ඌව පළාත යනු ලාංකේය රාජ වංශය තුළ සටන් හා සම්බන්ධ පුරාවෘත්ත ඇතුළු ඉතිහාසයක් ඇති ප්‍රදේශයක් බව බොහෝ දෙනෙක් නොදන්නවා ඇත. සටන් ලෙස විශේෂයෙන්ම සඳහන් කළේ ඌව පළාත උමං හා ගුහා පිහිටීම අතින් වැදගත් ස්ථානයක් උසුලන හෙයිනි.

බදුල්ල හා මොරණරාගල දිස්ත්‍රික්ක තුළ දෝලනය වන උෟව පළාතේ රමණීයම ඉසව්ව වන ඇල්ල හා බදුල්ල දක්වා අවට ඇති ප්‍රදේශ තුළ අදටත් මිනිසා විසින් සොයා නොගත් උමං හා ගුහා තිබෙන බව නොරහසකි. ස්ත්‍රී පුර උමඟ බෝගොඩ උමඟ සහ වර්තමානයේ ප්‍රසිද්ධ නිල් දිය ​ෙපාකුණ උමඟ හැරුණු විට බොහෝ දෙනකු වෙනත් ස්ථාන පිළිබඳව නොදන්නවා ඇත. අද කතාව නම් උමං ගැන නොවේය. එක්තරා අත්භූත සහ තවමත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවා වැඩිදුර අධ්‍යයනය නොකරපු කඳු වැටියක් පිළිබඳවය.

කුරුලන්ගල යනු අප මීට වසර දෙකකට පමණ පෙර අතිශය දුෂ්කර චාරිකාවකින් පසු ළඟා වූ අරුම පුදුම සිතුවම් පිහිටි ස්ථානයකි. එම සමස්ත කඳු ගැටය තුළ තවමත් නොවිසඳුණු සහ හෙළි නොවුණු අබිරහස් පිළිබඳ අප වැඩි දුර ගවේෂණයක් සිදු කළ අතර එහිදී අපට විසඳීමට නොහැකි වු අබිරහස් දෑ පිළිබඳ දැන ගැනීමට ලැබුණි.ඇල්ල ප්‍රදේශය විශාල වශයෙන් රාවණා රජු සම්බන්ධ නොවූ නමුත් ඉපැරණි මානව ශිෂ්ටාචාරයක් තිබු ස්ථානයක් බවට නිර්ණය කළ හැකි පැහැදිලි තර්ක හා මතවාද ගොඩනැගිය හැකි ස්ථානයකි.

අැල්ල සිට වැල්ලවාය පාරේ රාවණා ඇල්ල නිවැරදි නම (බඹරගල ඇල්ල) පසු කොට කරඳගොල්ල ගමට ප්‍රවිශ්ඨ වී ඉදිරියට ඇදෙන විට උමා ඔය ව්‍යාපෘතියට දිවෙන මාර්ගය හමු වේ. එම මගේ ගමන් කොට උමා ඔය ව්‍යාපෘතියටත් කරඳගොල්ල රක්ඛිතකන්ද පුරාණ විහාරයටත් පිවිසිය හැක. රක්ඛිතකන්ද විහාරයට හැරෙන ස්ථානයට විරුද්ධ පසින් පිහිටියේ කුරුලන්ගල කඳු වැටිය හා රක්ෂිතයයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුරුලන්ගල යනු කුරුල්ලන් සිටින හෝ සිටිය ස්ථානයක් බව පැහැදිලිය. කන්දට නම පට බැඳී ඇත්තේ එලෙසිනි. ඊට වඩාත් සමීපතම හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් කුරුලන්ගල කන්ද මුදුනට මීටර් 100 ක් පහළින් වු ගල් තලාවක ඇඳ තිබෙන තවමත් හරි හැටි පර්​ෙ‌ය්ෂණයකට ලක් නොවුණු සිතුවම් වල බහුල වශයෙන් කුරුල්ලන්ගේ සිතුවම් පිහිටීමය.

