විද්‍යාඥයන්ට අබිරහසක් වුණු කුඩා අතු ගංගාවක් ඇමසන් වනාන්තරය මධ්‍යයේ පිහිටා ඇත. මෙම ගංගාව අතීත පුරාවෘත්තයකි. ගඟට පය දැම්මොත් එය පිළිස්සී යයි. වැටුණොත්, පණ පිටින් ගොඩට ඒමට හැකියාව ලැබෙන්නේ නැත. නටන ජලයෙන් පිරුණු මෙම ගංගාව මරණයේ ගංගාවකි.

සැතපුම් සැතපුම් 4 ක් දිග ගංගාව හැඳින්වෙන්නේ ‘මායන්ටුයකා’ යන නමිනි. ගංගාවේ වතුර නටන තරමට රත් වෙයි. සෑම විටම බුබුළු දමයි, ජල වාෂ්ප දසත විහිදෙයි. ගංගාව ඇත්තේ පේරු රටේය. ඇමසන් වැසි වනාන්තරය, පේරු, බ්‍රසීලය ආදී දකුණු ඇමෙරිකානු එසේත් නැතිනම් ලතින් ඇමෙරිකානු රටවල් පුරා විහිදී පවතී.

මේ ගංගාව කාලයක් පුරාවෘතයක් පමණක් විය. එය හැබෑවක් බව ලොවට අනාවරණය කළේ පේරු රටේ භූ විද්‍යාඥ ආන්ද්‍රේස් රූසෝ ය. රූසෝ ට මෙම ‘විස ගංගාව’ ගැන මුලින්ම කතාන්දර අසන්න ලැබී ඇත්තේ කුඩා කාලයේ ඔහුගේ සීයාගෙනි. අවුරුදු 12 කට පසු, යළිත් වරක් ගංගාව ගැන ඔහුට අසන්න ලැබුණි. ඒ, ඔහුගේ නැන්දා කෙනෙකුගෙනි.

සීයා කී කතන්දරය අවසන් ඉන්කා අධිරාජ්‍යයා සහ ඉන්කාවරුන්ගේ රත්තරන් සොරකම් කිරීමට පැමිණි ස්පාඤ්ඤ ගවේෂකයන් අතර බැඳී පවතී. ස්පාඤ්ඤ ගවේෂකයෝ ඉන්කා අධිරාජ්‍යයා මරා දමති. රත්තරන් සොයා ගැනීමට නොහැකි වුණු නිසා, රත්තරන් සොයමින් ස්පාඤ්ඤ ගවේෂකයෝ ඇමසන් මහ වනාන්තරය සෝදිසි කිරීමට පටන් ගත්හ.

අවසානයේ එම සෝදිසි කිරීම් අවසන් කර පැමිණියේ කිහිප දෙනකු පමණි. ඔවුන් පවසා ඇත්තේ ලෝ දිය වැනි විස ජලය ඇති නදියක්, මිනිසුන් බුදින යෝධ සර්පයන් හමුවුණු බවය. මෙම විස නදිය ‘මායන්ටුයකා’ ගංගාව යැයි රූසෝ පැහැදිලි කරයි. මිනිසකු ගිලිය හැකි යෝධ සර්පයකු ඇමසන් වනාන්තරයේ ඇමසන් ගංගාව ආශ්‍රිතව වාසය කරයි. ඒ, ඇනකොන්ඩාය.

වසර 12 කට පසු, පවුලේ ඥාතීන් හමුවුණු රාත්‍රී භෝජන සංග්‍රහයකදී, රූසෝ ට යළිත් ‘මායන්ටුයකා’ ගංගාව ගැන පැවැසූ නැන්දා කියා සිටියේ, ඇය එම ගංගාව සැබැවින්ම දැක ඇති බවත්, ගංගාව ඇති තැනට ගොස් ඇති බවත්ය. රූසෝගේ නැන්දා ඇමසන් ගෝත්‍රික සම්භවයක් ඇති කාන්තාවකි.

කුඩා කළ සිටම භූ විද්‍යාඥයකු වන තුරුම ‘මායන්ටුයකා’ ගංගාව ගැන විටින් විට මේ අයුරින් රූසෝට අසන්න ලැබුණි. භූ විද්‍යාඥයකු වීමට ඔහුට සිතක් පහළ වූයේ ද මේ ගංගාවේ අබිරහස නිසාය. අද වන විට රූසෝ ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

‘මං දිගටම කල්පනා කළා. පුරාවෘත්තයක් පමණක් වුණු මෙම ‘මාරක ගංගාව’ හැබෑවක් වෙන්න පුළුවන් කියලා. මං විශ්ව විද්‍යාලයේ මගේ සගයින් එක්ක ඒ ගැන කතාබහ කළා. අදහස් විමසුවා.

පේරු රජයෙන් ඒ ගැන විමසීමක් කළා. ඇමසන් වනාන්තරය ආශ්‍රිතව තෙල් ගවේෂණය කරන සමාගම්, ගෑස් සමාගම් සහ පතල් කරුවන්ගෙන් විමසීමක් කළා. ඔවුන හැමෝම කීවේ එහෙම ගංගාවක් නැහැ. එය සැබෑවක් නොවේ කියලයි.’ යැයි රූසෝ අතීත සිදුවීම් විස්තර කරයි.

