ඒ අනූව දශකයේ අරම්භයයි. යුද ගිනි දැල් තරමක් නිවී ගොස් තිබිණි. එවකට ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දීය සාමසාධක හමුදාවේ පිරිසක් මෙරටින් පිටත්ව ගොස් සිටි අතර ඉතිරි හමුදා භටයෝ මෙරට රැඳී සිටියහ. මේ කාලයේ දී ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවාගැනීම සිදු විය. සුනිල් දිසානායක පොලිස් කොස්තාපල්වරයකු ලෙස පත්වීම ලැබුවේ මේ කාලවකවානුවේදීය. ඒ වව්නියාවේ මාන්කුලම් පොලීසියටය.

එදින නව පත්වීමේ සේවයට වාර්තා කිරීමට ඔහු බස් රියෙන් කොළඹ කොටුවට පැමිණියේය. කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වන විට යාපනය බලා යන යාල්දේවි දුම්රිය පිටත්ව ගොසිනි. මඳ වේලාවක් කොටුව දුම්රිය ස්ථානයේ බංකුවක් මතට වී සිටියේය. පසුදා උදෑසන වන විට සේවයට වාර්තා කිරීමට අවැසි බැවින් කළ යුතුව ඇත්තේ යාපනය බලා යන පෞද්ගලික ‍බස් රථයකින් මාන්කුලම් යෑම පමණෙකැයි සිතූ ඔහු කොටුව දුම්රිය ස්ථානයෙන් ගුණසිංහපුර ප්‍රධාන බස් නැවැතුමට ඇතුළු වී, මාන්කුලම් දක්වා යන බස් රථයකට ගොඩ විය.

නුහුරු නුපුරුදු පළාතකට බොහෝ දුරක් තනිවම යෑම ඉතා අසීරු කාරියකි. බස් රථය පිටත් වීමට තව බොහෝ වේලාවක් ගත වෙයි. ඔහු අරමුණක් නොමැතිව ඒ මේ අතට දෑස් කරකැවීය. බසයේ කෙළවරේ අසුනේ හිඳගෙන සිටි පුද්ගලයාද මාන්කුලම් පොලීසියේම සේවය කරන අයෙක් විය. පාළු හුදෙකලාව මැකී ගියේය. දිගු කතාබහකට වැටුණු ඔවුන්ට ගමන් විඩාවක් නොදැනිණි.

මාන්කුලම්වලට ආසන්නයේදී සුනිල් සිටි බස් රථයේ පිරිස සහ සුනිල් ඇතුළු පිරිස කොටි අත්අඩංගුවට පත් වීය. ත්‍රස්තවාදීන් විසින් දිගු ප්‍රශ්න කිරීමකින් අනතුරුව පැය කිහිපකට පසු ඔහු නිදහස් කරන ලදී. එය සුනිල්ගේ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් පළමු අත්දැකීමයි. එදින ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදුණු සුනිල් දිවි ගලවාගත්තේය.

තිස් දෙනකුගෙන් යුත් පොලිස් නිලධාරින් පිරිසක් සමගින් 90.02.05 වන දින ඔහු මුල්වරට මාන්කුලම් පොලීසියේ සේවයට වාර්තා කළේ කවරදා හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරට යන තිර අදිටනි. ඔහු සේවයට බැඳී ඉතා කෙටි කාලයකදී ත්‍රස්තවාදී ප්‍රහාර යළිත් ආරම්භ විය. 90 වර්ෂයේ ජුනි මස 13 වැනිදා රාත්‍රියේ ඉතා දරුණූ කොටි ප්‍රහාරයක් මාන්කුලම් පොලීසිය වෙත එල්ල විය.

පොලීසියේ සිටි නිලධාරීන් අසූහත්දෙනාම ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදුණාහ. එය ඉතා අසීරු කාරියකි. මාන්කුලම් පොලීසිය ඉදිරිපිට ඇති යුද හමුදා කදවුරටද ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් දියත් කර තිබිණි. නොසිතූ ලෙස එල්ල කළ ප්‍රහාරය පැය කිහිපයක් පුරා පැවැතිණි. සටන අවසානයේදී ත්‍රස්තවාදීන් විසින් මාන්කුලම් පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙක් දෑස් සහ දෙපා බැඳ, මාන්කුලම් වන මැදින් මල්ලාවි කොටි කඳවුර වෙත රැගෙන යන ගියහ. මාන්කුලම් වනය පුරා ගිනිදලු නැඟෙයි. සෑම අතින්ම ප්‍රහාර එල්ල විය.

