගැටුම විසඳාලයි. මෙසේ බුදුන් වහන්සේ වැඩම වන්නේ නාගදීපයටයි. (මහාවංශය – හික්‌කඩුවේ සුමංගල බටුවන්තුඩාව, පළමු පරිච්ඡේදය 45 වන ගාථාවේ සිට 70 ගාථාව දක්‌වා) මණිඅක්‌ත නා රජුගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ ලක්‌දිවට වැඩම කර මෙම භූමියෙහි පූජාසන ස්‌ථාන සමාධි සුවයෙන් ස්‌පර්ශ කරති. (මහාවංශය – පළමු පරිච්ඡේදය 71 ගාථාවේ සිට 84 ගාථාව දක්‌වා)

ඒ අනුව මහාවංශයේ කොතැනක හෝ බුදුන් වහන්සේ මෙම ස්‌ථානයෙහි වැඩසිටි බවක්‌ සඳහන් නොවෙයි. එබැවින් ඉහත ජනප්‍රවාදය හුදු ප්‍රවාදයක්‌ පමණි. නමුත් උතුරු පළාතේ යාපනය එකල නාගදීපය නමින් හැඳින්වූයේ නම් මහාවංශයට අනුව බුදුන් වහන්සේ උතුරු පළාතට වැඩම කොට ඇත.

ජනප්‍රවාදයේ එන තවත් ප්‍රවෘත්තියකට අනුව මෙම ප්‍රදේශයේ විහාරස්‌ථානයක්‌ විය. එහි වැඩ සිටි රහතුන් වහන්සේ හැටනමකට වස කවා මරණයට පත්කරනු ලැබෙයි. ඉන්පසු උන්වහන්සේ කෙරෙහි පැහැද සිටි බෞද්ධ දායකයින් විසින් ඒ සැට නමක්‌ රහතුන් වහන්සේගේ ධාතු නිධන් කොට මෙම ස්‌ථානයේ චෛත්‍ය සැටක්‌ කරවා ඇත.

එයද මූලාශ්‍ර රහිත ප්‍රවාදයකි. එසේම මෙහි ඇති චෛත්‍ය ප්‍රමාණය සැට ඉක්‌මවා යයි.

ක්‍රි. ව. නමය සහ දහය සියවසට අයත් හතරවන කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 898-915) විසින් මෙම විහාරයට කරන ලද ප්‍රදානයක්‌ පිළිබඳ මෙම ස්‌ථානයේ පිහිටුවා තිබී කැණීම්වලින් සොයාගන්නා ලද අත්තානි කණුවක සඳහන් වෙයි. එම අත්තානි ටැම් ලිපිය මෙම විහාරය ක්‍රි. ව. දහවන සියවස දක්‌වාම ස්‌ථාවරව පැවති බවට කදිම සාක්‌ෂියකි.

මෙම ස්‌ථානය ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් මතුකර ගැනුණු සාධක මෙහි ඉතිහාසයට හා මෙය බෞද්ධ විහාරස්‌ථානයක්‌ බවට ප්‍රමාණාත්මක සාධක සපයනු ලැබෙයි.

විවිධ ප්‍රමාණයේ ස්‌ථූප හැටහතරක්‌ පමණ පිහිටි සාධක සහිත මෙම භූමිය මධ්‍යයේ වටදාගෙයක සාධක දැකිය හැකිය. ඊට අමතරව ආරාමගෘහයක නටබුqන් ද මතුපිට පොළොව මට්‌ටමෙන් ඉහළට එසවුණු ගල්කණු සහිතව දක්‌නට ඇත. මෙම භූමිය තවදුරටත් කැණීම් කළහොත් මෙම බෞද්ධාරාමයට අදාළ තවත් සාධක බොහෝමයක්‌ මතුකර ගත හැකිවනු ඇත. පවතින සාධක අනුව ඇතමෙක්‌ මෙය මෙම පළාතේ වැඩ සිටි මහතෙරුන් වහන්සේලාගේ භෂ්මාවශේෂ නිධන් කළ සුසානයක්‌ වශයෙන් සලකනු ලැබෙයි. එම මතය අනුව සලකන කල්හි මෙය උතුරු පළාතේ බෞද්ධ විහාරාරාම පිළිබඳ කදිම උදාහරණයකි. යාපනය අර්ධද්වීපය පුරාවට පිහිටා තිබුණු වෙහෙර විහාරස්‌ථානවල වැඩසිටි භික්‌ෂූන් වහන්සේ සහ උන්වහස්‌සේලා කෙරෙහි පැවති තත්ත්වයන් ද මින් විද්‍යමාන වෙයි.

අනුරාධපුර යුගයේ ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්ට සමාන තත්ත්වයක උතුරු අර්ධද්වීපය පැවති බවටත් විශාල වශයෙන් බෞද්ධ ජනතාවක්‌ මෙම ප්‍රදේශයේ වාසය කොට ඇති බවටත් මෙම ස්‌මාරක භූමිය දෙස්‌ දෙයි. ක්‍රි. ව දහතුන් වන සියවසේ යාපනය ඇතුළු උතුරේ බොහෝ ප්‍රදේශ හින්දු ආගමික බලපෑමට නතුවීමත් සමග මෙහි බෞද්ධ පරිසරය මැකී යන්නට ඇත.

කෙසේ වෙතත් මෙම විහාරස්‌ථාන වල අයිතිය සිංහල බෞද්ධ උරුමය ලෙස එකහෙළා සැලකීම නුසුදුසුය. බොහෝ දෙමළ බෞද්ධයින් අනුරාධපුර යුගයේ සිටි බවට ශිලාලේඛණ සාධක පවා සොයාගෙන තිබේ. (අභයගිරිය දීඝපාෂාණ දමෙඩගණපති සෙල්ලිපිය) ඒ අනුව බෞද්ධ උරුමය ජාතිභේදයෙන් තොරව සමසේ බෙදා ගැනීම සඳහා මෙම ස්‌මාරකය මහෝපකාරී වනු ඇත.