දෙවැන්න නම් මෙම ප්‍රදේශයේ හැර වෙනත් ප්‍රදේශවල දැකීමට නොහැකි සේම සාමාන්‍යයෙන් ගම් වැසියන්ට වුව දැකීමට නොහැකි දුර්ලභ ගණයේ ඉන්දියානු කුඩා උකුසු වර්ගයක් මෙහි ජීවත් වීමයි. උන් ඉතාමත් තියුණු ශබ්දයක් නිකුත් කිරීමටත්, අව්වට පවා දිළිසෙන පිහාටු සහිත ඉතා කුඩා බවත් උන් දැක ඇති ගම්වාසීන් පවසා ඇත. මෙම ප්‍රදේශයේ අබිරහස් හෙළිදරව් වීමට ප්‍රයත්න ගත් කාල වකවානුව ලෙස 1975 – 1985 හැඳින්විය හැකිය. අදටත් මෙම ප්‍රදේශයේ වෙසෙන පැරැන්නන්ගෙන් විස්මිත තොරතුරු දැන ගත හැකි අතර ඒ අතරින් කරඳගොල්ල විහාරාධිපති පූජ්‍ය සුමනරංසි හිමියන් අප හා පැවසූ දෙය වඩාත් කාලීන විය.හිමියන්ගේ මුත්තා මීට වසර 35 කට පමණ පෙර යම් කිසි හේතුවක් මත අපරාධමය ​​චෝදනාවක් එල්ල වී ප්‍රදේශයෙන් පලා ගොස් මෙම කඳු වැටියේ සැඟව සිට ඇත. ගම්වැසියකු ලෙස ඔහු තුළ තිබු ශක්තියත් හැකියාවත් මත ඔහු මෙම ප්‍රදේශයේ සැඟව සිටියේ මෙම ප්‍රදේශයේ පීරමින් නැවතීමට සුදුසු ස්ථානයක් සොයමිනි. පොඩි මහත්තයා නමින් හැඳින්වු ඔහු එහිදී අපූරු ගල්ලෙනක් හෝ ගුහාවක් සොයා ගෙන තිබේ. විශේෂත්වය නම් ඇරෙන වැහෙන ලෙස දොරක් තිබීමයි.

එම ගුහාවට ඇතුළු වීමට හා පිට වීමට එම දොර ඇති බවත් එය විවෘත කිරීම හෝ නොකිරීම පවා සිදු කළ හැකි බවත් ඔහු පවසා ඇති බව හිමියන්ගේ වැඩිහිටියන්ගෙන් දැන ගෙන ඇත. නමුත් පොඩි මහත්තයා සමගම එම ගුහාවේ අබිරහස වැළලී ගිය අතර අද වනතුරුත් එම ස්ථානය සොයා ගැනීමට කිසිවකු සමත් වී නැත.

ඒ කුරුලන්ගල කඳු වැටියේ පිහිටි එක් අබිරහසකි. තවත් අබිරහසක් නම් මෙම කඳු වැටියේ ප්‍රචලිත වන සිතුවම් වේ. මීට වසර 17 කට පමණ පෙර මෙත්තානන්ද නම් ගම්වැසියා විසින් සොයා ගත් මෙම සිතුවම් පිහිටි ස්ථානය අද වන විට දේශීය ක්‍රියාදාම සංචාරකයින් බහුලව නැරඹීමට ප්‍රිය කරන ඉසව්වක් වී ඇත. නමුත් අදටත් මෙත්ත​ානන්ද හෝ ප්‍රදේශයේ වගකිව යුතු මඟ පෙන්වන්නකු තොරව එම ස්ථානය සොයාගෙන යා නොහැකි බව ප්‍රායෝගික මතයකි.

මන්ද එම ගමනේදී කන්දේ කඹයක් ආධාරයෙන් නැගිය යුතු ස්ථාන 3 ක් හමු වන හෙයිනි. නමුත් මීට වසර දෙකකට පෙර අප එම ඉසව්ව සොයා ගියේ තනිවම හා සුමනරංසි හිමියන්ගෙන් දැන ගත් විස්තර අනුව පමණය. එම නිසාම මීටර් 20 ක් පමණ උස අංශක 90 ක ගල් තලාව ගල දිගේ නගිමින්ද මීටර් 30 ක් පමණ උස ගල් තලාව ගසක වැල් ආධාරයෙන් නගිමින් ගමන් කරමින් අවසාන නැග්ම කඩා වැටුණු ගස් කොටසක් දිගේ ආධාරකර ගෙන නගිමින් ද ගමන් ගත් මතකය අප සතුව ඇත.

පුරා පැය 7 ක් පමණ මහ වනයේ හුදෙකලා වී අප කුරුලන්ගල සිතුවම් පිහිටි ස්ථානය සොයා ගෙන නිරුපද්‍රිතව නැවත පැමිණීම අපගේ ක්‍රියාදාම දිවිය තුළ ලැබූ වටිනාම අත්දැකීමකි.