ගුවන් හමුදාව විසින් ගුවනින් ප්‍රහාර දියත් කොට තිබිණි. එකම යුද පිටියක් මැදින් මේ යන්නේ තමන්ගේ අවසන් ගමන බව පොලිස් නිලධාරීහු සිතූහ. ඇතැම් තැන්වල ඉහළ අහසට බුර බුරා නැ‍ඟෙන ගිනි දළු ය. ගුවනින් වරින් වර නැගෙන වෙඩි හඬය‍‍. වනය පුරා ත්‍රස්තවාදීන්ට එල්ල වන මෝටාර් හඬය. මල්ලාවි පිහිටා ඇති කොටින්ගේ රෝහලට මිය ගිය කොටින්ගේ සහ යුද හමුදාවේ සෙබළුන්ගේ මළ සිරුරු රැගෙන යමින් තිබිණි.

සුනිල් ඇතුළු සිංහල පොලිස් නිලධාරින් 18 දෙනෙක් මල්ලාවී කදවුරේ රදවා තැබිණි. නිරායුධව සිටි මෙම පොලිස් නිලධාර පිරිස දැඩි පීඩාවට ලක් කිරීම ආරම්භ වුයේ එතැන් සිටය. ඉන් අනතුරුව රෙදි කැබලිවලින් ඇස් සහ දෑත්ද පසුපසට ගෙන බැඳ දින තුනකට පසු එකා පිට එකා පටවා ගෙන මල්ලාවි කදවුරෙන් මේ නිලධාරීන් රුගෙන යන්නට විය.

‘නායකයා නියෝග කරලා තියෙනවා මුන් මරන්න කියලා’ එක ත්‍රස්තවාදියෙක් මහ හඬින් කීවේය. “අපිව ගෙනියන්නේ මරන්න!” දෙමළ භාෂාව දන්නා පොලිස් නිලධාරියෙක් අනෙක් නිලධාරීන්ට ඇසෙන සේ කෙඳිරුවේය. ඒ වන විටත් ඔවුන් රැගෙන යන්නේ ජීවිතයේ අවසාන ගමනට බව පොලිස් නිලධාරීහු සිතූහ. ඔවුන් ත්‍රස්තවාදීන්ගෙන් ජීවිතය ඉල්ලා සිටියේ නැත. සුනිල්ට තම දෙමවුපියන් සිහිපත් විය.

රැකියාවට පැමිණි දින ඔහු සිහින මැවූ සියල්ල තමා ඉදිරියේ සුනුවිසුනුවී ගිය හැටි ඔහුට සිතුණේය. සුනිල් ඇතුළු පිරිස ජීවිතය ගැන අපේක්ෂාව අතහැරියේය. ත්‍රස්තවාදීන් හමුවේ ජිවිතය ඉල්ලා හඬාවැටෙන්නට ඔහුට අවශ්‍ය නොවිණි. සුනිල්ගේ බැඳදමා තිබුණු දෑස් ඉදිරියේ බොඳ වූ සිතුවමක් සේ අම්මාගේ රුව මැවී නොපෙනී ගියේය. සුනිල් තම බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළේය:

“ඒ අත්දැකීම පුදුමයි! මම කවදාවත් ආයේ මේ වගේ කතා කරන්න පුළුවන් වෙයි කියලා හිතුවෙ නෑ. එදා අපි අරන් ගිය ලොරිය දෙපැත්තෙන් කොටින්ගේ ජීප් දෙකක් ආවා. කොටි තිහ-හතළිහක් විතර අපේ දෙපැත්තෙන් ආවා කියලයි මම හිතන්නේ. අපිට කිසිම දෙයක් කරන්න බැහැ. අපේ ඇස් – අත් බැඳලා තිබුණේ. පාන්දර වන තුරු අපිව අරන් ගියා.

අතරමඟදී කොටින්ට නැවතත් ඉහළින් නියෝගයක් ඇවිල්ලා අපිව වෙන කොටි කඳවුරකට අරන් ගියා. කොටි අපි 18 දෙනාට බිම දාගෙන පහර දුන්නා. කන්න කෑම මොනවත් දුන්නේ නැහැ. අපිව එදා මරනවා කිව්වත් මැරුවේ නැහැ. පසුවදා රෑ මරන්න ගෙනියනවා කියලා අපේ අතපය බැඳලා ඇස් ගැට ගහලා වෙන තැනකට අරන් ගියා. දවස් දෙකක් තිස්සේ කෑමට තියා බීමටත් මොනවත්ම ලැබුණ් නැහැ. මරණය පෙනි පෙනී ඉන්න අපට මොන කෑමක්ද?”