‘මගේ නැන්දා, දිගින් දිගටම කීවා ඇය එවැනි ගංගාවක් දැක තිබෙනවා. එම ගංගාව අසලට ගිහින් තියෙනවා.’ රූසෝ පැහැදිලි කරයි. ලොකු අම්මා කී දේ හැබෑවක් ද නැද්ද යන්න ගැන දෙගිඩියාවෙන් රූසෝ 2011 වසරේ ඇමසන් වනාන්තරයට ඇතුළු වූයේ ඇයේ ඇගේ නැන්දා සමඟය.

ඔහුට මඟ පෙන්නුවේ ඇයයි. ‘යමහල් විවර නිසා ලෝකයේ බොහෝ තැන්වල උණුසුම් දියපාරවල්, විල් පොකුණු දකින්න ලැබෙනවා. මං සිතින් මවා ගත්තා මේ ගංගාවත් එවැනි තැනක් වේවි කියලා. ඒත් මං එතැනට ගියාම මං පුදුම වුණා. ඒක ඇත්තටම හරිම ගුප්ත තැනක්. වෙන ලෝකයකට ගියා වගේ අත්දැකීමක්.’ යැයි රූසෝ ඔහුගේ ගවේෂණ චාරිකාව ගැන පැහැදිලි කරයි.

ගංගාවේ ජලය නටන තරමට රත්වන්නේ භූගෝලීය ක්‍රියාකාරීත්වයක් නිසා බව රූසෝගේ විශ්වාසයයි. සාමාන්‍යයෙන් මේ අයුරින් ගංගාවක හෝ විලක වතුර නටන තරමට රත් වන්නේ ඊට යටින් යහමල් විවර ඇති නිසාය. එහෙත්, ඇමසන් ද්‍රෝණිය පිහිටා ඇත්තේ එලෙස සක්‍රීය යමහල් ඇති භූමියක නොවෙයි.
මෙම ගංගාව අශාන්නින්කා ගෝත්‍රිකයන්ගේ පූජනීය ගංගාවයි. එය ඔවුන්ගේ භූ තාප රෝග සුව කරන ස්ථානයයි.

අශාන්නින්කා ගෝත්‍රිකයන්ගේ යකැදුරෝ මෙම ගංගාවෙන් ආශිර්වාද ලබා ගනිති. ගංගාවට යාගහෝම කරති. ගංගාව අසලට ගොස් බට නළා වයති. ගංගාවේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන්නෝ තවමත් සම්ප්‍රදායික ලෙස ජීවත් වන අශාන්නින්කා ගෝත්‍රිකයෝය.

ගංගාවේ පළල්ම ස්ථානය මීටර් 25 කි. එතැන අඩි 20ක් ගැඹුරුය. ගංගාවේ උණු උණු තේ කෝප්පයක් වත් කරගන්න පහසුවෙන්ම පුළුවනි. ගංගවේ සෑම තැනක්ම මේ අයුරින් උණුසුම් නැත. අශාන්නින්කා ගෝත්‍රිකයෝ එවැනි ස්ථාන ස්නානය සඳහා යොදා ගනිති. ඒ කායික රෝග රැසකට ප්‍රතිකාර වශයෙනි.

විද්‍යාවෙන් වසං වුණු, විද්‍යාවට අබිරහසක් වුණු මෙම ‘මරණයේ ගංගාව’ ගැන රූසෝ කළ ගවේෂණ සහ පර්යේෂණ එක් කොට ඔහු පොතක් ලියා ඇත. එය නම් කර ඇත්තේ ‘බොයිලිං රිවර්: ඇඞ්වෙන්චර් ඇන්ඞ් ඩිස්කවරි ඉන් ද ඇමසන්’ යනුවෙනි. ‘සැකයක් නැහැ මේ ගංගාව ස්වාභාවික පුදුමයක්.’ යැයි රූසෝ කියා සිටී.

ඇමසන් වනාන්තරය අබිරහස්වලින් පිරුණු තැනකි. මෙතෙක් අපට දකින්න නොලැබුණු සතුන් සහ ශාක ඇමසන් වනාන්තරයේ සැඟවී ඇතැයි විශ්වාස කරේ. ජෛව විවිධත්වයෙන් පිරුණු ලොව විශාලතම වැසි වන්නාතරය වන්නේ ද මෙයයි. ලොව දිගින් වැඩිම ගංගා අතරින් දෙවැනි ස්ථානයට පත් මහා ඇමසන් ගංගාව ඇත්තේ ද මෙම වැසි වනාන්තරයේය.

ඇමසන් වැසි වනාන්තරය අතිශය වැදගත් වන්නේ එය අප පෘථිවියේ හදවත බඳු වීම නිසාය. මේ වැසි වන්නාතරය අබිරහස්වලින් පිරුණු තැනකි. වැසි වනාන්තරයේ අඳුරු අහුමුළු තවමත් ගවේෂණය වී නැත. ගවේෂණය කිරීමට හැනියාවක් ද නැත. ඒ එය අති දුෂ්කර කටයුත්තක් වීම නිසාය.

ඬේලිමේල් ඇසුරිනි