සුමනරංසි හිමියන් පැවසූ ලෙස මෙම චිත්‍ර පිහිටා තිබුණේ වර්තමානයේ අපට දැකීමට ඉතිරි ඉතා කුඩා ප්‍රමාණයේ පමණක් නොවන බවටත් සමස්ත ගල් තලාව පුරාම චිත්‍ර තිබූ බවට හිමියන්ගෙන් මුත්තා කියා ඇති බව හෙළි විය. නමුත් අද වන විට අපට දැකිය හැක්කේ වර්ග අඩි 20 ක් 30ක් තරම් ප්‍රමාරණයක පිහිටි මෙම සිතුවම් වේ. එයිනුත් පැහැදිලිව හඳුනා ගත හැකි චිත්‍ර පිහිටියේ ඉතාමත් සීමිත ඉඩක පමණි.

​ෙමම ස්ථානයට ළඟාවීම ජීවිතය හා මරණය අතර සටනක් බඳු වන අතර සිතුවම් පිහිටි ස්ථානයේ රැඳීමත් තීරණාත්මක වේ. මන්ද එම ස්ථානයේ සිටිය හැක්කේ කුඩා පිරිසකට පමණක් වන අතර පහළ සිසු පෝළිම පිහිටා ඇති වීමය. ප්‍රධාන මාර්ගයට ත්‍රිකෝණාකාර ලෙස පිහිටි මෙම කඳුවැටියේ ​ෙකාටස් දැක ගත හැකි මුත් මෙම චිත්‍ර පිහිටි ඉසව්ව දැක ගත නොහැකිය. මන්ද මෙම චිත්‍ර පිහිටියේ ගල්කුළු වලට අතර මැදිව වන හෙයිනි.

මෙම චිත්‍ර වසර 5000 කට වඩා පැරණි බවත් හැරුණු කොට ප්‍රායෝගික සාක්ෂි හා පර්යේෂණයක් මගින් මෙම චිත්‍ර පිළිබඳ අතීත යුග ගවේෂණයක් තවමත් කිසිවකු සිදු කොට නැත. මෙහි පැහැදිලිව හඳුනා ගත හැකි කුරුල්ලන්, මොණරු, අත්ලක සටහනක් පිහාටු, ඉරි රටා, නිශ්චිතව හඳුනා ගත නොහැකි හිසක් සහ ඩයිනෝසරයින් වැනි සිතුවම් පවා මෙහි හැඳ තිබේ. මේවා නිශ්චිතවම ඇඳ ඇත්තේ කිනම් යුගයේද? කවුරුන් විසින්ද? කෙලෙසද? යන්න අදටත් අබිරහසකි.නමුත් අප කළ ගවේෂණය අනුව ප්‍රථමයෙන් අපට මතු වු ගැටලුව නම් මෙවැනි දුර්ගයක් මෙලෙස චිත්‍ර ඇඳීමට මනුෂ්‍යයකු හෝ මනුෂ්‍ය ​කොට්ඨාසයක් සිටිය යුතු බවයි. එලෙස නම් ඔවුන් ජීවත් වුයේ මෙම ස්ථානයේ නොවන බව පැහැදිලිය. මාවද මෙම සිතුවම් හා පිහිටි ස්ථානය සම්පූර්ණයෙන්ම වර්ෂාවට හා හිරු රශ්මියට නිරාවරණය වූ හෙයිනි.

එසේ නම් මෙම චිත්‍ර ඇඳි පිරිස ජීවත්ව සිටිය යුත්තේ මෙම රක්ෂිතය තුළ හෝ මෙම කඳු වැටිය තුළය. එසේ නම් ඔවුන්ට ස්වභාවික විපත්වලින් ආරක්ෂා වීමට එනම් වර්ෂාව කුණාටුව වැනි විපත්වලින් ආරක්ෂා වීමට ගල් ගුහාවක් හෝ ලෙනක් තිබිය යුතුමය. ඔවුන්ට ජනාවාසයක් ලෙස ජිවත් වීමට ස්ථානයක් මේ අසලම තිබිය යුතුය. නමුත් අදටත් එවැනි ස්ථානයක් මෙත්තානන්ද මහතාට පවා සොයා ගත නොහැකිව තිබේ.