අත් දෙකද පිටුපසට කර කිටිකිටියේ තදට බැඳ ඇත. කොටින් දෙදෙනකු විසින් දෙපසින් අල්ලා මෙම පිරිස උස්සා ලොරියට විසි කරනු ලැබිණි. ලොරිය තුළ පොලිස් නිලධාරින් එකා පිට එකාය. ආයෙත් ගමන ඇරඹිණි. මොහොතින් මොහොත මේ පිරිස ජීවිතයේ අවසාන මොහොත ළං වන බව ඔවුන්ට වැටහිණි. ඈතින් ජල පහරක හඬක් ඇසිණි. ලොරිය ඒ මේ අත පැද්දෙන අයුරු මේ පිරිසට දැනෙන්නට විය.

ඊළඟ මොහොතේ පපුව පසාරු කරගෙන යන වෙඩි පහර වැදීමෙන් ප්‍රාණය නිරුද්ධ සිරුර ජල පහරට වැටී ගසාගෙන යන ආකාරය සුනිල්ට මැවී පෙනිණි. “දැන් නම් අපිව මරලා මුහුදට දාන්න තමයි හදන්නේ” අයකු කියනු ඇසීමෙන් සුනිල්ගේ සිතිවිල්ල සනාථ විය.

අලි මංකඩ හමුදා කඳවුරේ බලය ඒ වන විට කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු ව නොතිබිණි. ප්‍රධාන මාර්ගයෙන් නොගොස් කලපුව හරහා බත්තලක ලොරිය පටවාගෙන යන බව පොලිස් නිලධාරීන්ට අවබෝධ විය. රෑ-දවල් කියා නැත. අවටින් ඇසෙන්නේ කන් බිහිරි කරන වෙඩි හා මෝටර් හඬය.
ඒ බිහිසුණු සිදුවීම ගැන කොස්තාපල් සුනිල් යළිත් හඬ අවදි කළේය.

“අපිව අරන් ගිය කෑම්ප්-එක කොටින්ගේ ලොකුම කෑම්ප්-එකක්. ලොකු ශාලාවක් තිබ්බා. ජේනරේටරයක් දාලා තිබෙන ශබ්දයත් ඇසුණා. ගොඩක් දෙනෙකුට තුවාල වුණා. කිහිප දෙනෙක්ගේ අතපය අඹරලා දැම්මා. කොටි ඊට පස්සේ දම්වැල් අරගෙන අපේ කකුල් දෙකට තියලා වෑල්ඩින් කරා. කකුල් පිච්චෙනවට පොඩි ෂීට් කෑල්ලක් තිබ්බා. ඒත් කකුල් තදේට පිච්චුණා. දම්වැල් දෙක අතරේ පරතරය අගල් 06ක් විතර තිබ්බේ. අපිට කකුල් දෙක උස්සලා ඇවිදගන්න බැරි වුණා. ඇවිදින්න බැරි අපිට ඇවිදපන් කියලා ගැහුවා.

අපි කකුල් දෙක ඇද ඇද ඇවිදින කොට උන් හිනා වුණා. මම විසි වෙලා ගිහින් වැටුණා. පස්සේ මීටර් සීයක් විතර දුරකට අපිව අරන් යද්දි අඩි 75ක් විතර ගැඹුරු, අඩි 04ක් පමණ පළල, අඩි දෙසීයක් විතර දිග ලොකු වළක් තිබ්බා. ඒක උඩට කුඩාරම් රෙදි ගහලා තිබ්බේ.

වටේට කටුකම්බිත් ගහලයි තිබ්බේ. කොටින්ගෙ ‘මාස්ටර්’ කියන නායකයා හිටියා. මිනිහට සිංහල පුළුවන්. ‘බැහැපන්! බැහැපන්!’ කියලා මිනිහා කේන්තියෙන් කෑගැසුවා. පස්සෙ ලණුවක් දිගේ මම වළට බහිද්දි ඒ වළේ තව කට්ටිය විස්සක් තිහක් විතර හිටියා; ඔඩ්ඩුසුඩාන් පොලීසියේ පිරිසක් හිටිියා.” සුනිල් බිහිසුණු සිදුවීම මතකයට නැඟුවේය.
සුනිල් සිය කතාව යළි ආරම්භ කළේය.