නමුත් අපට යම් ගැටලුවක් මතු විය. එනම් එම ජන කොට්ඨාසය ජීවත් වූයේ අප ඉහත කී ​ෙපාඩි මහත්තයා සැඟව සිටි ඇරෙන වැහෙන ගල්ලෙන් දොරක් පිහිටි ස්ථානයයේ විය නොහැකිද යන්නයි. කුඩා කල හෝ ජනප්‍රවාද වල අප දන්නා අලි බබා සහ සොරු හතළිහගේ ගුහාවට යාමට ගුහාවේ දොර හැරීමට වචනයක් කියනු ලබයි. එහිදී ද්වාර විවෘත වේ. නැතහොත් ගල්ලෙන් දොර වෙනවම සකස් කළ එක්ක වීමත් අතින් තනිවම හෝ පිරිසකගේ සහාය ඇතිව එය ඇරීමටත් වැසීමටත් තිබිය යුතුය. එසේ නම් පොඩි මහත්තයා ජීවත් වූ එම ගුහාව අද වන විට වැසි ඇත්නම් එය සෙවීම පිදුරුගොඩෙ ඉඳිකටුවක් සොයනවා වැනිය.

නමුත් අපිට එ්හා සමානව ජනාවාස ජීවත් වූවා යැයි සිතිය හැකි තවත් ස්ථානයක් පිළිබඳ අබිරහස් ඉඟි මතු විය. එනම් මෙම ප්‍රදේශයේ පිහිටි වැහිලිහිණි කූඩු කැඩීමට අතීතයේ පැමිණි පිරිස ගමන් ගත් විශාල උමඟින්. එය නිල් දිය පොකුණ උමඟ ලෙසට සෘජුව පොළොව තුළට බැසිය යුතු ස්ථානයක් බවටත් ඒ සඳහා කඹ අනිවාර්යයෙන්ම අවශ්‍ය බවටත් අපට දැන ගැනීමට ලැබුණි. එසේ නම් ආදී මානවයා ජීවත් වූ ස්ථානය ඉන් එකක් වීමට හැකිය. නැතහොත් ඔවුන් වෙනමම ස්ථානයක පිහිටි ගල් ලෙනක හෝ ගුහාවක ජීවත්ව සිටින්නට ඇත.

තවද මෙම චිත්‍ර ඇඳ ඇත්තේ රේඛාමය වශයෙනි. රතු වර්ණයෙන් සමස්ත චිත්‍ර ඇඳ ඇති අතර චිරාත් කාලයක් මුළුල්ලේ එම චිත්‍ර වර්ෂාවට හා අව්වේ බල පෑමට ලක් වුවද අදටත් මෙලෙස තිබීම අබිරහසකි. මන්ද ඔවුන් චිත්‍ර ඇඳීමට භාවිත කළ තාක්ෂණය හා ක්‍රමවේද ඉතා දියුණු මට්ටමක පැවතීමය. අන්තර්ජාලය සමග ලෝකයේ ඉපැරණි සිතුවම් හා සංසන්දය කිරීමේදී කුරුලන්ගල සිතුවම් එම කාලය තරම් දිවෙන බව අපටද දැක ගත හැකි විය.

කුරුලන්ගල කඳු මුදුනට එහා පැත්ත පූනාගල ප්‍රදේශයේ කාලිමුත්තුමලේ ප්‍රදේශයේ මේ ගල් පර්වතයේ සිතුවම් රැඳි ස්ථානයට වන තුරු ආ හැකි මුත් ඉන් ඔබ්බට යාමට ආරක්ෂිත මඟක් නොපෙනේ. අප සෙවිය යුතු අබිරහස් සැඟව ඇත්තේ අනාරක්ෂිත මඟක බව අපට පැහැදිලි වූයේ කන්​ෙද් දකුණු කොනෙන් යම් දුරකට උත්සාහක් දැරිය හැකි ලෙස පෙනුණු හෙයිනි.

කෙසේ නමුත් මෙම කඳු වැටියේ මෙම ස්ථානය හා අවට ගල් බිත්තිය කහ පැහැයට හුරු සේම සිතුවම් රැඳි කොටසේ පසුබිමේ ළා පැහැයක් තිබීමත් ප්‍රශ්නාර්ථයකි. මෙම සිතුවම් දකින විට ප්‍රථමයෙන්ම අපගේ මතකයට ආවේ සිගිරි බිතු සිතුවම්ය. මන්ද මෙම සිතුවම් පවා ඒ හා සමාන ලක්ෂණ දක්වන හෙයිනි.

කෙසේ හෝ කුරුලන්ගල සිතුවම්වලින් හෙළි කරන පුරාතන සන්නිවේදන ක්‍රමය හෝ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමය සේම සිතුවම් සිදු කිරීම පවා අදටත් අබිරහසකි.

බිම් කොහොඹ බඩ කිරිල්ල වේවැල්ල වැනි ශාක පිහිටි මෙම රක්ෂිතය ශුෂ්ක කලාපීය ශාක පද්ධතියකට මඟ කියයි. මන්ද මෙම ප්‍රදේශය අයත් වන්නේ මොණරාගලට වන හෙයිනි. තවද විෂ සහිත සර්පයෝ බහුලව මෙම කැලයේ වාසය කරති. තවද අඟල් දෙක තුන විශාල උල් කටු පිරි පඳුරු හා වැල් රාශියක් දැකිය හැකිය.

මාර්ගයේ සිට සමස්ත කඳු වැටියට ගමන් කළ යුත්තේ මහා වන පියස තුළිනි. ඉන් වඩාත්ම පහසුව නම් ජලය සිඳී ගිය දහරාව එනම් ඕඩය දිගේ ඉහළට ගමන්කිරීමය. එය අවදානමක් තිබුණද පහසුම ක්‍රමය බවට අපට පසක් වුණේ අප ගමන් කළ ආකාරය ගැන සිතීමෙනි.

කුරුලන්ගල යනු හුදෙක් එහි සිතුවම් පමණක් ​නොවන බැව් සුමනරංසි හිමියන් සහ අතැම් ගම්වාසීන්ගේ කතා වලින් අපට වැටහුණි. මෙම සිතුවම් අතීතයේ එක්තරා අවධියක මනුෂ්‍යයා සහ කුරුල්ලන් අතර තිබූ සම්බන්ධය හෝ කුරුල්ලන් ඇදහීම හෝ උන් වෙනුවෙනි.

කිසියම් යාග ජූජා සිදුකිරීමක් යැයි අපට තර්ක ගොඩනැගිය හැකිය. සුදු ළා දුඹුරු පසුබිමක රාක්ක හා රන් කහ වර්ණයෙන් අඳින ලද සිතුවම්වල කුමන හෝ අරුතක් සැඟව තිබෙන බව නොරහසකි. මෙම සිතුවම් ලෝකයේ ඉපැරණි සිතුවම් කලාව සමගින් සැසැදූ කල ඇතැම් විට මෙම චිත්‍ර ප්‍රාග් ඓතිහාසික යුගයකට පාවා දීම යනු ඇත.

මන්ද මිසරයේ බළලුන් චිත්‍රවලට සිටීම හා පක්ෂීන්ගේ රටා විමසීමේදී යම් කිසි පූජනීය පක්ෂියකු විය හැක. කුරුලන්ගල සිතුවම් පෙළෙහි ඇති විශේෂය නම් මෙවැනි සිතුවම් දිවයිනේ කිසි​දු ස්ථානයක නොතිබීමයි. මිසරයේ අතීතයේ සහ තමිල්නාඩු ප්‍රදේශවල කුරුලු වන්දනා කරන අතර කුරුලු ඇදහිලි පිළිබඳ ලිඛිත සාක්ෂි සුමේරියාවෙන් පවා හමුව ඇති බව අන්තර්ජාල පරිශීලනයෙන් දැන ගත හැකිය.

කෙසේ හෝ කුරුලන්ගල අබිරහස් කඳු වැටිය මෙම රේඛීය සිතුවම් අශ්‍රිතවත් ඇරෙන වැහෙන ගල් දොර පිහිටි ගුහාවලටත් ආදි මානවයා සිටියා නම් ඔවුන් ජීවිකාව ගෙන ගියා ස්ථානයක් තිබිය යුතු වීමත්, වැහිලිහිණි කූඩු සොයා යන දඩයක්කරුවන් දුටු අත්භූත පොළොව යට පිහිටි ගුහාවටත් සහ මෙහි සැරිසරන උකුසු වර්ගයත් ආදී අබිරහස් ගොන්නක් සැඟව තිබෙන ප්‍රදේශයකි.

මෙ අබිරහස් කාලයේ වැලි තලයට යට වන්නේ මේ පිළිබඳ ප්‍රදේශවාසීන්ට හෝ රාජ්‍ය මට්ටමින් උනන්දුවක් නොමැතිකමයි. ඇතැම් විට රාම රාවණ කතා පුවත හා සබැඳි යම් අරුතක් හෝ මෙහි තිබිය හැකිය. නමුත් තවමත් එවැනි යටගියාවක රැඳුණු අපේ උරුමය හෙළිදරව් වී නොමැත.

සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
lankadeepa.lk