සතියට වතාවක් හිස කෙස් කපා තට්ටය ගානවා. කකුල් දම්වැල් දමා පාස්සලාමයි තිබුණේ. රෑට අත්වලට මාංචුත් දානවා. දිගු දම්වැලකින් සියලු දෙනාම එකට බැඳලා. මේ ආකාරයෙන් ‘තට්ට කඳවුර’ ලෙස මේ සිරකරුවන් හැඳින්වුණා. මේ කඳවුරේ සිටද තැන් තැන්වලට මේ පිරිස අරන් යනවා. වරෙක මේ 44 දෙනා කුඩා කාමරේක දමා දින 10ක් සිර කර තැබුවා. ටිකක් වැතිරෙන්න වත් බිම වාඩි වෙන්න වත් ඉඩක් ලැබුණේ නැහැ…”

ඒ වසරේ -එනම්1990- සැප්තැම්බර් 01 වැනිදා සහකාර පොලිස් අධිකාරි ගෝපාල ක්‍රිෂ්නන් තවත් සිරකරුවන් අසූවක් සමඟ මේ කඳවුරට ගෙන එන ලදි. ඒ වන විටත් දැඩි සේ පහර දීම නිසා ඔහුගේ අතපය බිදීගොස්ය. ඊට දින කිහිපයකට පසු 09 වැනදා පොලිස් සැරයන්වරයකු වන කරුණාරත්න (11812) නිසි අහරක් නැති වීම නිසා මිය ගියේය. 16 වන දින පොලිස් කොස්තාපල් අතපත්තු (7850) ද මිය ගියේය. 20 වන දින පොලිස් කොස්තාපල් සාමවික්‍රම (24183) මිය ගියේය.

වසර 03ක් මේ ආකාරයෙන් සිරකරුවන් ලෙස සිටීමෙන් පලක් නොවන බව සිතු මේ පොලිස් නිලධාරීහු කුමන හෝ ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි සිතූහ. රතු කුරුස සංවිධානයද අදාළ පාර්ශ්ව දැනුවත් කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්න්ට සුදානම් වූහ. මේ අත්අඩංගුවේ පසු වූ නිලධාරීන්ට නිදහස නොදීම හේතුවෙන් රතු කුරුස සංවිධානය විසින් අවසානයේ උද්ඝෝෂණයක් ආරම්භ කෙරිණි. උපවාසකරුවන් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත් වන තුරු උපවාසය දියත් කෙරිණි.

මේ කාලවකවානුවේ උතුරුකරයේ දරුණු සටන ඇවිළෙමින් තිබිණි. රතු කුරුස සංවිධානය සහ කොටිද රජය වෙනුවෙන් හමුදාවේ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර මහතාද යාපනයට පැමිණ මේ උපවාසකරුවන් වෙනුවෙන් කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අසාධ්‍ය තත්ත්වයේ සිටි පොලිස් නිලධාරීන් පස් දෙනකු නිදහස් කිරීමෙන් පසු මේ උපවාසය අත්හැරියේය.

‘නිදහස’ කියන වචනය ඇසෙත්ම මරණයට ළඟා වීමට පෙර තම මව දැකීමේ නොතිත් ආශාව යළි දලු ලන්නට විය. ජීවිතය පිළිබඳ සියලු බලාපොරොත්තු අතහැර කළ අරගලයෙන් ඔවුන්ට නැවත ජීවිතය ලැබිණි.

වසර පහක් අනේක වධ විඳිමින් කොටි අත්අඩංගුවේ සිටි සුනිල් දිසානයක මහතා වසර 13ක කාලයක් උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකාවේ පොලීසිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කර දැන් අම්පාර දමන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරයි. එදා ඔහු කොටි අත්අඩංගුවේ සිටියදී ශ්‍රී ලංකා පොලීසියට ගෞරවයක් ගෙන එමින් අභිමානවත් ලෙස කටයුතු කරමින් ත්‍රස්තවාදීන්ගේ පීඩාවන් හමුවේ නොසැලී නොසිටියේ නම් සුනිල් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ කතාව මෙසේ නොලියවෙනු ඇත.

සුභද්‍රා දේශප්‍රිය